ජුනි 19 වැනි සිකුරාදා චෙම්මනි සමුහ මිනීවල නැරඹීමට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දහතුන් දෙනකුටත් අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ අට දෙනකුටත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබුණි. එහිදී මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් ආණ්ඩුව කොයිතරම් දුරට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වෙනු ඇතිද යන ප්‍රශ්නය නැවත මතුවී තිබේ.
කැනීමෙන් ගොඩගන්නා සිරුරු සම්බන්ධයෙන් විශ්වසනීය ලෙස යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශකයන්ගේ දායකත්වය ලබාගන්න ලෙස බලකරමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධතාවක් පවත්වමින් කළ ඉල්ලීම අමාත්‍යවරයා එකහෙලාම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ප්‍රමාණවත් අපරාධ නීති පද්ධතියක් රටේ තිබෙන බව පවසමිනි. වල දමා ඇත්තේ අපරාධයකට ගොදුරු වූවන් බවට කරන ලද යෝජනාව බැහැර කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අපරාධකරුවන් නම් කරන ලෙස මාධ්‍යවේදීන්ට අභියෝග කර තිබේ.
චෙම්මනිය හා ඒ අවට ප්‍රදේශයේ යුද හමුදාව විසින් සිරුරු සියගණනක් මරා වලදමා ඇති බව වසර ගණනාවකට ඉහත දි අධිකරණයට ප්‍රකාශ කළ දහනම හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් ශිෂ්‍යාව දුෂණය කොට ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියම වූ කෝප්‍රල් රාජපක්ෂ ඇතුළු සෙබළුන් 5ක් විසින් පෙන්වන ලද ස්ථානවලින් 1999 දී සිරුරු 15ක් ගොඩගන්නා ලදී.
ඒ පිළිබඳ මාධ්‍යවේදීන් සඳහන් කළ විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සදහන් කළේ එම සිරුරු කොටස්වල වෝහාරික පරීක්ෂණ සම්බන්ධ තොරතුරු රජය සතුව නොමැති බවයි.
“ඒ තොරතුරු අපි ගාව නෑ. තියනවානං ඒක හොයා ගන්න පුළුවන්. 1998 තොරතුරු අපි ගාව නැ.”
ඇමතිවරයා සමග ගොස් සිටි ආණ්ඩු පක්ෂයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන කරුනානාදන් ඉලන්කුමාරන් සහ රජීවන් ජෙයචන්ද්‍රමුර්තිද කැනීම් භූමියට පැමිණියේ පළමු වතාවට බවද වාර්තා වේ.
2026 ජුනි 21 වැනි ඉරිදා වන විට චෙම්මනි සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 405 ක් පාදාගෙන තිබුණි. මේවනවිට මෙම මිනීවල ලංකාවෙන් හමුවූ විශාලතම සමූහ මිනීවල බව නම් කර තිබේ.
මේ අතර මෙම කතා බහේදී හෙළිවූ තවත් තොරතුරක් වන්නේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුවේ වරදකරුවෙකු වූ යුද හමුදාවේ කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ තමන් නිදහස් කරන්නේ නම් යාපනයේ යුද සමයේ සිදු වූ සියලු ඝාතන සහ වධකාගාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමටත් , අදාළ යුද අපරාධවලට සම්බන්ධ සියලුම ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ නම් හෙළි කිරීමටත් සූදානම් බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද සමඟ පැවසූ බවයි.
ලංකාවේ නීතිය අනුව එවැනි දෙයක් කළ නොහැකි බව එහිදී ඇමතිවරයා සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපතිවරයා පවසයි. අපරාධයක් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීමට යම්කිසි පුද්ගලයෙකු සූදානම්ව සිටිද්දී එතරම් පහසුවෙන් මෙය බැහැර කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ. මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ ආණ්ඩුව කොයිතරම් දුරට උතුරේ සිදුවූ අපරාධයන්ට වගවීමට සූදානම්ඵ යන්නයි.






