චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබිම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන පිරිස් පවසන්නේ ඇමරිකාවට බයෙන් මෙම අවස්ථාව ආණ්ඩුව විසින් මග හැර ඇති බවයි.
ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයන් යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් මත දෙකක් ප්‍රකාශ කිරීම කිහිප අවස්ථාවකදී දක්නට ලැබුණි තත්ත්වයකි. විශේෂයෙන් මීට මාස කිහිපයකට පෙර ඛනිජ තෙල් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම දක්නට ලැබුණි.
මෙවර 25 වැනි වතාවට සැප්තැම්බර් 01 වැනි දා ආරම්භ මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජනයක් නොතිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් මත ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි.
එම අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ ෂැංහයි සමුළුවට සහභාගීවන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා ලැබුණ ද කාර්ය බහුලත්වය නිසා ඊට සහභාගී වීමට නොහැකි වූ බවයි. ඉතාමත් ආසන්නදිනවල දී වෙනත් විදේශ සංචාර කිහිපයක් ද ජනාධිපතිවරයාට ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කරුණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විදේශ කටයුතු අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රුද්‍රිගුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ එම සමුළුවට ශ්‍රී ලංකාවට ආරාධනාවක් නොලැබුණු බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.
“අපිට ආරාධනා නොලැබුණු නිසා කිසිවෙකුත් එම සමුළුවට සහභාගී වුණේ නෑ. චීනය ආරාධනා කළේ නැත්තේ අපිත් එක්ක පවත්වන සම්බන්ධතා පළුදුවීමක් නිසා නොවෙයි. අපේ රටත් චීනයත් අතර හොඳ සම්බන්ධතාවක් පවතිනවා. ජනාධිපතිතුමාත් චීනයට ගියා. දැන් ලබන මාසේ අගමැතිතුමියත් චීනයේ සංචාරයක නිරත වෙන්න නියමිත යි. චීනය කාලෙන් කාලෙට ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා අලුත් කර ගන්නවා විවිධ රටවල් එක්ක. අපි එක්ක කොහොමත් හොඳ සබඳතා පවත්වන නිසා ඔවුන් මේ සමුළුවට වෙනත් රටවලට ආරාධනා කරන්න ඇති.”
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසූ ආරාධනා නොලැබුණු කතාව බීබීසී මාධ්‍යවේදිනියක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ ගැන තමන් දැනුම්වත් නැති බවයි.
ෂැංහයි ෆයිව් ලෙස මෙම සමුළුව මුළින්ම ආරම්භ වී ඇත්තේ 1996 වර්ෂයේ දී ය. ඒ වනවිට එම සමුළුවට චීනය, රුසියාව, කසකස්තානය, කරිගිස්තානය සහ තජිකිස්තානය සම්බන්ධ වී තිබිණි. 2001 වර්ෂයේ දී එය සහයෝගීතා සංවිධානයක් බවට පත්වූ අතර උස්බෙකිස්තානය ද ඊට එකතුවිය. පසුව ඉන්දියාව, පකිස්තානය, ඉරානය සහ බෙලරූස් ද මේ සංවිධානයට ඇතුළත් වූ බැවින් මේ වනවිට සාමාජික රටවල් සංඛ්‍යාව 10කි.
මෙම සහයෝගීතාවය තුළ මොංගෝලියාව සහ ඇෆ්ගනිස්තානය නිරීක්ෂණ රාජ්‍යයන් දෙකක් ලෙස අක්‍රිය තත්වයේ කටයුතු කරන අතර සංවාද හවුල්කාර රටවල් 14ක් ද වෙයි.
එම රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින අතර, තුර්කිය, කාම්බෝජය, අසර්බයිජානය, නේපාලය, ආර්මේනියාව, ඊජිප්තුව, කටාර්, සෞදි අරාබිය, බහරේන්, කුවේට්, මියන්මාරය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනෙකුත් සංවාද හවුල්කරුවන් වෙයි.
භූගෝලය අනුව මෙන්ම ජනගහනය අනුව ද ෂැංහයි සහයෝගීතාව ලොව විිශාලතම කලාපීය සංවිධානය වන්නේ යුරේසියානු භූමියෙන් 80%ක් ම මෙම රටවලට අයත් බැවිනි. එමෙන් ම ලෝක ජනගහනයෙන් 40%ක් පමණ එම රටවල ජීවත් වන බැවින් මෙය ජනගහනය අනුව ද ලොව විශාලතම සහයෝගීතාව බවට පත්ව ඇත.