Breaking News

ආණ්ඩුවේ තවත් පොරොන්දුවකට පසු සංවර්ධන නිලධාරීන් උපවාසය අත්හරියි

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඊයේ (3) පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා පාසල් සංවර්ධන නිලධාරීන් දින නවයක්

ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ පැවසීය.

අත්තනෝමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම, ආයතනගතවීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව ලැබීම සහ පාසල්වල වසර 7ක් ගුරුවරු ලෙස කටයුතු කළ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ඇතුළත්වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම යන කරුණුවලට ජනාධිපතිවරයා එකඟ වූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග කීය.

ජනාධිපතිවරයාගේ එකඟතාවය එම සංගමය විශ්වාස කරන බවත් එම එකඟතාවන් බිඳවැටුණොත් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යෑමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බවත් ඔහු වැඩි දුරටත් කීය.

වසර 7ක පමණ කාලයක් පාසල්වල ගුරුවරු ලෙස සේවය කළ එම සංගමයේ සාමාජිකයන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරතවිය. මාරාන්තික උපවාසයට එක්ව සිටි සංවර්ධන නිලධාරීන් හත්දෙනාගෙන් හය දෙනෙකුගේ සෞඛ්‍ය තත්වය අයහපත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කර තිබුණි.

පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම අරගලය කාලයක් පුරා ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති මූලිකත්වයෙන් ඉදිරියට යන ලදී. පසුව පසුගිය මැතිවරණ සමයේ එම වෘත්තීය සමිති මෙම සංවර්ධන නිලධාරීන් පිරිස කැඳවා පොරොන්දු ලබාදී තිබුනේ ඔවුන් ගුරු සේවය සඳහා අන්තර්ග්‍රහණය කරගන්නා බවයි. නමුත් මැතිවරණයෙන් පසුව එම පොරොන්දු අමතක කර දැමූ ආණ්ඩුව මියගොස් නැවත ඉපදුනු ආකාරයට හැසිරෙනු දැකිය හැකිවිය. පසුව සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අසල පැවති උද්ඝෝෂණයද ආණ්ඩුව විසින් ඉතාම නිර්ලජ්ජිත ලෙස පොලිසිය යොදා මර්දනය කරන ලදී. පසුව ආණ්ඩුව නියෝජනය කරන පාර්ශව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විභාග පවත්විමකින් තොරව මෙම නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ නොහැකි බවයි. මෙම මාරාන්තික උපවාසය පැන නැගුනේ ඉන් පසුවයි. දැන් නැවතත් ආණ්ඩුව පොරොන්දුවක් ලබාදී තිබේ. එම පොරොන්දුව කෙසේ ඉටු වෙනවාද යන්න අවධානයෙන් බලාසිටිය යුතුය.

leave a reply