Breaking News

හයිකුවෙන් දෙවියන් යැදීම හෙවත් ලුහු යැදුම් නම් කෙටි කවිය.

මහින්ද නාමල් Mahinda Namal සහෘද්‍රයා විසින් ලුහු යැදුම් නමින් වූ කෙටි කවි එකතුවක් මුද්‍රණයෙන් පළ කර ඇත.
මෙය හුදු කවි එකතුවකට වඩා එහා ගිය අරමුණකින් යුත් කවි එකතුවකි, මන්ද ඔහු එකී කවි එකතුව හඳුන්වන්නට “කිතුණු ලකුණ ඇති හයිකු” යන්න ද එකතු කරන බැවිණි. ඔහු විසින් සටහන් කර ඇති පරිදි, ” කිතුණු ලකුණ ඇති කවි යනු කිතුනුවන් ලියන කවි නොවේ. ක්‍රිස්තියානි සභ්‍යත්වය, සංස්කෘතිය, දර්ශනය, බයිබලීය චරිත, සංකල්ප රූප, ඇදහිලි, ආගමික උත්සව, බයිබලීය විමුක්ති හරය ආදිය මත පදනම් ව ලියවුණ කවි ය.

කවියක් හයිකුවක් බවට පත් කරන ඒ හා බැඳුන තාක්ෂණික න්‍යායාත්මක පාර්ශ්වය සළකා බලන විට “ලුහු යැදුම්” හී අන්තරගතය ජපන් හයිකු කවියෙන් දුරස්ථ බව පිළිගැනීමට අපට සිදු වෙයි. එසේ නමුත්, ජපන් හයිකු කවියෙන්, පර්සියානු රුබෙයියාට් කවියෙන්, භගවත් ගීතාවෙන්, ධම්ම පද කවියෙන්, ථෙර ථෙරී ගාථාවෙන්, සීගිරි කවියෙන්, ශිලා ලිපි කවියෙන් ආදී විවිධ සංස්කෘතික අංගයන් හා ගැටෙමින් ස්පර්ෂ වෙමින් ආභාෂය ලබමින් අන්තර් පෝෂණය වෙමින් සැලකිය යුතු දුරක් මේ වන විට පැමිණ සිටින “සිංහල කෙටි කවිය” සමඟ මහින්ද නාමල්ගේ ලුහු යැදුම් කවිය සමතැන් ගැනීමට සමත්වී ඇති අයුරු දැකීම අපට සතුට දනවයි.

සිංහල සාහිත්‍ය කෙතේ කිතුණු සාහිත්‍ය නම් බිජුවට වපුරණු පිණිස වෙහෙස නොතකා දර දිය අදින සාහිත්‍යධරයකු ලෙස අප හඳුනා ගන්නා මහින්ද නාමල් සහෘද්‍ර හිතවතාගේ “ලුහු යැදුම්” කවි එකතුවෙන් කවි කිහිපයක් සමීපව රස විඳිමු.

දෙව් මැදුරු පියස්සෙන්
පළවා හැරී සියොත් කැල
ඈත තුර මත කන්තාරුවක

කවියේ සරල අරුත වන්නේ කුරුල්ලන් රංචුවක් පල්ලියෙන් එළවා දැමූ පසු ඔවුන් අසල ගසක සිට නාද කරන බවයි. කෙටි කවිය නම් ශානරයේ ඇසින් මෙම කවියට සමීප වන අයෙකු “දෙව් මැදුරු පියස්ස”. “සියොත් කැල” සහ “කන්තාරුව” යන වචන ප්‍රබල රූපක ලෙස සළකනු ලබයි. සියොත් කැල නියෝජනය කරන්නේ කුමක්ද කාවද? තරුණ පිරිසක් ද, දෙව්මැදුරු බල අධිකාරය විවේචනයට ලක් කළ හෝ ප්‍රශ්න කළ ප්‍රතිසංස්කරනවාදීන් ද ඔවුන් මෙතෙක් සිටියේ දෙව්මැදුරු පියස්සේය එනම් දෙව් මැදුරකින් ලබා දෙන සෙවනක ය. දෙව්මැදුරු සෙවනේ සිටී සියොත් කැල – පළවා හැරියේ කවුද? එසේ කළේ කුමන හේතුවක් නිසාද? පළවා හැරීමෙන් පසුව එම පිරිස කළේ කුමක් ද? ඔවුන් ඒ පළවා හැරීම ගැන කළහ කරන්නේ නැත. ඔවුන් දෙව්මැදුරු හෙවන හැර ස්වාධීනව සිට ගී ගයන්නට වෙයි. ගී ගයන්නේ ද ගසක් මත සිටය. දෙව්මැදුරු පියස්ස මත මෙන් එම ගස මත බලය පතුරුවන බාහිර බලවේගයක් නැත. එයට අයිති කාරයෙක් ද නැත. ඔවුන් නිදහස් ය. ඔවුන්ගේ කන්තරුව හෙවත් ගීතය, විරෝධාකල්ප ද? පල්ලියට එරෙහිවද? නැතහොත් එය දෙවිඳුන් පසසන ගීතයක් ද? කවිය කියවන්නා තුළ මෙවැනි ප්‍රශ්න රාශියක් එකවර මතුවෙයි. රසිකයා තම නැණ පමණින් එකී ප්‍රශ්න සඳහා පිළිතුරු සොයන්නට වෙහෙසෙයි.

මේ ආකාරයට කවියක් කියවීමෙන් රසිකයාගේ ඇතුළු මනසේ පැන නගින විදර්ශනාත්මක අවබෝධය “අන්ත‍ර්දෘෂ්ටිය” යන වදනින් ලියනගේ අමරකීර්ති මහචාර්‍ය තුමා හඳුන්වයි. ඒ පිළිබඳව වැඩි දුර හැදෑරීම විශේෂ කොට ම කෙටි කවිය ප්‍රිය රසිකයන්ට හිතකර අභ්‍යාසයකි.

මේ තවත් එලෙස කියවන්නාගේ මනස තුළ ප්‍රඥා ආලෝකය දල්වන අපූරු කවියකි.

විසල් දෙව් මැදුර වසාගෙන
දිරායන ගසක සෙවණැල්ල

යම් සාහිත්‍ය ශානරයකින් ඇති කරන ක්ෂණික අන්තර් දෘෂ්ටියේ තවත් ප්‍රතිඵළයක් වන්නේ පවතින සම්ප්‍රදායන්ට එහා ගිය දෘෂ්ටියකින් යම් දෙයක දකින්නට හැකි වීම ය. එය සම්ප්‍රදාය හුදු ප්‍රශ්න කිරීමකට වඩා රසිකයා වෙත නව දැක්මකට ප්‍රඥාලෝක දල්වා දීමක් ද වේ. මහින්දගේ පහත දැක්වෙන කවි මා ප්‍රිය කරන්නේ ඒ හේතුව මුල්කරගෙනය.

කතෝලික ආදම් ගේ
ඉළ ඇටය බාල ද
පූජකවරය අකැප ඒවට

ශුද්ධ බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ විසින් මවන ලද පළමු මිනිසා ආදම් ය. ඔහුගේ තනියට මැවූ සහකාරිය ඒව ය. ආදම් ව පොළවේ දූවිල්ලෙන් මැවූ අතර ඒව ව මැවුවේ ආදම්ගේ ඉළ ඇටයකිනි. දෙදෙනාවම මවන ලද්දේ දේව සමානකමට ය. ආදම්ගේ ම ඉළ ඇටයෙන් මැවූ බැවින් ඒව සෑම අතින් ම ආදම්ට සමාන ය. එහෙත් සම්ප්‍රදායික කතෝලික සභාව පූජකවරය (පූජකයකු වී දෙවියනට මිනිසුන්ට සේවය කිරීමේ අයිතිය) ස්ත්‍රී‍යගෙන් උදුරාගෙන ඈත්කර තබා ඇත. කවියා ප්‍රශ්න කරන්නේ එකී කොන් කිරීමේ සාධාරණත්වය යි.

සුරුවමක් (පිළිමයක්) ඉදිරියේ කානික්ක පෙට්ටියක් (පිං කැටයක්) තැබීම ඉතාම සුලභ දසුනකි. අසරණ ඇදහිලිවන්තයා, සුරුවමින් පිළිඹිබුවන සාන්තුවරයාගේ වැඩි පිහිටක් බලාපොරොත්තුවෙන් කානික්කා පෙට්ටියට මුදල් දමති. එය සැබවින් ම අනවශ්‍ය ක්‍රියාවකි.

අපි තිබ්බා
සුරුවමක් යට කාන්ක්ක පෙට්ටියක්
අපිත් තිබ්බා
කානික්ක පෙට්ටියක් උඩ සුරුවමක්

ශ්‍රී ලාංකීය සමාජයේ කුල පෙලපත් අනුව මිනිසුන් වර්ග කර, වෙන් කර, කොන්කරන අශීලාචාර ක්‍රමවේදයක් පවතී. ගෞතම බුදුන් වහන්සේ හෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ මෙලෙස මිනිසුන්ගේ තරාතිරම හෝ රැකියාව නිසා පහත්කිරීම අනුමත කළේ නොවේ.

න ජච්‌චා වසලො හොති,
න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො;
කම්‌මුනා වසලො හොති,
කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො”

යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරන විට ජේසුස් වහන්සේ යහපත් සමරිතානුවාගේ උපමාව දේශනා කළේද තරා තිරම අනුව මිනිසුන් උස් හෝ පහත් නොවන බව ඉගැන්වීමට ය. එහෙත් අවාසනාවකට අප සමාජය මේ ඉගැන්වීම් තඹ කාසියක් තරමටවත් සලකන්නේ නැත. මෙය කෙතරම් කුරිරු ද යත් අප දන්නා එකතරා ප්‍රසිද්ධ ප්‍රදේශයක කුල දෙකකට වෙන් කරගත් දේවස්ථාන දෙකක මූණට මූණ ලා පාර දෙපැත්තේ පිහිටුවා ඇත. (එම නගරයට අමතරව තව ප්‍රදේශවල මෙවැනි දේවස්ථාන ඇතිදැයි අප දන්නේ නැත.) කවියාගේ ඇස යොමුවන්නේ දෙව්මැදුරුද කුල මල වෙනුවෙන් කුලල කා ගන්නා තත්ත්වයට පත්වීම කෙරෙහිය. ඔහු එය දකින්නේ එම පල්ලි දෙක එළෙස වෙන් වෙන්ව සිටීම දෙවියන් වහන්සේගේ මූනට කෙළ ගසන්නාක් වැනි ඉතා පහත් ක්‍රියාවක් බවයි.

මාවත දෙපස කුලගොත් අනුව
මූනට මූණ දෙව්මැදුරු දෙකක්
මූණට කෙල ගසයි දෙවියන්ගේ

ආගමික උත්සව වෙනුවෙන් අනවශ්‍යකාරී ලෙස ඉතා විශාල ධනස්කන්ධයක් වැය කිරීමද අද සමාජයේ දක්නට ලැබෙන නමුත් අන්ධ විශ්වාසය නිසා බොහෝ දෙනෙක් මුනිවතින් සිටින කාරණයකි.

හෙලිකොප්ටරයෙන්
සොරොලෙට ඉසින මලක්
පැල්පතක
හිස් පිඟානක් මත වැටෙයි

මෙම කෙටි කවියෙන් මතු කරන සමාජ කාරණය අප බොහෝ දෙනෙකුට පහසුවෙන් වටහාගත හැක.

කෙටි කවියක තවත් අපූරු ලක්ෂණයක් වන්නේ නිගමනාතමක බවින් තොරව පැවතීමයි. එහිදී කවියා භාවිත කරන සංකේත තුළින් රසිකයාට කවිය ගෙන බොහෝ ඉසව් කරා යාමට ඉඩ ලැබෙන අතර කවියා එම කාර්‍ය්‍යෙන් ඉවත් වී සිටියි. මහින්ද නාමල් කවියාගේ සමහර කවි මේ තත්ත්වය ජයගෙන ඇත.

තවත් තැනක ඔහු කතෝලික සභා සාමාජිකයාගේ හරසුන් ඇදහිලි ගැන ප්‍රශ්න කරන ආකාරය තුළ දක්නට ඇත්තේ ද පැසුණු මිනිසකුගේ ජීවිතාවබෝධි ලක්ෂණයන් ය. ඔහුගේ ප්‍රශ්න කිරීම් කිසි විටකත් අනෙකා රිදවන ඝෝෂාකාරි හඬකින් පැන නො නගින ලෙස ඔහිගේ කවි බස හොඳින් පිරිපහදු කර සුමට කර ඇත.

කෙටි කවියට සමීප වීමේදී අන්තර් වීම සහ ඒකත්වයට පත්වීම යන සංකල්ප වටහා ගැනීම ද වැදගත් බව “කෙටි කවි ලකුණ” කෘතියේදී ගරු අපරැක්කේ සිරි සුධම්ම හිමියන් විසින් පැහැදිලි කරයි. බෞද්ධ දර්ශනය ප්‍රමුඛ කරගෙන ඇතිවන මෙම සංකල්පය තුළ ලෝකයේ සියළු වස්තුන් සහ සිදුවීම් එකිනෙකට සම්බන්ධ බවත් සියළු දෑ නිර්මාණය වී ඇත්තේ සමාන පදාර්ථයන්ගෙන් බවත් කිසිවකට වෙන් වෙන් ව පැවතිය නොහැකි බවත් අදහස් කෙරෙයි. මෙම සංකල්පය කිතුණු දර්ශනය තුළ අප වටහාගන්නේ “දේව ප්‍රේමය” යන අදහස මුල්කරගෙන ය.

දේව ප්‍රෙමය අත්දකින මිනිසා, තමාට මෙන් ම අනෙක් සෑම දෙයටම ප්‍රේමකරන්නට වෙයි. ඒ සෑම සියළු දෙය ම දෙවියන්වහන්සේ වෙතින් උන්වහන්සේගේ ප්‍රේමය නිසා පැන නගින බවට ඔහු ලබන අවබෝධය මුල්කරගෙනය. ඇතිවීම හො නැතිවීම පිළිබඳව කම්පා වීමක් ඔහු තුළ ඇති නොවන්නේ, ඇති වීමත් නැති වීමත් එකම ක්‍රියාවක ඵළයන් බවත් ඒ අතර පවතින අන්තර සම්බන්ධතාවේ එහි හේතු කාරකය දෙවියන් වහන්සේ බවත් දන්නා බැවිනි. එ බැවින් හයිකු කවියා “තත් ක්ෂණයේ” සතුටින් සිටින්නාක් මෙන් ම කිතුණුවාට ද “එළඹී මොහොතේ” පියවි සිහියෙන් පසු වීමට පුළුවන.

හාදුවක් පිණිස දෙවිඳුන්ගේ
මදනලට පාමි කම්මුල්

සිහින් වැස්සක්
දූවිලි පුසුබක්
දිව්‍යමය ප්‍රේම බන්ධනයක්

මී වදයක
මකුළු දැලක
කුඹල් ගෙයක මැවුම්කරු

තරුවකටත් ඇත
උත්ථානයක්
මිය ගිය පසු ද එළිය දෙන

අප දේව ප්‍රේමය ගැන ඉහත කළ කතාවේදි හිතා මතාම මිනිස් ප්‍රේමය මග හැර ආවේ එය කතෝලික සමාජය ක්‍රියාත්මක වෙන ආකාරය ඉතා සියුම්ව කවියා ස්පර්ෂ කරන ආකාරය කතා බහ කළ යුතු බැවිනි. ආගම හා බැඳුන ආගමික උත්සව අප සමාජ සංස්කෘතික ජීවිතයේම අංගයන් ය.

කතෝලිකයන් සෑම ඉරුදිනකම දිව්‍ය පූජාව සඳහා දෙව්මැදුරු වෙත යන්නේ සභාවේ ඉගැන්වීම් වලට අනුගතව ය. එහෙත් යොවුන් වියේ පසුවෙන්නන් පල්ලි යන්නේ ඒ ඉගැන්වීම් නිසාම නොවන බව අපි දනිමු. සමහර විට නව යොවුනෝ ඔවුන්ගේ ම වෙලාවල් වලදී ඔවුන්ට රිසි දිනවල ද පූජාවට යති.

සුළු පූජාවටම පෙම් කළ
මගේ පෙම
පුංචි පල්ලියේ කෙළවර

සුළු පූජාව, පුංචි පල්ලිය, ආදී වචන එම තරුණයන්ගේ ප්‍රේමයේ ඇති සරලත්වය සහ සුන්දරත්ත්වය මහ දේවල් නොපැතීමත් සංකේතවත් කරන අතර එය තවමත් මල් පල ගෙන නොමැති බවක් ” එම පෙම තිබෙන්නේ පුංචි පල්ලියේ කෙළවර” බව කීමෙන් හෙළි වෙයි.

මේ එවැනි තව කවියකි

මා පතන
දේවාශිර්වදය
සොරෝලේ එන
ඔබේ මදහස

සොරෝලේ යනු පල්ලියේ ප්‍රධාන මුනිවරයාගේ සුරුවම රැගෙන පෙරහැරේ යාමය. සමහර පල්ලියක මෙය මහ ඉහළින් කෙරෙන චාරිතරයකි. බැතිමත්තු විශාල වශයෙන් එම සුරුවම සමඟ පෙරහැරට සම්බන්ධ වන අතර සමහරෙකු පෙරහැර එන මග දෙපසට වී හිඳිති. දෙව් මැදුරෙන් පිටත්වන සොරෝලේ ගම පුරා වීථි සංචාරය කර අවසන දෙව්මැදුරට පැමිණී පසු පූජකතුමා එම සුරුවම ඔසවා යාච්ඤා කරමින් බැතිමතුන්ට දේව ආශිර්වාදය පතයි. කථකයාගේ ප්‍රාර්ථනා කරන දේවාශිර්වාදය වෙන එකකි. එය ඉතාම අව්‍යාජ අහිංසක ප්‍රාර්ථනයකි. ඒ ඇයගේ මද සිනාවකි.

කෙටි කවිය පිළිබඳව වුවත් දැනටත් මේ ලිපිය දිග වැඩි බව මට සිතෙයි. එහෙත් අවසන් වශයෙන් මේ කවිය උපුටා දැක්වීම අවශ්‍යම ය.

පල්ලියේ සීනුව පන්සලේ ඝාන්ඨාරය මෙන්ම වැදගත් ය. පූජාව ට වෙලාව දැණුම් දීමට හා පූජාවේ විවිධ අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් සීනුව නාදකරන අතර ඒ ඒ අවස්ථාව අනුව සීනුව නාද කරන ආකාරය, එහි තානය, නාද කරන වාර ගණන වෙනස් වන අතර ඒ වෙනස් කම් අනුව පණිවිඩය වටහා ගැනීමට ද සීනුව ඇසෙන මානයේ වසන ජනතාව දනිති.

දෙ මැදුරේ සීනු හඬ
ටාං
ටාං ටාං
ටාං
සෝ බරිත කරයි හදවත

මේ කවියේ නැගෙන තානයට සීනුව හඬවන්නේ, ගමේ ගෙදරක මරනයක් සිදු වී ඇති බව දැනුම් දීමට ය. කථකයාගේ හදවත සෝ බරිත වී ඇත්තේ එබැවිනි.

කිතුණු ලකුණ ඇති කවි යනු කිතුනුවන් ලියන කවි නොවේ. ක්‍රිස්තියානි සභ්‍යත්වය, සංස්කෘතිය, දර්ශනය, බයිබලීය චරිත, සංකල්ප රූප, ඇදහිලි, ආගමික උත්සව, බයිබලීය විමුක්ති හරය ආදිය මත පදනම් ව ලියවුණ කවි ය යි කතුවරයා සටහන් කරන බව ඉහත දැක්වීමු. ඒ අනුව මහින්ද නාමල් සහෘද්‍රයා ලුහු යැදුම්” නමින් පළ කළ කවි එකතුව “කිතුණු ලකුණින් යුතු කවි එකතුවක් කිරීමේ වැයම සාර්ථක බව සතුටින් සඳහන් කරමු. ඔහුගේ වෑයම අගයමින් සුබපතමු

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply