Breaking News

ජන අරගලයට කම්කරු ව්‍යාපාරයේ ශක්තියත් එක්වෙයි

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබූ ජන අරගලයට සහය පල කරමින් දියත් කරනු ලැබූ විරෝධතා පා ගමන ඊයේ (16) දින ප.ව. 3.00 ට රීගල් සිනමා හල අසලින් දැවැන්ත පෙළපාලියකින් ආරම්භව ගෝල්පේස් පිටිය දක්වා ගමන් ගන්නා ලදී.

ඉන් අනතුරුව ගෝල්ෆේස් පිටියේ අරගල භූමියේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් විසින් රැස්ව සිටින පිරිස අමතන ලදී.

එහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ මෙම අරගලය රාජපක්ෂලා බලයෙන් නෙරපිමෙන් නතර නොවී ජනතා අයිතීන් දිනාගන්නා , කම්කරු අයිතීන් ශක්තිමත් කරන අරගලයක් දක්වා රැගෙන යාමට තමන් සූදානම් බවයි. එසේම අරගලයට සුබ පැතීම වෙනුවට ජනතාව සමඟ එක්ව අරගලයේ යෙදීමට කම්කරු ව්‍යාපාරය සූදානම් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ආණ්ඩුව IMF කොන්දේසිවලට ජනතාව බිලිදීමට සැරසුනහොත් එයට විරුද්ධවද කම්කරු ව්‍යාපාරය ලෙස අරගල කිරීමට සූදානම් බවයි.

මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මෙහිදී පැවසීය.

leave a reply