කොළඹදී ආණ්ඩුව විසින් ඊනියා නිදහස සමරද්දී මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, වැටුප් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සමුළුවක් හැටන් නගරයේදී පැවත්වී තිබේ.
මේ සඳහා එකතු වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසුවේ දශක 7ක් තිස්සේ මලෛයහ තමිල් ජනතාව රවට්ටලා බලයට ආව පාලකයින් මලෛයහ ජනතාව මුහුණදෙන ප්‍රශ්නයට වගකියයුතු බවයි.
“මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු ! ” මැයෙන් එම සංවිධානය විසින් කළ ජනතා සමුළුව අද ( 04 ) දින පෙරවරු 10.00ට හැටන් නගරයේදී ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා,
තවදුරත් අපි රැවටෙන්නෙ නැහැ…
” කොළඹ අග නගරයේ ඊනියා නිදහස් දිනයක් සමරන මොහොතක තමයි, අපි හැටන් නගරයේදී මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, වැටුප් ඇතුළු අයිතිවාසිකම් ඉල්ලමින් මේ ඓතිහාසික සමුළුව පවත්වන්නේ. 2026 කියන්නේ අපේ ඉල්ලීම් දිනන වසර බවට පත් වෙන්න ඕන. එහෙම වුනොත් තමයි මේ සමුළුව ඓතිහාසික වෙන්නේ. බොරු පොරොන්දු දීලා බලය අරගෙන මලෛයහ තමිල් ජනතාවගේ ඉල්ලීම් කුණු කූඩයට දාපු තොණ්ඩමන්ලා ඇතුළු මේ රටේ සිංහල දෙමළ පාලකයන්ගේ බොරු පොරොන්දුවලට තවදුරත් අපි රැවටෙන්නෙ නැහැ කියන්න තමයි අද සමුළුවට ඔබ සහභාගී වෙලා ඉන්නේ.
අපි දන්නවා අද සමහර තේ වතු සමාගම් කෝටි ගණං ලාභ ලබනවා. ඒ ලාභය කියන්නේ වැඩකරන වතු කම්කරුවන්ගේ ලේ කඳුළු දහදිය. ඔවුන් කෝටි ගණං ලාභය විදිහට උපයන්නේ ඒ ශ්‍රමය තුළින්. අත්වල කරගැට එනකල් අවුරුදු 203ක් තේ දලු කඩමින් කඹුරපු එකේ වන්දියවත් වතු කම්කරුවන්ට ලැබිලා නැහැ. අපි දන්නවා ඉපදෙන හැම මිනිහෙක්ටම ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ඕන. ඒ අයිතිය මලෛයහ තමිල් ජනතාවටත් ලැබෙන්න ඕන. හැබැයි වතු කම්කරුවන්ගේ ඒ අයිතිය මංකොල්ල කමින් සමාගම් ලාභ උපයනවා. ආණ්ඩුවත් ගන්නේ ඒ සමාගම්වල පැත්ත. නීති හදන්නේ පනත් සම්මත කරන්නේ වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පුරවන්න විතරයි. මලෛයහ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඔය පාර්ලිමේන්තු ගුබ්බෑයමේදි මොකවත් කරලා නැහැ. අපේ ඡන්දෙන් බලයට එන හැම ආණ්ඩුවක්ම කලේ වතු හාම්පුත්තුන්ගේ සපත්තු ලෙවකාපු එක. ඒ කරලා වතු කම්කරුවට එලව එළවා පහර දුන්නා.
”සුබසාධන ලබාගැනීමේදී පවා මලෛයහ තමිල් ජනතාව බරපතළ අසාධාරණයකට ලක්වෙනවා”
දිට්වා සුළි කුණාටුවෙන් වැඩියෙන්ම පීඩාවට පත් වුණේ මලෛයහ තමිල් ජනතාව. ඔවුන්ගේ ලයින් නිවාස නාය ගියා. දරුවන්ගේ පාසල් ටික නාය ගියා. තමන්ගේ ළඟම ඥාතීන් අහිමි වුණා. හැබැයි දැන් ඒ අවදානම් කලාපවලම නැවත ඔවුන්ව පදිංචි කරනවා. ඒ මිනිස්සුන්ට කොයිවෙලේ මැරෙයිද කියලා භයෙන් වතුවල සොච්චම් වැටුපට දලු කඩන්න වෙලා. කඩාවැටුණු වතුකරයේ පාසල් ටික සංවර්ධනය කරන්න තවම කිසිඳු සැලැස්මක් නැහැ. තමන්ට කියලා ස්ථිර ලිපිනයක් නිවසක් නැති නිසා සුබසාධන ලබාගැනීමේදී පවා මලෛයහ තමිල් ජනතාව බරපතළ අසාධාරණයකට ලක්වෙනවා.
දිට්වා වෙලාවේ විතරක් නෙවෙයි අවුරුදු 203ක් තිස්සේ මේ වෙනස්කොට සැලකීම, අසාධාරණයට ලක් කිරීම තියනවා. මේ රටේ දුප්පත්කම වැඩිම වතු ප්‍රදේශවල. ළමා මන්දපෝෂණය වැඩිම වතු ප්‍රදේශවල. සෞඛ්‍යය ගැටලු වැඩිම වතු ප්‍රදේශවල. සාක්ෂරතාවය අඩුම වතු ප්‍රදේශවල. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ ? රටේ ආර්ථිකයට ඕන ඩොලර්වලින් විශාල පංගුවක් හොයලා දෙන වතු කම්කරුවගේ ජීවිතය මෙතරම් පහත් තැනකට ඇදලා දාපු එකට වග කියන්න ඕන කවුද ? මලෛයහ තමිල් ජනතාව සූරාකමින් බිලියන ගණං ලාභ උපයන වතු සමාගම් මේ ප්‍රශ්නයට වගකියන්න ඕන. බොරු පොරොන්දු දිදී දශක 7ක් තිස්සේ මලෛයහ තමිල් ජනතාව රවට්ටලා බලයට ආව පාලකයෝ මේ ප්‍රශ්නයට වගකියන්න ඕන. මේ 2026 කියන්නේ ඔවුන්ගෙන් අපි ප්‍රශ්න කරන්න ඕන අවුරුද්ද.
අවුරුදු 203ක් තිස්සේ වෙනස් අනන්‍යතාවක් සහිත ජනතාවක් …
මේ වෙනස් විදිහට සැලකීම නැති කරන්න පුලුවන් වෙන්නේ අවුරුදු 203ක් තිස්සේ වෙනස් අනන්‍යතාවක් සහිත ජනතාවක් මේ රටේ ඉන්නවා කියලා පිළිගත්තොත් විතරයි. ඒ පිළි ගැනීම එනම් මලෛයහ තමිල් ජනතාව වෙනම ජාතික ප්‍රජාවක් විදිහට දැන්වත් පිළිගන්න කියලා මේ සමුළුව වෙලාවේ අපි බලකරලා කියා සිටිනවා. ඒ වගේම ලයින් නිවාස වෙනුවට පර්චස් 20කවත් ඉඩමක් සහිත නිවසක් සෑම පවුලකටම ලැබෙන්න ඕන. වතුකරයේ දරුවන්ට ඉගෙනගන්න පුලුවන් පහසුකම් සහිත පාසල් පද්ධතියක් ලැබෙන්න ඕන. ලෙඩක් වුණාම බෙහෙත් ටික ගන්න පහසුකම් සහිත රෝහල් පද්ධතියක් ඕන. ස්ථිර මාසික වැටුපක් ඇතුළු මේ රටේ අනෙකුත් වැඩකරන ජනතාවට හිමි සියලු අයිතිවාසිකම් වතු කම්කරුවන්ටත් ලැබිය යුතුයි.
හැබැයි මේ සටන්පාඨ දිනාගන්න පුලුවන් වෙන්නේ සටනක් ඇතුළේ විතරයි. ඔබව සූරාකන වතු පාලකයෝ මේ ඉල්ලීම් ලබා දෙන්නේ නැහැ. ඔබවට රවට්ටල ඡන්දෙ ගන්න පාලකයෝ මේ ඉල්ලීම් දිනා දෙන්නෙත් නැහැ. ඒ නිසා මෙතනින් එහාට මේ රටේ මලෛයහ තමිල් ජනතාවට තියනවා අරගලයක්. හැබැයි ඒ අරගලට තනි වියයුතු නැහැ. ඒ අරගලය වටා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකතු වියයුතුයි. සියලු වැඩකරන ජනතාව එකතුවිය යුතුයි. “






