වැන්ගෝ සහ ඔහුගේ සිතුවම් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි. වැන්ගෝ මගහැර ඔහුගේ සිතුවම් ගැන කතා කළ හැකි ද? කොතැනකින් හෝ තැනකින් නැවත වැන්ගෝ මතු වීම අපගේ ගැටළුවක් ද? ඉන් කියවෙන්නේ චිත්‍ර ශිල්පියාත් සිතුවමත් අතර ඇති අභ්‍යන්තර සාම්‍ය නොවේ ද ?
වැන්ගෝගේ ජීවිතයම චිත්‍රයකි. එසේත් නැති නම් සිතුවමට පෙරළුවකි. ‘හිමි වීම්’ සහ ‘අහිමි වීම්’ සියල්ල ම වැන්ගෝගේ සිතුවම තුළ කැටි ගැසී ඇත. නිර්මාණකරුවා යනු එය ම නොවේ ද? වැන්ගෝගේ සිතුවම් ඇසුරින් නරඹන්නකුට නිර්මාණය ම යනු නිර්මාණකරුවා යැයි පැවසිය නොහැකි ද?
ලෝකයේ වැඩිම ස්වං ආලේඛ්‍ය සිතුම් ඇද ඇත්තේ වින්සන්ට් වැන්ගෝය. ඔහුට ඔහු පිළිබඳව තිබූ දැඩිතර කැමැත්ත මෙන්ම අකමැත්ත ද ඉන් ස්මතු වෙයි. වැන්ගෝ විසින් අදින ලද ‘තිරිගු යාය සහ කපුටෝ’ (Wheatfield with Crows,1890) නමි සිතුවම පදාසයෙන් පදාසය ගෙන වෙන වෙනමත් එකවරමත් කියවා ගත හැකිය. කපුටන්ගේ පියාපත් පහත්ව ඇත්තේ කිනම් බරකින් ද? වේගයෙන් ගැසූ පින්සල් පහරින් (brushstrokes) නිකුත් වූ කළු පැහැති සායම් තලි වැන්ගෝ මහා බර හෑල්ලු කළා ද?
වැන්ගෝ වටා සිටියේ ම තියුණු හොට ඇති කපුටු මිත්‍රයන්ය. ඒ කපුටන් වැන්ගෝව නිරන්තර සමච්චලයට ලක් කළ තරම් ! ක්ලයිඩ් මොනේ කිසි විටකත් වැන්ගෝ මහා සිත්තරකු ලෙස පිළිගත්තේ නැත. මොනේ ඉතා අකාරුණිකව වැන්ගෝ යටපත් කළාය. මේ තඩි පිරිමි වැන්ගෝගේ මරණය පවා ඉක්මන් නොකළා යැයි කිව නොහකි ද? වැන්ගෝ මහා සිතුතරකු වූයෝ ඔහු සියතින් ම තම ජීව්තයට වෙඩිතබා ගත්තාට පසුවය.
අතිශයින් ජනාදරයට පත් කළ උමතු සිතුවමක් වන ‘තරු විසුළ රැය’ (The Starry Night ,1889) අසළ වැන්ගෝ ලඝු කළ නොහැකිය. වෙළඳපොලකරනය සහ බලය විසින් එසේ අධිනිෂ්චය කළ ද ඔහුගේ සිතුවම ඉන් ඔබ්බෙහි පවතින්නකි. එය මේ යැයි කිව නොහැකි අහිමි වීමත්, හිමිවීත් දෙව්රමත දරා ගෙන ඇවිද ගිය සිත්තර ජීවිතයක් සමඟ තදින් ගැට ගැසුනකි.
‘සුනිල මිණි’ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ අභිනව කාව්‍ය සංග්‍රහය වෙයි. මිණි පවා සුළභ යුගයක ‘නිල් මිණි’ ‘සුනිල මිණි’ ලෙස නම් කිරීම සුවිශේෂීත කරුණකි. ‘සු’ නැමති උපසර්ගය ‘නිල’ උද්දීප්තියට පත්ව ඇත. එය සංගෘහිත කවියට කවියා ම කළ සාධාරණයකි. මම ද මේ කවි අහුර දුළභ සුනිල මිණි ලෙස නම් කරමි.
සුනිල මිණි කියවමින් යන අතර වැන්ගෝ සහ පිකාසෝ මතකයට ආවේ අනායාසයෙනි. මා මෙහිදී වඩාත් උත්සුක වන්නේ වැන්ගෝ සහ ඔහුගේ සිතුවම් දෙකක් ලෙස නොව එකක් ලෙස ගත්තා සේම නිවුන්හැල්ල කවියා සහ ඔහුගේ කවි ද දෙකක් ලෙස නොව එකක් ලෙස ගැනීමටය. මෙය මගේ නිරික්ෂණයකි. ඊට විරුද්ධ වීමේ අයිතියට මා ගරු කරමි.
අප කවියා ම වරක් මුහුණු පොතේ දිනූ රාජගුරු කිවිඳිය ගැන කෙටි සටහනක් තබමින් ‘ඇතැම් විට ඒ පිදුම ඇයගේ කවි සිතේ අව්‍යාජ බව ගැන යමක් ඉඟි කරයි’ යනුවෙන් ලියා තිබුණි. ඒ අදහම නිවුන්හැල්ල කවියාගේ ‘සුනිල මිණි’ තුළින් ගම්‍ය වන බව මගේ අදහසයි.
මා මුලින් කී ‘හිමිවීම’ සහ ‘අහිමිවීම’ මෙන්ම ‘හිමිවීමේ’ සතුටත් වේදනාවත්, ‘අහිමිවීමේ’ වේදනාවත් සතුටත් සුනිල මිණි කියවන විට මතුව එයි. ඒ කවි කවියාත් කවියත් අතර ඇති දුර වැඩි කරවන ඒවා නොව කවියාගේ ජිවිතයම කවිය බවට පත්ව ගිය කවි බවට හඟමි.
මා මුහුණෙහි
අම්මාගේ මුහුණ
වේදනාව කැඳවන
කැඩපත
මෙහි එන ‘කැඩපත’ ඉතා තියුණු රෑපකයකි. අපි අපිව මඟ හැර යන ගමනෙහි අපිට අපි මුණගස්වන එක තැනකි කැඩපත. කැඩපත මිනිසාගේ නිෂ්පාදනයකි. මානව ලෝකයේ සොයා ගැනීමකි. ඒ සොයා ගැනීම් කොතෙක් දුරට අපට අපව සොයා ගැනීමට මං විවර කරන්නේ ද?
කැඩපතින් මුහුණ බැලීම සහ විල් තෙරකින් මුහුණ දැකීම යනු එකක් නොව දෙකකි. ‘බැළිම’ සහ’දැකීම’ යන දෙකෙහි සුවිශේෂී වෙනසක් ඇත.
අම්මාගේ මුහුණ වේදනා බර වන්නේ ඇයි? මවත් පුතාත් අතර ඇති වේදනාව පෙකණි වැළ කැපූ දිනෙන් අවසන් වන්නේ ද ? කවියා කියන මේ වේදනා කවර නම් වේදනාවක් ද? එය අභ්‍යන්තර වේදනාවක් ද ? නැති නම් ආර්ථික, සමාජීය, සංස්කෘතික වැනි භාහිර කාරණා විසින් ඇති කළ වේදනාවක් ද?
යාන්ත්‍රිකරණය වූ ලෝකයේ වේදනාව පවා නිෂ්පාදනය කරන්නකි. උරුමයක් වූ ධුරාවලී නඩත්තු කරන රටක පහළට ගළා යන්නේ කවර නම් සතුටක් ද?
නිවුන්ගේ මේ කවිය කියවන සැණින් මා මතකයට ආවේ පැබ්ලෝ පිකාසෝගේ කාන්තා ආලේඛ්‍ය චිත්‍රාවලියයි. විවිධ නමින් නම් කර ඇති ආලේඛ්‍ය චිත්‍ර පිකාසෝ ඇද තිබුණ ද ඒ හැම සිතුවමක ම පොදු ගුණාකාරයක් තිබීම සුවිශේෂී කරුණකි. එනම් ‘ හිමිවීම’ සහ ‘ අහිමීවීම’ නම් වේදනාවයි.
අපි අපි තුළ සඟවා ගත් ප්‍රකෘතිය ඉල්ලා අරගල කරන්නෝ නොවෙන්නෙමු ද? සංස්කෘතිය නම් අටවන ලද අට්ටාලයේ අපි කැරළි ගසමින් සිටින්නෙමු. ඇත්තටම අරගලය ඇත්තේ සංස්කෘතිය නම් ගොඩනගා දී ඇති අපෙන් පිටත සමාජයේ ද එසේත් නැති නම් ගොඩනගා නොගත් අපගේ අභ්‍යන්තර ජීවිතය ඇතුළත ද?
ලියදි දිය තුළ
සඳ ඡායාව
ලියද්දකින් ලියද්දකට
දිය ගලන හඬ
රජරට කෘෂි සංස්කෘතිය තුළ ගොඩනැගුණ සමීප කියවන්නෙකුගේ මනස් රෑප පෙළක් මේ කවියෙන් ස්ඵුට වේ. වැන්ගෝගේ තියුණු හොටැ’ති කපුටකු සේ කවියා අප ඉතාම ක්ෂුද්‍ර කලාප වෙත අප ගෙන යයි.
සඳත් දියත් එකම මොහොතක ලියද්දෙන් ලියද්දට බසින යුරු අප මුලින් කී ප්‍රකෘතිය ඉල්ලා සිටින්නක් නොවේද? ලියද්දෙන් ලියද්ද වෙන් කර ඇති සෙයින් අප ද සංස්කෘතික කලාප විසින් වෙන් කර නැති ද ? ඒ ලියදි යා කරන මහා ශ්‍රාවය සඳ එළිය ද? දිය සිඳුණු කෘෂි සංස්කෘතියේ මහා ඡායා බිඳින කවියා අප ප්‍රකෘතිය වෙත ගෙන ඒමට උත්සාහ ගෙන ඇති ආකාරය තෙතබරිතය.
සැදෑ අග
කැදලි වෙත පියාඹන
කුරුල්ලන් නරඹන
සිරකරුවෙක්
නිවුන්ගේ කවි අතරින් සමකාලීන සමාජය තදින් ඉල්ලා සිටිනු වැනි කවියකි මේ. අද වඩ වඩාත් සිර ගෙවල් ගැන කතා කරමින් සිටී. ‘සිරකරුවෙක්’ යන රෑපකය අසළ එක වරම මා නතර කරවයි. ඒ සිරකරුවා නම් කවුද? මම ද? ඔබ ද ? ඔහු ද ? මහා සොරුන් මාංචුලා ගෙන යන විට ඔවුන්ගේ මුහුණු තුළ ඇති අසරණ බව, බැගෑ වන අයුරු අප අද අත්විදිමින් සිටින්නෙමු. වසා ගැනීමට කොතරම් උත්සාහ කළ ද ඒ සිරකරුවාගේ මුහුණේ සියුම් රේඛා මතුව එයි.
‘අහිම්වීමේ’ සහ ‘හිමිවීමේ’ වේදනාවෙන් සිටින සිරකරුවෙකු කුරුල්ලන් නැරඹිම ම ආශ්චර්යයකි. එය කාව්‍ය කල්පිතයක් පමණක් ද? දේශපාලනයේ ආධිපත්‍යය විසින් එවන් නිදහස් මනස් ඇත්තන් අහේතුකව; නිස්කාරනේ සිරමැදිරිවලට දමා ඇතිද? මේ එවන් සිරකරුවෙකුගේ කවියක් ද ?
සිරකරුවෙකු විමට සිරගත විය යුතුමද? නිදැල්ලේ සිටින අප පවා විටෙක සිරකරුවන් නොවේද? ඇතමුන්ගේ ජීවිතය නිවස නම් අඩස්සියේ සිරව දැවෙමින් ඇත. මේ කවියේ එන කුරුල්ලන් ද සැදෑ’ඟ පිසාසලන්නේ අර කී කවර නම් අඩස්සියක් වෙත ද ? එසේ නම් සිරකරුවා මෙන්ම නිදහස් යැයි කියන අවකාශයම නිදහස් ද ?
‘සුනිල මිණි’ ජීවිතයේ කමටහන් කවි වැනිය. කවි එකින් එක ගෙන බොහෝ දුර යා හැකිය. නිවුන්ගේ කවි ස්වං ආලේඛ්‍ය චිත්‍ර ලෙස නම් තබමි. ඒ හැම කවියක් තුළ ම මට පෙනි යන්නේ ම කවියත් කවියාත් අතර ඇති පරතරයේ අඩු බවකි. අතර දුර වැඩිව යන සමාජ දේහයක කවිය අනිවාර්යතාවයකි. ඒ අනිවාර්යතාවය අර්ථවත් වන්නේ ම කවියත් කවියාත් අතර ඇති දුර වඩ වඩාත් අඩු වන තරමටය.
නිවුන්ගේ කවි මගට සුබපතමින් මේ කවියෙන් මේ සටහන නිමා කරමි. බලන්න;ඔහු මේ කතා කරන්නේ අපිට ද ?
මේ රැයෙහි
මැඩියන් පවා
කෑගසන්නේ
තරගයට
මාලන් බණ්ඩාර