Breaking News

රනිල්ගෙන් කඳුකර දෙමළ ජනතාවට තවත් ඡන්ද ගුන්ඩුවක්

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය මැයි 01 වෙනි දින වතු ප්‍රජාවට ලබා දෙන ලද රුපියල් 1,700ක දෛනික වැටුප් පොරොන්දුවට රනිල් වික්‍රමසිංහ මේ වනවිටත් මුළුමනින් ම පයින් ගසා තිබියදී තවත් රැවටීමකට සූදානම් වන බව පෙනන්නට තිබේ.

වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දිම සදහා ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ම ක්‍රියාත්මක කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පවසා ඇත.

එසේම ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවද රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.

මීට පෙර කම්කරු අමාත්‍යංශය වතු කම්කරු ජනතාවගේ වැටුප 1700 දක්වා වැඩිකරන බව පවසමින් ගැසට් නිවේදනයක් පවා නිකුත් කරමින් වතු ප්‍රජාව රැවටීමට උත්සාහ කළ අතර මේ වනවිට එම ගැසට් නිවේදනය ද හකුළා ගෙන තිබේ. මේ අතර ඇමති ජීවන් තොන්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොන්ග්‍රසය හාම්පුතුන් සමඟ වෙනම සාමුහික ගිවිසුමක් අත්සන් කිරීම ද හොර රහසේ සිදු කර ඇති බව අනාවරණය වේ. එම ගිවිසුම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1,500කට සීමා වේ.

දැනට ගෙවනු ලබන රුපියල් 1,350ට අමතරව තව රුපියල් 150ක් එකතු කිරීමට එකඟ වී සාමුහික ගිවිසුම අත්සන් කර ඇත. එම ගිවිසුම අත්සන් කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක සී. සත්‍යවේල් අනාවරණය කර ඇතැයි තිනකරන් පුවත්පතේ වාර්තා කර තිබිණි.

වතු කම්කරු ජනතාවගේ ඡන්ද ටික ගැනීම වෙනුවෙන් ඔවුන්ට සීනි බෝල සහ බොරු පොරොන්දු ලබාදීම හැර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සැබෑ වැඩපිළවෙලක් මේ ආණ්ඩුවලට නොමැති බව පැහැදිලිය.

leave a reply