Breaking News

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 12 න් 08 ට බහී

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණයක් ලබා ගැනීම සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පරාජයට පත්ව තිබේ. මේ අතර පසුගිය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගේ නියෝජනයක් දක්නට ලැබුණද මෙවර එය අටක් දක්වා අඩු වී තිබේ.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රානී බණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජේමාන්න යන අපේක්ෂිකාවන්ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ විජයකලා මහේෂ්වරන්, අනෝමා ගමගේ යන අපේක්ෂිකාවන්ද පරාජයට පත්ව තිබේ. මීට අමතරව පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ශ්‍රියාණි විජේවික්‍රම සහ සුමේධා ජී. ජයසේන යන හිටපු මන්ත්‍රීනියන්ද පරාජයට පත් විය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා සොයිසා සහ තලතා අතුකෝරල යන අපේක්ෂිකාවන් ජයග්‍රහණය කළ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රාජිකා වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ කෝකිලා හර්ෂනී ගුණවර්ධන පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ රෝහිණී කුමරි කවිරත්න සිය ආසනය ආරක්ෂා කර ගැනීමට සමත්ව තිබේ.

මීට අමතරව මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ පිරිස අතර දශක කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ සිටියි. ඔහු 1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පසුගිය පාර්ලිමේන්තුව සඳහා රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූයේ ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රමාණයක් හිමිකර ගනිමිනි.

ඔහුට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ බහුතරයකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය. රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එජාපයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූහ.

මීට අමතරව සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අජිත් පී. පෙරේරා, චන්ද්‍රාණි බණ්ඩාර, පී. හැරිසන්, චතුර සේනාරත්න, ඇතුළු හිටපු මහජන නියෝජතයන් රැසක් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව පරාජයට පත්විය.

මේ අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 70 ආසන්න මන්ත්‍රීවරුන් පිරිසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිව තිබේ.

 

leave a reply