Breaking News

අපි විරුද්ධ ඩිජිටල් හැදුනුම්පතට නෙමෙයි, ජෛවමිතික දත්ත ලබාගැනීමට – වසන්ත මුදලිගේ 

තමන් විරුද්ධ වන්නේ ඩිජිටල් හැඳුනුම්පත නොව විරුද්ධ වන්නේ එම හැඳුනුම්පත සඳහා ජෛවමිතික දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදල්ගේ පවසයි. ඊයේ කොළඹදි පැවති ” ඉන්දියාවට දෙයි දත්ත – ඩිජිටල් කරණයේ ඇත්ත ” මැයෙන් ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව පවසා තිබුණි.’

වසන්ත මුදලිගේ වැඩිදුරටත් පවසා ඇත්තේ,

බදු එකතු කරගැනීම, රාජ්‍ය කාර්යක්ෂම කිරීම, වැඩ පහසු කිරීම වගේ කතාවකින් අපේ ජෛවමිතික දත්ත ඇතුළත් ඩිජිටල් හැදුනුම්පතක් අවශ්‍ය බව ආණ්ඩුව මේ වෙද්දී සමාජය තුළ ජන ගත කරමින් ඉන්නවා. අපි ආණ්ඩුවටත් මේ සාකච්ඡාව අහගෙන ඉන්න ඔබටත් පැහැදිලිව කියනව ජන අරගල ව්‍යාපාරය විදිහට අපි විරුද්ධ වෙන්නේ ඩිජිටල් හැදුනුම්පතට නෙවෙයි. අපේ විරෝධය ප්‍රකාශ කරන්නේ එවැනි හැදුනුම්පතක් සඳහා අපේ ජෛවමිතික දත්ත ලබා ගැනීමට එරෙහිව තමයි ගොඩ නැගෙන්නේ.

පරිගණක පද්ධතිවල දියුණුවත් එක්ක තමයි අද ලෝකය ඩිජිටල් කරණයක් ගැන කතා වෙන්නේ. ඉස්සර ඔබේ අතේ තිබ්බ ඔරලෝසුවෙන් බලන්න පුළුවන් වුනේ වෙලාව විතරයි. නමුත් අද ඩිජිටල් ඔරලෝසුවෙන් ඔබේ ශරීර උෂ්ණත්වය පෙන්නනවා. ඔබ ඉන්න ස්ථානය පෙන්නනවා. ඒ ප්‍රමාණයට අද උපකරණ දියුණු වෙලා. එහෙම ලෝකයක තමයි අද ලංකාව ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් ගැන කතා වෙන්නේ. අද වෙද්දිත් භාණ්ඩ මිලදී ගැනීමේ පටන් රැකියාව දක්වා බොහොමයක් කටයුතු අද වෙද්දි ඩිජිටල්කරණය වෙලා තියන බව අපි පිළි ගන්නවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ මේ ඩිජිටල්කරණයට මුවා වෙලා ජෛවමිතික දත්ත ගන්න.

දැන් සමහරු හිතනවා මේ ජෛවමිතික හැදුනුම්පත නැතුව ආර්ථිකය නතර වෙලා සමාජය ඉදිරියට ගමන් කරන්නෙ නෑ කියලා. හැබැයි ඔවුන් දන්නෙ නෑ එංගලන්තෙ, ජපානේ වගේ රටවල අදටත් සාමාන්‍ය හැදුනුම්පතක්වත් අනිවාර්ය නෑ. හැදුනුම්පතක් තියන රටවලින් පවා ඩිජිටල් හැදුනුම්පත් පැවතුණත් ඒ සඳහා බලහත්කාරයෙන් ජනතාවගේ ජෛවමිතික දත්ත ලබා ගන්නෙ නෑ.

මේ හදන්න යන හැදුනුම්පතට ගන්න යන්නෙ මුහුණෙ හැඩය, කටහඬ, ඇඟිලි සලකුණු, ඇහේ කණිනිකාව වගේ සංවේදී දත්ත. ලෝකයේ විශාලතම සෝදිසි රාජ්‍යය තමයි චීනය. ඔවුන් නිතරම තමන්ගේ ජනතාව ගැන ඔත්තු බලමින් ඉන්නේ. එහෙව් මර්දනකාරී චීනයවත් ඩිජිටල් හැදුනුම්පතකට ජෛවමිතික ලක්ෂණ ගැනීම කරන්නෙ නෑ. ඔවුන් මිනිස්සුන්ගේ ජෛවමිතික ලක්ෂණ ගන්නවා, නමුත් ඒ හැදුනුම්පතක් සඳහා නොවෙයි. සංවේදී තොරතුරු අරන් ඒවගෙන් ඔත්තු බලනවා.

මුලින් 2012 මහින්ද රාජපක්ෂ පාලනය උත්සාහ කලා මේ හැදුනුම්පත ගේන්න. ඉන්පසුව 2015 මෛත්‍රීපාල සිරිසේන පාලනයත් 2022 ගෝඨාභය රාජපක්ෂ පාලනත් මේකට ගත්ත සියලු උත්සාහයන් ජනතාවගේ අරගලය හමුවේ ව්‍යර්ථ වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් පන්නා දැම්මට පස්සෙ ජන මතයක් නැතුව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලය ගත්ත රනිල් වික්‍රමසිංහ මුලින් ගත්ත කැබිනිට් තීරණවලින් එකක් තමයි ජෛවමිතික දත්ත ඇතුළත් හැදුනුම්පත. ඇයි රනිල් වික්‍රමසිංහට මෙහෙම හැදුනුම්පතක් ඕන වුනේ ? අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පාලනය අරගෙන ගියේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් එක්ක. මැතිවරණ කටයුතු සඳහා මුදල් අමාත්‍යංශයෙන් වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදී ප්‍රමාද කිරීමෙන් ඒක පැහැදිලි වෙනවා. ඔවුන්ට අවශ්‍ය වුනේ කුමක් කළත් එරෙහි නොවෙන ජනතාවක් හදාගන්න. හැබැයි අන්තිමට හැදුනුම්පත් යෝජනාවත් හකුලගෙන රනිල්ට ගෙදර යන්නයි වුණේ.

ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම කියන කතාවක් තමයි මේ ඩිජිටල් හැදුනුම්පත හදන එක මැතිවරණ ප්‍රකාශයේ තිබුණ වගන්තියක් නිසා මේක අනිවාර්යයෙන් කරන්න වෙනව කියන එක. හැබැයි ආණ්ඩුවට අමතක වෙලා මැතිවරණ ප්‍රකාශයේ වෙනත් යෝජනා ගැන. විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය ගැන කතාව ඔවුන්ට අමතකයි. බදු අඩු කිරීම ගැන කතාවක් නෑ. පාසල් උපකරණ මත පනවපු වැට් බදු ඉවත් කරන යෝජනාවක් තිබුණා නමුත් දැන් ඒවා මගහැර යමින් තමයි ආණ්ඩුව කටයුතු කරන්නෙ ? එහෙම තත්වයක් ඇතුළෙ ආණ්ඩුවට ලොකු තදියමක් ඇවිත් මේ හැදුනුම්පත විතරක් හදන්න. ඒ විතරක් නෙවෙයි දැන් මේ කටයුත්තට ආණ්ඩුවට උදව් කරන්නෙ සහ උනන්දු කරන්නෙ ඉන්දියාව. ඔවුන් ඒ සඳහා බිලියන ගණනක ආධාර නොමිලේ ලබා දෙන්න සූදානමින් ඉන්නෙ. ගොඩක් අය හිතනවා, “අනේ ලොකු අයියනේ, අපිට උදව් කරන්න එනව ඇති” කියලා. නමුත් අපි හිතන්නෙ නෑ අතින් කාලා හරක් බලන්න ඉන්දියාවට තියන කැක්කුම මොකක් ද කියලා. අපි දන්නවා අදානිලා අම්බානිලා ප්‍රමුඛ කරගත්ත ඉන්දියාව ඉන්නේ අනාගත ලෝක බලවතා වීමේ ආර්ථික උපායමාර්ගයක. ඒ සඳහා ලංකාවේ ආර්ථිකය, බලශක්තිය , දේශපාලනය හැසිරවීමේ පැහැදිලි බලයක් ඔවුන්ට අවශ්‍යයි. ඒකත් එක්ක තමයි ඔවුන්ගේ මේ කුමණ්ත්‍රනකාරී සැලසුම් සම්බන්ධ නෑ කියන සහතිකය ආණ්ඩුවට දෙන්න පුළුවන් ද ?

ආණ්ඩුව පැත්තෙන් කැට තියල තර්ක කරනවා මේ හැදුනුම්පත සඳහා ගනු ලබන දත්ත ආරක්ෂිත් බව සහ දත්ත කිසිසේත්ම ඉන්දියාවට යන්නෙ නැ කියලා. නමුත් අපි දන්නවා ඩිජිටල්කරණය හරහා මිනිස්සුන්ගේ දත්ත එලියට ගිය අවස්ථා ගැන උදහරණ ඕන තරම් ලෝකේ තියනවා. මෑත කාලේ ඉන්දියාවේ Adhaar වැඩසටහන සතුව තිබුණ මිලියන 800කට වැඩි ජනතාවකගේ දත්ත ඩාක් වෙබ් වලට ලබා දී තිබුණා. ඒකෙන් ඉන්දියානු ජනතාවගේ ජීවිත පවා අවදානමකට ලක් වුණා. 2015 දි ඇමරිකා එක්සත් ජනපදයේ ඇඟිලි සලකුණු වාර්තා 184,000ක් මේ විදිහට ලීක් වුණා. 2019 අවුරුද්දෙදි ඔවුන් විසින් දේශසීමා ආවරණය සඳහා යොදාගෙන සිටි මුහුණු හඳුනාගැනීමේ දත්ත බිලියන ගණනක් අපරාධකරුවන්ගේ අතට ගියා. මේ වගේ දුර උදහරණ අවශ්‍ය නෑ. අපි දැක්කා පහුගිය දවසක ලංකාවේ පොලීසියට අයත් නිල ෆේස්බුක් පිටුව හැක් වෙනවා. ඊලඟට පහුගිය කාලේ ලංකාවේ ආණ්ඩු කරපු දූෂිත ඖෂධ ගනුදෙනු ගැන දත්ත අදටත් හොයා ගන්න නැ. එහෙම තත්ත්වයක් ඇතුලේ අපිට පුළුවන් ද ආණ්ඩුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවෘන්ගෙන් සමන්විත වීමම පමණක් ප්‍රමාණවත් යැයි හිතමින් අපේ සංවේදී දත්ත ඔවුන්ට ලබා දෙන්න.

දැන් මේ ඩිජිටල්කරණයේ නාමයෙන් ඇත්තටම එන්නෙ සෝදිසි රාජ්‍ය පිළිබඳ චීන උපායමාර්ගය. ආණ්ඩුව සූදානම් වෙන්නෙ ජනතාව ගැන ඔත්තු බලන්න. 1971 දි මරණ පරීක්ෂණවලින් තොරව මළසිරුරු වල දැමීමේ අයිතිය පොලීසියට ඇති බව සඳහන් නීතියක් සම්මත කරලා විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් කළ රටක් මේක. 88-89 කාලෙදි මේ වගකීමෙන් ආරක්ෂා කිරීමේ නීතිය පාවිච්චි කරල 60,000ක් තරුණ තරුණියෝ ඝාතනය කලා. අවුරුදු තිහක් තිස්සේ උතුරේ ඝාතන රැසක් වුනා. අතුරුදන් කිරීම් දහස් ගණනක් ගැන අදටත් පැහැදිලි උත්තර නෑ . මාධ්‍යවේදීන් කලාකරුවන් මර්දනයට ගොදුරු කළා. ඝාතනය වුණා. අතුරුදන් වුණා. එහෙම රටක ඉඳගෙන ඔබට පුලුවන් ද ඔබේ දත්ත එහෙම රාජ්‍යයකට ලබා දෙන්න

ඒ නිසා ජන අරගල ව්‍යාපාරය විදිහට අපි කියනවා ජනතාව එවැනි අනාරක්ෂිත තත්ත්වයකට ඇදල දාන්න නම් ආණ්ඩුව සූදානම් වෙන්නෙ අපිට පුළුවන් කමක් නැ නිහඬව බලාගෙන ඉන්න. ආණ්ඩුව කියනවා සුළු සුළු ජෛවමිතික දත්ත කිහිපයක් ගැනීමක් විතරයි මෙතන වෙන්නෙ කියලා. නමුත් අපි යන එන තැන්, අපි කතාකරන දේවල්, අපේ ලේ වර්ගය, අපිට තියෙන ලෙඩ රෝග, අපේ පවුලේ අයගේ විස්තර්, ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර වැනි පුළුල් ජාලයක් වටා මේ පද්ධතිය වර්ධනය වීම නවත්තන්න බැහැ. එවැනි විශාල පද්ධතියක් අවධානමට ලක් වුනොත් මිලිය 22ක් ජනතාවගේ ජීවත අනතුරේ වැටෙනවා. අනිත් එක තමයි ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ එහෙම අපේ පෞද්ගලික සංවේදී තොරතුරු බලහත්කාරයෙන් ලබා ගන්න. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් පවා කඩ කිරීමක්.

ඒ නිසා අපි ජනතාවට කියනවා රනිල්ට මහින්දට ගෝඨාභයට බැරි වෙච්ච දේ මුහුණු මාරු කරගෙන ඇවිත් කරගන්න මේ සිස්ටම් එක ලෑස්ති වෙනව නං ඒකට එරෙහි වෙමු. ඒ සඳහා සංවිධානය වෙමු සටන් කරමු. “

leave a reply