Breaking News

නාඔටුන්නේ විජිත නම් භික්ෂුවක් ගැහැනු ළමුන් 6 ක් ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ වැරදිකරු වෙයි

ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේ විහාරාධිපති නාඔටුන්නේ විජිත හිමි බාල වයස්කාර ගැහැනු ළමුන් 6 දෙනෙකුට ලිංගික අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය හමුවේ වරදකරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ABC මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කරනුයේ, වයස අවුරුදු 16ට අඩු දරුවෙකු සමග ලිංගිකව හැසිරුණු බවට වන චෝදනා අටකට සහ අවුරුදු 16ට අඩු දරුවෙකු සමග අශෝභන ක්‍රියා සිදු කිරීමේ චෝදනා 9ක් ලෙස චෝදනා 17කට එම නාඔටුන්නේ විජිත හිමි වරදකරු වී ඇති බවයි.

මීට වසර 30 කට පෙර සිදු කළ බවට පැවසෙන මෙම ලිංගික අපයෝජන සම්බන්ධයෙන්, දැනට 70 හැවිරිදි වියේ පසුවන නාඔටුන්නේ විජිත හිමිට වසර 10 කට අධික සිර දඬුවමක් නියම වීමට ඉඩ ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම හිමිනමට එල්ල වී ඇති අශෝභන ක්‍රියාවක නිරත වීමේ චෝදනා අතුරින් එක් චෝදනාවකින් නිදහස් කිරීමට කටයුතු කර ඇති අතර, තවත් චෝදනාවක් සම්බන්ධයෙන් ජූරි සභාව තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවයි අදාළ වාර්තාවල සඳහන් වන්නේ.

1994 සහ 2002 අතර කාලය තුළ මෙම ලිංගික අපයෝජන සිදු කළ බවට වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණ ජූරි සභාවක් විසින් තීන්දු කරනු ලැබූ අතර, නාඔටුන්නේ විජිත හිමි වැඩ විසූ ස්ථාන දෙකකදී රසකැවිලි ලබාදී බාල වියේ පසුවූ වින්දිතයන් සිය ආවාසයට ගෙන්වා ගෙන ඇති බවත්, ඒ පිළිබඳව වින්දිතයින් කිහිප දෙනෙකු පොලිසියට ඉදිරිපත් වීමෙන් පසුව, 2023 වසරේ දී මෙම භික්ෂූන් වහන්සේට එරෙහිව මෙම නඩුව ආරම්භ වී ඇති බවත් සඳහන් වනවා.

කෙසේ නමුත්, වැරදිකරු වූ හිමිනමට වික්ටෝරියානු නීතිය යටතේ අවුරුදු 10කට වැඩි සිර දඬුවමක් ලබා දීමට හැකි බව සඳහන් කරමින් ජූරි සභාව අධිකරණ කාමරයෙන් පිටව ගිය පසු භික්ෂුවට සහය දැක්වීම සඳහා නඩු විභාගයට සහභාගී වූ පිරිස් හඬා වැටුණු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම උදෙසා ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී නාඔටුන්න විජිත හිමියන්ට ගෞරව නාමයක් පිරිනමා තිබීමත්, 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට වේවැල්දෙණියේ මේධාලංකාර නායක විසින් නාඔටුන්න විජිත හිමියන් පත් කරනු ලැබ තිබීමත් විශේෂත්වයකි.

මේ දිනවල කාන්තාවන්ගේ ඇඳුම්, ගිහියන්ගේ ලිංගික ජීවිතවලට අදාළ කාරණා යන බොහෝ දේවල් සම්බන්ධයෙන් රටේ පූජ්‍ය පක්ෂය විවිධ අදහස් ඉදිරිපත් කරනු සහ ආණ්ඩුවලට බලපෑම් කරනු දකන්ට ලැබේ. නමුත් සංඝ සමාජයේ තුළ සිදුවෙන ඉහත ආකාරයේ වැරදි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බව දක්නට නොලැබේ.

leave a reply