Breaking News

“හෑන්ඩ්ස් ඔෆ්!” ට්‍රම්ප්ට එරෙහි විරෝධතා පිටුපස ඇති දේශපාලනය

පසුගිය සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති මහජන පෙලපාලි එරට තුල ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයට එරෙහි අරගලයේ සුවිශේෂී කඩයිමක් වෙයි.

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයට යන්තම් සති 11කට අඩු කාලයකදී, වොෂින්ටන් සිට එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල විරෝධතා සඳහා මිලියන ගණනක් වීදි බැස ඇත.

එසේම මැතිවරණවලදී ට්‍රම්ප් ජයග්‍රහණය කළ ප්‍රදේශවලද ජනතාවද විශාල ලෙස මෙම විරෝධතා සඳහා පෙළගැසී තිබී ඇත.

“හෑන්ඩ්ස් ඔෆ්!” පෙළපාලි මුලින් කැඳවනු ලැබුවේ ඩිමොක්‍රටික් පක්ෂය වටා එකතුවූ කණ්ඩායම් විසින් වුවත් එය සංවිධායකයින්ගේ අපේක්ෂාවන් හෝ අරමුණු ඉක්මවා ගොස් තිබුණි. ප්‍රකෝටිපති ධනපතීන් සහ එලොන් මස්ක් හෙළා දකිමින් පැවැත්වූ විරෝධතා තුළ ඩිමොක්‍රටික් පක්ෂයට ද එරෙහි විරෝධතා පුවරු දැකගත හැකිවිය.

කම්කරුවන්ට, සංක්‍රමණිකයන්ට, සමාජ ප්‍රතිලාභවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ට්‍රම්ප්ගේ උමතු ප්‍රහාරය විරෝධතාකරුවන් හෙලා දුටුවේය. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙඅංශයෙන්ම පිටුබලය ලැබූ ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට පුලුල්ව පැතිරුනු විරෝධයක් මෙහිදී දක්නට ලැබී තිබේ.

මේ හරහා පෙනෙන්නේ ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූර කාලයේ වැඩපිළිවෙල ඉක්මනින්ම ජනතාවගේ නොසතුටට හේතු වී ඇති බවයි.

විශේෂයෙන් ඇමරිකානු ජනතාව ට්‍රම්ප් විසින් සමස්ත ලෝකයටම එරෙහිව වෙලඳ යුද්ධයක් දියත් කිරීමට අප්‍රේල් 2 වැනිදා ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු නැත. ධවල මන්දිරය සියලු ආනයන සඳහා තීරු බදු පැනවීමේ තීරණයට පෙර පෙර පවත්වන ලද නවතම රොයිටර් මත විමසුමට අනුව එක්සත් ජනපදය “නිවැරදි දිශාවට” ගමන් කරන බව පවසා ඇත්තේ සියයට 22 ක් පමනි.

නමුත් මෙම තත්ත්වය යටතේ ඩිමොක්‍රටික් පක්ෂයට කිසිවක් කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂ වී තිබේ. ට්‍රම්ප්, ඔවුන්ට අනුව ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකින් පරාජය කළ නොහැක. ඔවුන්ට ට්‍රම්ප්ට එරෙහි මජහන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් ඇති බව නොපෙනේ.

එසේම දේශපාලන විචාරකයන් අවධානය යොමුකරන තවත් කරුණක් තිබේ. ඔවුන් පවසන පරිදි සෙනසුරාදා පැවති විරෝධතාවල කොටස් දෙකක් සිටියි. එක් අතකින්, සමාජ සුබ සාධන වැඩසටහන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, සංක්‍රමණිකයන් සහ ගාසාවේ ජන සංහාරයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය පවතී. අනෙක් අතට, සමාජ සුබ සාධන වැඩසටහන්වලට ට්‍රම්ප් දක්වන ප්‍රහාරයට එකඟ වන සහ මූලික වශයෙන් විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ වන පිරිසක් ඇත. විශේෂයෙන් යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයෙන් ට්‍රම්ප්ගේ අපගමනය ඔවුන්ගේ නොසතුටට හේතු වී තිබේ.

leave a reply