ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ තමන්ට අපහාස කළ ෆේස්බුක් ක්‍රියාකාරිකයින් එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මදක් වෙනස් කර තිබේ.
දැන් ඔහු පවසන්නේ එම ෆේස්බුක් ‘අපහස’ වලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේත් කටයුතු කරන බවයි.
ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට සිදුවනු ඇති බවට ඔහු අනතුරු හඟවා තිබේ. ඔහු තම facebook පිටුවේ මේ සම්බන්ධයෙන් පළකර තිබේ .
කෙසේවෙතත් එම පොස්ටුවට අදහස් පළකර ඇති බොහෝ පිරිසක් පවසා ඇත්තේ නියෝජ්‍ය ඇමතිවරයා පළමුව තමන්ගේ facebook ගිණුම ක්‍රියා විරහිත කළ යුතු බවයි. එයට හේතුව සමාජ මාධ්‍ය හරහා ඔහුව විහිලුවට ලක්කරන පිරිස් ඔහුගේ පැරණි පොස්ට් ඒ සඳහා යොදාගැනීම යි .
තම කීර්ති නාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කරන ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඒ මහතා විසින් පරිගණක අපරාධ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ද පසුගිය 13 වනදා ගොනුකර තිබිණි.
එම පැමිණිල්ල හරහා පවසා තිබුනේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් සටහන් ප්‍රචාරය වෙමින් පවතින බවයි. මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම වරක් දෙවරක් නොව දිගින් දිගටම සිදුකරන බැවින් එම ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයන් පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර ඊට අදාල නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.
කෙසේවෙතත් මෙම පැමිණිල්ල පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් කර තිබීම නිසා මර්දනකාරී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතයටතේ කටයුතු කරනු ඇති බවට අදහස් පළව තිබුණි.
ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර එම පනත අහෝසි කලයුතු බවට වන මතයක සිටි අතර බලයට පත්වූ පසු එය සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන බව පවසමින් සිටියි.