Category: දේශීය පුවත්

  • පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 

    පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 

    පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව  වෙත පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සඳහා වන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්  යොමු කර තිබේ. පහත පළවන්නේ එම යෝජනාව ලියයි

    පසුගිය වසර 3ක අත්දැකීම් සැළකිල්ලට ගෙන පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් අපගේ ප‍්‍රසාදය පළමුව පළ කර සිටිමු. එමෙන්ම එම කමිටුව  හමුවේ අදහස් දැක්වීමට අපට අවස්ථාවක් ලබාදීම පිළිබඳ කමිටු ලේකම් තුමියටත්, කමිටු සාමාජිකයන්ටත් අප ස්තුතිවන්ත වන අතර පහත සඳහන් කරුණු ඔබ කමිටුවේ අවධානය සඳහා ඉදිරිපත් කරමු.

    1. සංශෝධනයේ පදනම ලෙස සැළකිය යුතු නොඑසේනම් නොසළකා නොහැරිය යුතු ප‍්‍රධාන කරුණු
    • සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතුය.
    • කාන්තාවන් සඳහා කෝටාව 25% එලෙසම ආරක්ෂා විය යුතුයි.
    • කොට්ඨාස පදනම ආරක්ෂා විය යුතුයි.
    • පළාත් පාලන සභික ප‍්‍රමාණය අවම වශයෙන් 30% හෝ අඩු විය යුතුයි.

    ඉහත සඳහන් පදනම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු.

    1. i. කොට්ඨාස ප‍්‍රමාණය 20% අඩු කිරීම
    2. ii. ලැයිස්තුවට හිමිවන ප‍්‍රතිශතය 40% සිට 30% දක්වා අඩුකිරීම. නොඑසේනම් මෙතෙක් පැවති 60% – 40% අනුපාතය 70% – 30% වෙනස් කිරීම.

    iii.         පදිංචිය සනාථ කිරීමට ක‍්‍රමවේදයක්

    1. රාජ්‍ය නිලධාරීන් තරග කරන ප‍්‍රදේශයෙන් බැහැර රාජකාරී කරන බවට සහතිකයක්
    2. වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග ලබාදීම

    vi         වර්තමානයේ  නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීම තාක්ෂණික කරුණු කිහිපයකට පමණක් සීමා වී ඇත. එබැවින් පහත සඳහන් කරුණු නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමේ නිර්ණායක තුළට ඇතුලත් කළ යුතුය.

    • අදාළ ඡුන්ද බලප‍්‍රදේශයේ පදිංචිය සනාථ කිරීම ස`දහා විධිමත් ලේඛන ඉදිරිපත් කිරීම
    • රජයේ සේවකයෙකු නම් අදාළ ඡුන්ද බලප‍්‍රදේශයේ රාජකාරී නොකරන බවට නීතිමය පිළිගත් ලේඛනයක් ලබා ගැනීම / රාජ්‍ය නිලධාරියෙකු නොවන්නේ නම් ඒ පිළිබ`දව දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදිය යුතුය.
    • වත්කම් බැරකම් ප‍්‍රකාශ

    vii         කාන්තා නියෝජනය

    • කාන්තාවන් සඳහා වන 25% අනිවාර්ය කෝටාව එලෙසම තබා ගත යුතුය.
    • කාන්තාවන්ගේ තරග කිරීමේ කෝටාව 10% සිට 15% දක්වා වැඩිකළ යුතුය.
    • තරග කර පරාජය වන කාන්තාවන් අතුරින් වැඩිම ඡුන්ද ප‍්‍රතිශතයක් ගන්නා කාන්තාවන්ට ලැයිස්තු හරහා තෝරා ගැනීමේදී ප‍්‍රමුඛතාවය ලබා දිය යුතුය.

    viii        කාන්තා සභිකයින් තේරීම සඳහා ක‍්‍රමවේදයක්

    ix         ඡුන්ද දායකයාට අපේක්ෂකයා තෝරා ගැනීමට ක‍්‍රමවේදයක්

    x          ඡුන්ද දායකයාට මුලූ පළාත් පාලන බල ප‍්‍රදේශය තුළ තමා වඩාත්ම කැමැති අපේක්ෂකයින් තේරීමට ඉඩක්.

    xi         ප‍්‍රචාරක වියදම් සීමා කිරීම

    xii         තරුණ නියෝජයට ඉඩක්

    xiii        හොඳම පරාජිතයාට ලැයිස්තුවේ ප‍්‍රමුඛතාවය

    xiv        ස්වාධීන කණ්ඩායමක නායකයෙකු ඉවත් වීම/මිය යෑම

    මීට අමතරව පළාත් පාලනයට අදාල පොදු ගැටලූ 15 ක් මේ සමග ඔබගේ අවධානයට යොමු කරමු.

    අපගේ සමාජ අත්දැකීම වනුයේ නීති ප‍්‍රතිපත්ති හෝ මැතිවරණ ක‍්‍රම සම්පාදනයේදී බොහෝ දුරට දේශපාලන පක්ෂ අවශ්‍යතාවය හෝ ඔවුන්ගේ බල ව්‍යාපෘති වලට අනුකූලව ඒවා සිදුවන බවය විශ්ව විද්‍යාල උපකුලපතිවරයෙකු හා පරිපාලන සේවය ඉහලම නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව දේශපාලන අරමුණු වලින් තොරව රටේ පැවැත්ම, පළාත් පාලනයේ වැදගත්කම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සලකා සුදුසු සංශෝධන එක්කරනු ඇතැයි අප විශ්වාස කරමු.

    ඉදිරියේදී ඔබ අමාත්‍යාංශය හෝ කමිටුව මීට අදාල ගනු ලබන සාධනීය ක‍්‍රියාමාර්ග වලදී පැෆ්රල් සංවිධානයේ සහයෝගය ලබාදීමට සූදානම් බවද කාරුණිකව දන්වමි.

    රෝහණ හෙට්ටිආරච්චි – විධායක අධ්‍යක්ෂ
    LGA doc (1)

  • මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!

    මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!

    කම්කරු විරෝධතාවකදී මාධ්‍යවේදියකු පොලිසිය විසින් පැහැර ගෙන ගොස් පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධ විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරි පිට විරෝධතාවක් පැවැත්වේ.

    ඊයේ(7) පැවති සෞඛ්‍ය සේවක විරෝධතාවයකදී නිදහස් මාධ්‍යෙව්දියකු ලෙස ඡායාරූප ගනිමින් සිටි මලික අබේකෝන් පොලිසිය විසින් කිසිදු හේතුවක් නොමැතිව පැහැර ගෙන යන ලදී. මේ වනවිට මරදාන පොලිසියේ රඳවා සිටින ඔහු පහරදීමට ලක්ව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුව නැත.

    ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාව ලබා දී නැත. මේ ආකාරයට, පොලිස් භාරයේ සිටින පුද්ගලයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඊට අවස්ථාව ලබාදීද මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේපකර ඇත.

    වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නොතකා මර්දනකාරී පාලනයක් කරා යමින් සිටින බවට මේ වනවිට පැති ගණනාවකින් අනාවරණය වෙමින් පවතී. පොලිසිය නීතිය සියතට ගෙන විවිධ අවස්ථා ගණනාවකදී ජනතාව තලා පෙළමින් මිනිමරු ක්‍රියාකරිත්වයකට මාරු වෙමින් සිටින අතර මෙම තත්වය වහාම අනාවරණය කරමින් ඊට එරෙහිව ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

  • අමු අමුවේ මහ දවල් පොලිස් පැහැර ගැනීමක්

    අමු අමුවේ මහ දවල් පොලිස් පැහැර ගැනීමක්

    මලික අබේකෝන්! මැක්කා… ඔව් ඌ රස්තියාදුකාරයෙක් වගේ තමයි. කොණ්ඩෙ හැඩපලු ගොතාගෙන තමයි. ඇගේ පච්චත් කොටල තමයි. රැවුලත් දිගයි තමයි. ඒ තමයි ඌ! ඉතිං පොලිසියට ……කද?

    ජනවාරි 12 මාව උස්සං ගියේ කුරුඳුවත්ත පොලීසියෙන්. 2019 A/L කරපු උන් එක්ක අප්පොච්චගෙ ගෙදර ලගදි. එදත් මැක්කා කැමරාවත් අරගෙන ඇවිල්ල හිටියා. පොලිස් ගහලයෝ ඇදගෙන යන්න හදද්දි කැමරාව පැත්තක දාලා ඌ අපිව බේරගන්න හැදුවා. පොලිසියේදි කූඩුවෙන් පිටත කතා බහ මගේ කනටත් ඇහුණා. එක වෙලාවක උන් කතා කරේ මැක්ක ගැන.

    “කවුද සාම් මහත්තයා අර කොණ්ඩෙ වවාගෙන හිපියෙක් වගේ හිටපු එකා? ඌ මීඩයා කාරයෙක්ද, අරුන්ගෙ එකෙක්ද? ලොක්කට මල පැනල හිටියෙ ඌත් එක්ක. පොරට ඔය වගේ උන් නිකං දැක්කත් කේන්ති යනවනෙ. කොණ්ඩෙ වවාගෙන, රැවුල වවාගෙන, පච්ච කොටාගෙන පිස්සෙක් වගේ. ඇදගෙන එන්න හැදුවෙ. හැබැයි ඕක අල්ලගත්තනං හොඳ සබ්බුවක් දෙන්න තිබ්බා! ”

    ඔන්න උන් අද ඒ හිපියව අල්ලගෙන. ඌට අර කියපු සබ්බුව දීලා. මේක අත්තඩංගුවට ගැනීමක් නෙමෙයි. අමු අමුවේ මහ දවල් පැහැර ගැනීමක්. පොලිසියේ උන්ගෙ ඇරියස් කවර් කරගන්න. ඌ ගියේ ෆොටෝ ගහන්න. මොකක්ද හේතුව හිරේ දාන්න? පොලීසියට ගෙනිහින් ගහන්න? මොකක්ද එහෙම කරන්න පොලීසියට තියෙන අයිතිය? ඕ.අයි.සීට කොණ්ඩෙ වවපු උන් පේන්න බැරි නම් ඒක උගේ අවුලක්. ඒ කියලා උන් අරගෙන ගිහින් කූඩුවේ දාගෙන ගහන්න මොකාද අයිතිය දුන්නේ? ඕ.අයි.සී හරවරං දෙයියොද?


  • සාධාරණ සහ සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගමු

    සාධාරණ සහ සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගමු

    සෞඛ්‍යට බලපාන විවිධ මාතෘකා අවධාරණය කරමින් 1950 සිට වාර්ෂිකව ක්‍රියාත්මකවන ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 7වන දිනට යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වසරේ ලෝක සෞඛ්‍ය දින තේමාව ලෙස “සාධාරණ සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීම” (Building a fairer, healthier world) තෝරාගෙන ඇත. රටවල් අතර මෙන්ම ඇතැම් රටවල් අභ්‍යන්තරයේ විවිධ ජන කොටස් අතරද පවතින කායික සහ මානසික සෞඛ්‍ය මට්ටම්වල පවතින දැවැන්ත පරතරය, ඊට බලපාන හේතු, එවැනි විෂමතාවන් හේතුවෙන් ඇතිව තිබෙන සමාජ ආර්ථික ගැටළු සහ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවීම් මෙන්ම සෞඛ්‍ය විෂමතාවන් සමනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි ලෝක ප්‍රජාවගේ විශේෂයෙන්ම ඒ ඒ රටවල දේශපාලන නායකත්වයේ අවධානය යොමු කිරීම මෙම තේමාවෙන් අපේක්ෂා කෙරේ.

    මිනිස් ජීවයක් මව්කුස තුල පිළිසිද ගන්නේ කායික සහ මානසික වශයෙන් නිරෝගීව අවම වශයෙන් දශක අටක් නවයක් පමණ කාලයක් ජීවත්වීමට හැකි ස්වභාවික විභවයක් සමගය. එහෙත් එම විභවය යථාර්තයක් බවට පත්වන්නේ ඊට අනුබල ලැබෙන සමාජ, ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් (Determinants of health) යම් සමාජයක් විසින් නිසියාකාරයෙන් ගොඩනගාගෙන දිගුකලක් පවත්වාගෙනයනු ලැබුවහොත් පමණි. සමාජ ආර්ථික තත්ත්වයන්ගේ පවතින විෂමතාව හේතුවෙන් දරිද්‍රතාවෙන් පෙලෙන අප්‍රිකානු කලාපයේ ජීවත්වන පුද්ගලයකුගේ උපතේදී අපේක්ෂිත ආයුකාලය අවුරුදු 53කට පමණ සීමාවනවිට ජපානය වැනි රටවල එය අවුරුදු 83ක් පමණ වේ. වසර තිහක් පමණ වැඩිපුර ජීවත්වීමට ඇති වාසනාව හා මානව අයිතිය අහිමිවන්නේ එම රටවල පවතින අසංවර්ධිත දේශපාලනික, සංස්කෘතිකමය, සමාජමය සහ ආර්ථික සාධකයන් හේතුවෙනි.

    ශ්‍රී ලංකාවතුලද බරපතල සෞඛ්‍ය විෂමතාවක් වර්ධනය වෙමින් පවතී. දේශපාලනික, ආර්ථික හෝ සමාජමය වශයෙන් වරප්‍රසාදලාභී පිරිසක් සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් අවාසිදායක තැනක ස්ථානගතව ඇති මිලියන ගණනකට සාපේක්ෂව ඉහල සෞඛ්‍ය මට්ටමක් භුක්ති විදීමින් සිටී. එසේ වන්නේ මිලියන විසි එකකට අධික සියළු ජනතාවටම ඉතා ඉහල මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විදීමින් දිගු ජීවිත ගත කිරීමට ඉවහල්වන ජෛව විද්‍යත්මක විභවය පවතින තත්ත්වය තුල වීම බරපතල ගැටළුවකි.

    සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය සාධක රාශිය අතර සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය ප්‍රමුඛ තැනක් ගනී. වරප්‍රසාදලාභි සුළු පිරිසක් සිය සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බොහෝවිට මහජන මුදල්ද වැය කරමින් ලෝකයේ ඉහලම පිලිගැනීමක් ඇති ඇමරිකාවේ ජොන් හොප්කින්ස් හෝ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් වැනි රෝහල්වලට ඇතුලත්වන අතර පහල ස්ථරවල වෙසෙන ලක්ෂ ගණනකට ඇතැම්විට අවම පහසුකම් සහිත ප්‍රාදේශිය රෝහලක සේවාව හෝ නොලැබි යයි. අනේකවිධ කායික මානසික රෝගාබාධයන්ට ගොදුරුවී අඩු ගුනාත්මක බවින් යුත් ජීවිතගත කිරීමට හෝ අඩුවයසින් මරණයට ගොදුරුවීමට මිලියන ගනනකට සිදුව ඇත.

    මෙවැනි සෞඛ්‍ය විෂමතාවකට මුල්වූ ප්‍රධාන හේතුවක් වන්නේ නව ලිබරල් ආර්ථික පිලිවෙත අනුව යමින් 1980 දශකයේ සිට බලයේ සිටි සියලු ආණ්ඩු ජනතාවගේ සෞඛ්‍ය තිරණාත්මක ලෙස ඉහල නැංවීමේ වගකීමෙන් ඉවත්වී සෞඛ්‍ය සේවා වෙළදපොලක් නිර්මානය වීමට ඉඩහැරීමය. උසස් සෞඛ්‍ය තත්වයක් අත්පත් කරගැනීමට අත්‍යවශ්‍යවන සකලවිධ සමාජ, ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් ගොඩනැංවිය හැක්කේ සහ පවත්වාගෙය යා හැක්කේ ආණ්ඩුව ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්වීමකින් පමණි. නිර්බාධක වෙළදපොලකින් හෝ තනි තනි පුද්ගලයින්ට හෝ එම සාධක සියල්ල ගොඩනගා ගැනීමට හෝ තිරසර ලෙස පවත්වාගෙන යාමට හෝ නොහැක.

    සෞඛ්‍ය පිළිබද වගකීමෙන් මෙරට ආණ්ඩු සහ රජය ඉවත්වීම හොදින්ම නිරූපනය වන්නේ සෞඛ්‍යට වෙන්කරන රාජ්‍ය වියදම විශ්ලේෂණය කිරීමෙනි. අදවන විට සංවර්ධිත රටවල වාර්ෂික ඒ්කපුද්ගල රාජ්‍ය සෞඛ්‍ය වියදම ඇ.ඩොලර් 3000ක් 5000ක් අතර ගණනක් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ඒ්ක පුද්ගල සෞඛ්‍ය වියදමම ඇ.ඩොලර් 130ක පමණ අගයක් ගනී. ඉන් රාජ්‍ය වියදම 46%ක් පමණවන අතර වැඩි කොටසක් මහජනතාව සෞඛ්‍ය වෙළදපොලතුල පෞද්ගලිකව ඒ් ඒ් අවස්ථානුකූලව කරන වියදම්ය (out-of-pocket expenditure). ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්යමණ්ඩල, ඖෂධ, පරීක්ෂණ, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිවාරණ කාර්යයන් දැඩිලෙස සීමාවීමට මෙම දුර්වල රාජ්‍ය මැදිහත්විම බලපා ඇත. ඌණ පහසුකම්වලින් යුත්, අසංවිධානාත්මක, පැහැදිලි ඉලක්ක සහ නායකත්වයකින් තොරවු සෞඛ්‍ය පද්ධතිය සෞඛ්‍ය වෘත්තිකයින්ටද උසස් වෘතීය ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව අහිමිකර ඇත.

    මෙම බරපතල සෞඛ්‍ය විෂමතාව අවමකර උසස් සෞඛ්‍ය තත්ත්වයක් සමස්ත ජනසමාජයටම අත්පත් කරගැනීමටනම් සෞඛ්‍ය වෘත්තිකයින් සහ මහජනතාව ඒ්කාබද්ධව ගුණාත්මක බවින් ඉහල සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගා ගැනීමට කටයුතුකල යුතුව ඇත. සෞඛ්‍ය වෘත්තිකයින්ටද ගුණාත්මක බවින් ඉහල, අභිමානවත් සහ ඵලදායී වෘතීය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබෙන්නේ එවැනි උසස් සෞඛ්‍ය පද්ධතියක් තුල පමණි.

    වෛද ජයන්ත බණ්ඩාර
    ප්‍රධාන ලේකම්, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

    වෛද ජයන්ත බණ්ඩාර
  • සෞඛ්‍ය සේවක විරෝධතාවය වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදියෙක් පොලීසිය අත්අඩංගුවට ගනියි

    සෞඛ්‍ය සේවක විරෝධතාවය වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදියෙක් පොලීසිය අත්අඩංගුවට ගනියි

    ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (අප්‍රේල් 7) වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

    මෙම පැහැර ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉල්ලීම්වලට විසදුම් ලබානොදී මෙය යට ගසා විරෝධතාවය මර්දනයෙන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.

  • කටුපොල් තහනම කඩවුණු පොරොන්දුවක් වෙන ලකුණු – දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න බැරි බව බන්දුල කියයි

    කටුපොල් තහනම කඩවුණු පොරොන්දුවක් වෙන ලකුණු – දේශීය කර්මාන්ත වැටෙන්න දෙන්න බැරි බව බන්දුල කියයි

    වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්‍රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසට වන ඉල්ලීම් තවමත් ඉටු කර නොමැති බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.

    එම හිමියන් පැවසුවේ කටුපොල් තහනම් කිරීම වෙනුවෙන් පරිසර සංවිධාන දිස්ත්‍රික්ක 5ක ජනතාව දිගින් දිගටම අරගල කරමින් සිටි බවයි. උද්ඝෝෂණ කරමින්, බලධාරීන්ට ලිපි යොමුකරමින්, ජනාධිපති කාර්යාල වෙත යමින් සිදුකළ අරගලයේදී සිරගතවීමට, අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටීමට සහ කටුපොල් සමාගම්වල බලපෑම්වලට ලක්වීමට සිදුවූ බව ද චන්ද්‍රජෝති හිමි පවසා තිබේ.

    චන්දජෝති හිමි වැඩිදුරටත් පවසන්නේ එම අරගලයට ඇත්ත ජයග්‍රහණයක් ලැබීමට නම් ගැසට් මගින් කටුපොල් තහනම් කළ යුතු බවයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කර තිබුණි.

    නමුත් ඊයේ(06) දින කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයේ කාලීන අවශ්‍යතාවයන් මත යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවයි.

    බේකරි සහ බිස්කට් කර්මාන්ත කරුවන්ට ෆාම් ඔයිල් සඳහා අවසර

    බේකරි හා බිස්කට් කර්මාන්තවල නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් හිඟයකින් තොරව ආනයනය කිරීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

    ඒ අනුව පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් උක්ත කර්මන්තවලට බලපෑමක් ඇති නොවන බවයි අමාතයවරයා සඳහන් කළේ.

    පාම් ඔයිල් ආනයනය හා කටු පොල් වගාව තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවෙන් පසු බේකරි සහ බිස්කට් කර්මාන්තයත් විනාශ වෙන බවට මතවාදයක් ගෙන ගියද එම කර්මාන්තකරුවන්ට එමඟින් බලපෑම් නොවන අතර ඒ සඳහා ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබා දීමට තීරණයක් ගත් බව අමාත්‍යවරයා පවසා ඇත.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ යම් අයෙකුට පාම් ඔයිල් ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ ගැන අභියාචනයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

    අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීම හමුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රශ්න කර සිටියේ, දේශීයව වගාකර නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් සඳහා අවසර හිමිවන්නේ ද යන්නයි.

    රජයක් ලෙස කිසි ලෙසකින් රටේ නිෂ්පාදන අඩපණ කිරීමට ක්‍රියා නොකරන බව ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන සඳහන් කරන ලදී.

    නියමිත ප්‍රමිතීන්ට අනුව රට තුළ එය නිෂ්පාදනය කරන්නේ නම් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවයි හෙතෙම පවසා තිබේ.

    මෙවැනි කරුණු හරහා පෙනී යන්නේ ෆාම් ඔයිල් සහ කටුපොල් තහනම් කරන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළත් එය නිකම්ම නිකම් මාධ්‍ය සංදර්ශනයක් වීමේ අවධානමක් ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළ බලයට පත්වූ ආණ්ඩු කටුපොල් තහනම් කරන බව කිහිප අවස්ථාවක් පැවසුවත් එය ගැසට් මගින් ක්‍රියාත්මක නොකළේ ජනතාවගේ ඉල්ලීම්වලට වඩා කටුපොල් වගාකරන සමාගම්වල ඉල්ලීම්වලට කන්දීම හේතුවෙනි. ඉදිරියේදීද එහි වෙනසක් සිදුවෙනු ඇතැයි සිතීම අපහසුවේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ විෂ අඩංගු ආහාර වර්ග කිහිපයක් ඇති බවත් ඒවා හෙලිකලහොත් එම සමාගම් කඩාවැටෙන බවයි. බන්දුල මේ පවසමින් සිටින්නේද එයට සමාන කතාවකි. පරිසරයට සහ ජනතාවට කුමක් උනත් කමක් කම් නැත කර්මාන්ත ආරක්ෂා කළ යුතු බවයි.

  • පොලී එක්ක ණය ගෙව්වා, තවත් ණය ගෙවන්නෙ නැහැ – ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව උද්ඝෝෂණයක්

    පොලී එක්ක ණය ගෙව්වා, තවත් ණය ගෙවන්නෙ නැහැ – ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහිව උද්ඝෝෂණයක්

    ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.

    එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් මේ සඳහා සහභාගී වී සිට තිබේ. ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(06) දින 30ක් සපිරෙන අතර එයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්වූ කාන්තාවන් හිඟුරක්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක

     

  • ‘අභියෝග කළ පරපුරක්’ – 50වැනි අප්‍රේල් විරු සමරුව

    ‘අභියෝග කළ පරපුරක්’ – 50වැනි අප්‍රේල් විරු සමරුව

    1971 අප්‍රේල් අරගලයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘අභියෝග කළ පරපුරක්’ යන තේමාවෙන් ඊයේ(5) තිස්සමහාරාම නගරයේදී අප්‍රේල් විරු සමරුව පවත්වනු ලැබිණි.

    තිස්සමහරාම නගරය වෙත අප්‍රේල් විරුවන්ට ආචාරය පළ කිරීමේ පෙළපාළියකින් පැමිණි පෙ.ස.ප. සාමාජික සාමාජිකාවන් තිස්ස නගරයේ සමරු උත්සවයට සහභාගි වූූහ. ආරම්භක දේශනය පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදු කළ අතර 50 වැනි අප්‍රේල්ල විරු සමරු දේශනය පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත විසින් සිදු කරන ලදී.

  • මොනාලිසා නැති හිස්තැන සහ වීරයන් මියගිය ලංකාව

    මොනාලිසා නැති හිස්තැන සහ වීරයන් මියගිය ලංකාව

    වර්ෂ 1911 අගෝස්තු 21වනදා ලොව ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය. එය සොරකම් කළ බව වටහාගත්තේ පැය 24කටත් වඩා ගතවූ පසුව ය.

    ඉන් පසු කාලාන්තරයක් පුරාවටම එම සිතුවම පැවති තැන තිබුණේ හිස් තැනකි. එතෙක් කල් කිසිදාක චිත්‍රයක් නැරඹීමට නොගිය මිනිසුන්ගේ සිට ඉතාම විශාල ජන රාශියක් හිස්තැන බැලීමට එදා සිට කෞතුකාගාරයේ පෝලිම් ගැසුණේය…

    කාලයාගේ ඇවෑමෙන් ලංකාවත් අද හරියටම ඒ හිස්තැන වාගේය..

    සංස්කෘතික පසුගාමීත්වය – කලාව සමග වූ සාමූහික රසවින්දනය ,ක්‍රීඩාව , දේශපාලනික අරාජකත්වය දාර්ශනික හිස්කම ආදී මෙකී සෑම අංශයක්ම වසා වෙලාගත් ඊට සුදුසු ,සුපිළිපන් උසස් මානව සම්පත් හිඟතාවයකින් පෙළේ. 1971න් ආරම්භ වූ ඉන් පසු විවිධ දේශපාලනික අර්ථකථනයන් ඔස්සේ සාධාරණීකරණය කලාවූ කැරළි,සිවිල් යුද්ධ ගණනාවකින් ගිනියම් වී මේ රටේ පැලපදියම් වූ තිරශ්චීන මිනිස් ඝාතන පෙරහැර දෙස බලන්න.

    තමන්ගේ බලය වෙනුවෙන් එදා අමු අමුවේ යකඩ,ගින්දර ලේ ගංගා මත කිසිදු සාධාරණ හේතුවලින් තොරව , මේ රටේ අද දවස වෙනුවෙන් සිටි වටිනාම මිනිස් සම්පත් විනාස කළ නිසා අද මේ හිස් තැන බිහිවී ඇත.. හෙටට වසර 50 සමරනවා යැයි කියන්නේ අද අපි රෑ දිවා දකින මේ හිස්තැන තිබෙන්නට තිබූ නමුත් අලංකාර වූ වටිනා ඒ චිත්‍රය සොරකම් කිරීම යැයි ඒ අර්ථයෙන් කාට කිව නොහැක්කේ ද ?

     

  • කොළඹ වරාය නගරයේ පස් දෙනෙකුගෙන් යුතු කොමිසමකින් පාලනය වෙන විශේෂ ආර්ථික කලාපයක්

    කොළඹ වරාය නගරයේ පස් දෙනෙකුගෙන් යුතු කොමිසමකින් පාලනය වෙන විශේෂ ආර්ථික කලාපයක්

    කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ යටතේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කරනු ලබන හෙක්ටයාර් 446.6153 ක මෙම භූමි ප්‍රමාණය පාලනය කරනු ලබන්නේ කරනු ලබන්නේ පස් දෙනෙකුගෙන් යුත් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසිනි.

    විශේෂ ආර්ථික කලාපයේ (SEZ) ව්‍යාපාරික ආයතන සඳහා ඕනෑම ලියාපදිංචි කිරීමක්, බලපත්‍රයක්, අවසරයක් හෝ අනුමැතියක් ලබා දීම සම්බන්ධයෙන් කොමිසම ආයෝජන පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට නියමිතය. මේ සතිය මුලදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ගැසට් කරන ලද පනත් කෙටුම්පතකට අනුව, කොළඹ වරාය නගරය තුළ සහ ඉන් පිටත ව්‍යාපාරික කටයුතුවල යෙදීමට කොමිෂන් සභාව විසින් බලය පවරනු ලැබූ පුද්ගලයින්ට පමණක් අවසර ලැබේ.

    මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

    SEZ හි ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සෑම ව්‍යාපෘති සමාගමක්ම කොමිෂන් සභා අරමුදලට රුපියල් මිලියන 400 ක් පරිත්‍යාග කළ යුතු අතර එය කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ සහ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අදාළ වියදම් වෙනුවෙන් යොදාගනු ඇත.

    සම්මුතිය, මැදිහත්වීම, විනිශ්චය, බේරුම්කරණය සහ වෙනත් විකල්ප ආරවුල් විසඳීමේ සේවාවන් සැපයීම සඳහා කොමිසම කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර වාණිජ ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයක් පිහිටුවනු ඇත.

    කොළඹ වරාය නගරයේ අධිකාරිය තුළ පැන නැගෙන සිවිල් හා වාණිජමය කරුණු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුනොත් ඒවා එදිනෙදා කඩිනමින් විභාග කිරීමට අධිකරණය විසින් ප්‍රමුඛතාවය දිය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.

    අන්තර්වාර පියවරක් ලෙස, පනත බලාත්මක වූ දින සිට වසර පහක් සඳහා කොළඹ වරාය නගරයේ අධිකාරියෙන් පිටත ශ්‍රී ලංකාවේ ස්ථානයක සිට බලයලත් පුද්ගලයෙකුට ව්‍යාපාර කටයුතුවල යෙදීමට කොමිසමට අවසර දිය හැකිය. “එවැනි ව්‍යාපාරයක් වසර පහක කාලයක් සඳහා කොළඹ වරායේ අධිකාරිය තුළ සහ ඉන් පිටත පිහිටි ව්‍යාපාරයක නියැලී සිටින ව්‍යාපාරයකට සියලු වරප්‍රසාද සඳහා හිමිකම් ඇති ඇතැයි ”පනත් කෙටුම්පතේ සඳහන් වේ.

    නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන ඕනෑම මාරුකිරීමක්, කල්බදු හෝ ගිවිසුමක් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලද ලියකියවිලි ලෙස සලකනු ලබන අතර එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අත්සන් කරන ලද ගිවිසුම් සඳහා ද අදාළ වේ.

    පනතට අනුව, කොළඹ වරාය නගරයේ අධිකාරිය තුළ ප්‍රඥප්ති හතක් අදාළ නොවේ. 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ පනත, මහ නගර සභා ආඥා පනත (252 වන පරිච්ඡේදය) සහ 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ අතර වේ.

    ජනාධිපති ගෝතබයා රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ කැබිනට් සංදේශයක් අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම පනත ළඟදීම පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

    චීන රජයට අයත් චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ(CCCC) චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) යටතේ ඇති චෙක් පෝට් සමාගම ශ්‍රී ලංකා රජයේ මෙම තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර තිබේ.

    “මෙම වරාය නගරයේ ස්ථාපිත විශේෂ ආර්ථික කලාපය (SEZ) බහුජාතික සමාගම් සිය මුලස්ථාන පිහිටුවීමක් දක්වා ආකර්ෂණය කර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර එමඟින් මූල්‍ය සම්පත්, තාක්‍ෂණය සහ තාක්‍ෂණික හා කළමනාකරණ දැනුම ලබා ගැනීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” චෙක් පෝට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

    මේ අතර, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක් නිකුත් කරමින් වරාය නගරය තුළ නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයතනික ආදායම් බදු, ලාභාංශ බද්ද, රඳවා ගැනීමේ බද්ද, පුද්ගලික ආදායම් බදු, අගය එකතු කළ බද්ද (වැට්) සඳහා වසර අටක් සඳහා බදු නිදහස් කිරීමක් ලබා දී තිබේ.

    ඒ අනුව බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ මෙම විශේෂ ආර්ථික කලාපය මෙරට නීතියට පිටින් ඉතා ලිහිල් කම්කරු නීති පවත්වාගෙන යමින් සමාගම්වල ලාභ තරකර ගැනීමට උදව් දෙන කලාපයක් වෙනු ඇති බවයි. ඒ අර්ථයෙන් සමාගම්වල ආර්ථිකය මිස රටේ හෝ ජනතාවගේ ආර්ථිකයට යහපතක් නොවනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

    සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ පුවතක් ඇසුරිණි