Breaking News

ජනාධිපතිවරණයෙන් පිළිබිඹු වූ ජනතා අභිලාශයන් සැබෑ ජයග්‍රහණයක් කරා රැගෙන යනවා – කුමාර් ගුණරත්නම්

ජනාධිපතිවරණයෙන් පිළිබිඹු වූ ජනතා අභිලාශයන් සැබෑ ජයග්‍රහණයක් කරා ඉදිරියට ගෙනයාම තම පක්ෂයේ දේශපාලනය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස පැහැදිලි කිරීමේ අරමුණින් අද (24) කොළඹදී පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදීයි.

ඔහු එහිදී අදහස්වල සාරාංශයක් පහත දැක්වේ.

“ජනාධිපතිවරණය අවසන්. නව ජනාධිපතිවරයෙක් තේරීපත්වෙලා ඉන්නේ. පැරණි සම්ප්‍රදායික දේශපාලන පක්ෂ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමක් දකින්න පුලුවන්. ඒක ලංකාවේ දේශපානයේ නව බලාපොරොත්තුවක් විදිහට අපි දකිනවා. මේ ප්‍රතිඵලයට පසුගිය කාලේ රටේ ඇතිවුණු ආර්ථික දේශපාලන අර්බුදය බලපෑවා. මේ අර්බුදයේ වැඩි වගකීමක් මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සතුයි. එහි යම් තාර්කික අවසානයක් විදිහට තමයි 2022 ජනතා නැගිටීම සිදුවුනේ. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් එහිම යම් දිගුවක් විදිහට දකින්න පුලුවන්.

අපි දන්නවා ගෝල්ෆේස් අරගලය අවසන් වුනේ යම් අපේක්ෂාවන් ප්‍රමාණයක් එක්ක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් දිනාගැනීම, බදු ක්‍රමය වෙනස් කිරීම, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාව සතු කිරීම, දූෂිත පාලන තන්ත්‍රය අවසන් කිරීම ඇතුළු ජනතාවගේ අභිලාෂයන් පහුගිය කාලේ මර්දනය කරන්න යට කරන්න ආණ්ඩුව ලොකු උත්සහයක් ගත්තා. හැබැයි මේ මැතිවරණ ප්‍රතිපල ඔස්සේ එළියට ඇවිත් තියෙන්නෙ ඒ අපේක්ෂාව. විශේෂ කාරණයක් ලෙස, මාලිමාව ඉදිරිපත් කරපු ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් තමයි ප්‍රකාශයට පත් වී තියෙන්නෙ. ඒක නිසා අපි හිතනවා මේ අලුත් ආණ්ඩුවට විශාල වගකීමක් තියනවා මේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන්. අපි දන්නවා පහුගිය කාලෙම ලොකු කතාබහක් ඇති වුනා දූෂණය නැවැත්වීම ගැන. හොරු ඇල්ලීම ගැන. ඒවා වෙන්න ඕන. හැබැයි එතනින් එහාට ගිය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන තමයි ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.

වාණිජ මණ්ඩලය අද ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා. ඒකෙ කියලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න, ආර්ථික පරිවර්තන පනත ක්‍රියාවේ යොදවන්න, විදුලිබල පනත ක්‍රියාවේ යොදවන්න වගේ ඉල්ලීම් දහයක් මේ ප්‍රකාශයට ඇතුලත්. එතකොට අපිට පේන්නෙ නව ජනාධිපතිවරයෙක් පත් වූ මොහොතේ පටන්ම මේ සුපිරි ව්‍යාපාරික පැලැන්තිය සූදානම් වෙන්නේ මේ රටේ ජනතාව බෙල්ල මුලට හිර කරන තමන්ගේ ප්‍රතිපත්තිය කොහොම හරි ක්‍රියාත්මක කරගන්න. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ යටතේ සම්පූර්ණ කරගන්න බැරි වුණු ව්‍යුහාත්මක වෙනස්කම ඉටු කරගැනීම තමයි මොවුන්ගේ අපේක්ෂාව.

මේ ජනාධිපතිවරණය හමුවේ අපේ පණිවුඩය වුනේ ‘IMF එක මැදිහත් වෙන්නේ ජනතාවට සහනයක් අරං දෙන්න නෙවෙයි’ කියන කාරණය. IMF වගේ ආයතන හැමවෙලාවෙම මැදිහත් වුනේ ලංකාව ණය උගුලක හිර කරන්න. ජාත්‍යන්තර චෞර ධනකුවේර පැලැන්තිය ආරක්ෂා කිරීම තමයි මූල්‍ය අරමුදලේ උවමනාව. ඒක නිසා තමයි IMF ප්‍රතික්ෂේප කරමින් යන ගමනක් අපි යෝජනා කළේ.
ජාත්‍යන්තර ණය දීමේ කොන්දේසි පවා අනුගමනය නොකරමින් බලහත්කාරයෙන් අපි මත පටවන ලද ණය තියනවා. සමහර රටවල දේශපාලන උවමනාවන්ට දුන් ණයත් තියනවා. අපි දන්නවා පහුගිය කාලේ රාජපක්ෂලගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ව්‍යාපෘති සඳහා ණය ගත්තා. එතකොට මේ ණය දීපු රටවල් එක්ක ඍජුව අපි කතාකරන්න ඕන. මොන පදනම් මතද මේ ණය දුන්නේ ? ඒ ණයවලින් අදාල කාර්යයන් ඉටු වුණාද කියලා නිරීක්ෂණය කළාද ? වගේ කාරණා ගැන ඒ රටවල් එක්ක අපි කතාකරන්න ඕන. එහෙම කතාකරලා ජනතාවට ප්‍රතිලාභයක් නොලැබුණු ණය නැවත නොගෙවා සිටීමට අදාළ මැදිහත් වීමක් අපට කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් වූ අරගලයක් ඉදිරියේදී ජනතාවට තියනවා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ජනතාව එක්ක දිගටම කටයුතු කරනවා.

පහුගිය ජනාධිපතිවරණය තුළ මැතිවරණ වේදිකාවේ බොහෝ අගතිගාමී විවේචන එල්ල කරනවා අපි දැක්කා. විශේෂයෙන් ස.ජ.බ. එක්ක ඉන්න දේශපාලන කණ්ඩායම් 88 – 89 අරගලය ගැන විවිධ දේවල් කිව්වා. අනාගාමී රාජ්‍ය ගැන විවිධ මඩ ප්‍රචාර ගෙන ගියා. මේ හරහා මොවුන් උත්සාහ කළේ ලංකාවේ සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වෙන පසුගාමී චින්තනය නැවත නැවත මතුකරගන්න. වර්තමාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවා අනාගාමික රාජ්‍ය ක්‍රමය පිළිගන්නවා. රාජ්‍යය ආගමෙන් ඈත් විය යුතුයි කියන සංකල්පය අද ලෝකයම පිළිගන්නවා. කෙසේවෙතත්, එවැනි කණ්ඩායම්වල අගතිගාමී විවේචන ප්‍රතික්ෂේප කරමින් රටේ ජනතාව කටයුතු කිරීම ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ හැරවුමක් විදිහට අපි දකිනවා. ජනතාව ඉන්නේ ඔවුන්ට වඩා ඉදිරියෙන්. ඒ ප්‍රතිගාමී දේශපාලන උත්සාහයන්ට හසු නොවුන ජනතාව එක්ක අපිට කරන්න දේශපාලනයක් ඉස්සරහට තියනවා. අපි ඒ සඳහා ඉදිරියේදී පූර්ණ වශයෙන් මැදිහත් වෙනවා. ඒ එක්කම පසුගිය මැතිවරණයේදී අපි ඉදිරිපත් කළ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළ දිනවීම සඳහා අපි කැප වෙනවා.”

leave a reply