Breaking News

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”ට එරෙහි විය යුත්තේ ඇයි?

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” නමින් නිදහස් අධ්‍යාපනය වනසන – අධ්‍යාපනය මුදලාලිකරණය කිරීමේ සැළසුමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාකච්චා සභාවක් ඊයේ කොළඹදී පැවැත්වුනි. මේ අවස්ථාව සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ විය.

මෙහිදී අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ රනිල් ආණ්ඩුව රටේ සමස්ත අධ්‍යාපනය කෙළෙසීමට, පෞද්ගලීකරණය කිරීමට පිළිකුල් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් යන බවයි . ආපදා තත්ත්වය පාවිච්චි කරමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම යටතේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කොට එය සමාජයේ එක් පන්තියකට පමණක් භුක්ති විඳිය හැකි දෙයක් බවට පත්කිරීමේ සූදානමක් ඇතැයි ද ඔහු පැවසිය.

එසේම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”ට එරෙහි විය යුත්තේ ඇයි යන්න සවිස්තරාත්මකව සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලිපියක්ද තම facebook පිටුවේ පළකර ඇත. පහත දැක්වෙන්නේ එයයි.

ඊනියා “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”ට අප එරෙහි විය යුත්තේ ඇයි.?

ලිපි අංක-01

01.රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් මුදල් අය කිරීමට සැළසුමක්.
02.විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වෙන් නොකරයි. මුදල් සිසුන්ගේ ගිණුම් වලට.
03.රජයේ විශ්වවිද්‍යාල තම වියදම් සඳහා මුදල් ව්‍යාපෘති ආරම්භ කළ යුතුයි.
04. රජයේ මුදල්(මහජන බදු මුදල්) පෞද්ගලික විශ්වවිද්‍යාල හිමිකරුවන්ට.
05.UGC අහෝසි කිරීමටත් යෝජනාවක්.
06.පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරයි.
07. QAAC නමින් රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල එක් දර්ශකයක් තුළ ශ්‍රේණිගත කරයි.
08.රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් වල සම්පත් කොම්පැනි කරුවන්ට ලබා දීමට යෝජනා.
09.විදෙස් සිසුන්ට වීසා හා රැකියා ලබාදීමේ වගකීම අධ්‍යාපනය අමාත්‍යංශයට
10.පාසල් වල වගකීමෙන් රජය නිදහස් වී පළාත් සභා වලට පවරයි.
11.පාසල් වලට ප්‍රතිපාදන ලබාදෙනුයේ ඒවායේ ප්‍රතිඵල වල මට්ටමටයි.
12.ළමා ශ්‍රමය නීතිගත කිරීම සඳහා අධ්‍යාපන සැලසුම්.
13. ශාස්ත්‍රීය අධ්‍යාපනය කුණු කූඩෙට.

ඉහත යෝජනා 13 ද ඇතුළත්ව තවත් ජනතාද්‍රෝහී යෝජනා ගණනාවක් සමගින් “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” නමින් ඉදිරියේදී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කෙසේ සකස් විය යුතුද යන්න තීරණය කරීමට ආණ්ඩුව වාර්තාවක් සකස් කොට අවසන්ය.එයට මෙම මාර්තු මස අගදී අධ්‍යාපනය සඳහා වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂක කාරක සභාවේ අනුමැතිය ලැබීමට නියමිතය. මෙය සකස් කළේ 25 දෙනෙකුගෙන් යුතු කමිටුවකිනි. එය IT ක්ෂේත්‍රයේ පුද්ගලික ආයතන වල නියෝජිතයන් 08ක් පමණද, උපාධි කඩ ජාලයක හිමිකරුවකු වන ටිරාන් අලස්ගේ සහෝදරයා වන හර්ෂ අලස් ,Jetwin Group හෝටල් ජාලයේ හිමිකරු වන හිරාන් කුරේ වැන්නවුන්ගෙන් ද සම්න්විත වූවකි. අධ්‍යාපනය සම්බන්ධ විශේෂඤයින් කිසිවකු හෝ සම්බන්ධ කර නොගෙන ඇති මෙම කමිටුවට අඩුම තරමින් විශ්වවිද්‍යාල සහ පාසල් ගුරුවරුන්ගේ වත් නිසි නියෝජනයක් නැත. මෙරට තුළ නවලිබරල් වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය ගොඩ නැගීම ඉලක්ක කරගනිමින් ගෙන එන මෙම ප්‍රතිසංස්කරණ බරපතළ අධ්‍යාපන සංහාරයකි.
මෙය පනතක් නොවී ප්‍රතිපත්තියක් වන බැවින් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ බලයද නැත. එනිසා මෙය සම්මත වීමෙන් පසු ඉදිරි කාලය සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මෙයට අනුව සකස් කිරීම බලාපොරොත්තු වේ. මෙම වාර්තාව සකස් කරනු ලැබුයේ ඉංග්‍රීසි බසින් වන අතර එහි පිටපත් ලෙස සිංහල සහ දමිල වාර්තා සැකසුණි. නමුත් මෙහි සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සැකසූ වාර්තා අතර සැළකිය යුතු පරස්පරතා අඩංගු ය. එහි අරමුණ බහුතරයක් සිංහල භාෂාව භාවිතා කරන ජනතාව නොමග යැවීමයි.

මෙය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ලෙස හදුන්වයි. එනම් මෙම රාමුවට අනුව රටේ ඉදිරි අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුතුය. නමුත් රනිල් – රාජපක්ෂ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට එවැනි අයිතියක් නොමැත. මන්ද රනිල්-රාජපක්ෂ යනු ජනවරමක් නොමැති ජනතාව එළවා දැමූ කල්ලියකි. එවැනි කල්ලියකට රටක ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමට සදාචාරාත්මක අයිතියක් හෝ බලයක් නැත.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය ඉතා පැහැදිලිය. නව ලිබරල් ආර්ථික මොඩලය තුළ ප්‍රාග්ධන හිමිකරුවන්ට එසේත් නැතිනම් මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට තවදුරටත් ධනය එක්රැස් කරගැනීම උදෙසා අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම මෙම ඊනියා ප්‍රතිපත්තියේ අරමුණයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමිකයකු නිර්මාණය කිරීමත්, අධ්‍යාපනය මුදලට විකිණීමත් හැර අධ්‍යාපනික හෝ සමාජ සංවර්ධන කෝණයකින් කිසිදු යෝජනාවක් මෙම ප්‍රතිපත්ති රාමුව තුළ නොමැත. එමනිසා මෙහි අඩංගු බොහෝ යෝජනා IT,AI,English Language වැනිදෑට සීමා වී ඇත. එම අරමුණ නිසාම මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට සම්බන්ධ කරගෙන ඇත්තේ, පෞද්ගලික විශ්වවිද්‍යාල වල හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආයතනවල නියෝජිතයන් ඇතුළු රනිල්ගේ හෙංචයියන් පිරිසකි. එම නිසා මෙය රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ලෙස කිසිසේත්ම පිළිගත නොහැක.

leave a reply