ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්කි ඔන්ලයින් ක්‍රමය හරහා ලබා දීමට එවකට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී 2011 දෙසැම්බර් 09 දින අතුරුදන් කරන ලද ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පිළිබඳ මෙම නඩුව ජුනි 02 වැනිදා යාපනය මහේස්ත්‍රාත් ඉදිරිපිට කැඳවීය.
2019 ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසා තිබුණි. කෙසේවෙතත් ඊට ටික දිනකට පසු ඔහු යාපනය නගරයේ පැවති ජනාධිපතිවරණ රැස්වීමකට සහභාගී වී සිටිනු දැකිය හැකිවිය. තමාගේ ජීවිත තර්ජනය ගැන සඳහන් කරමින් ඔහු මීට පෙර අභියාචනාධිකරණය (Court of Appeal) වෙත පෙත්සමක් ගොනු කරමින් නීතිමය පියවර ගෙන ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස අභියාචනාධිකරණය විසින් ඔහුට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. පසුව 2019 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන මුක්තිය (Presidential Immunity) මත ඔහුට එරෙහිව මෙම නඩු කටයුතු පවත්වාගෙන යාම අත්හිටුවිණි.
කෙසේ වෙතත්, 2022 වසරේදී ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුට තිබූ මුක්තිය අහෝසි වූ බැවින්, නැවතත් මෙම නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා ඔහුව කැඳවීමට නෛතික පසුබිම නිර්මාණය විය. 2025 ජුලි 30 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන මහතුන් 2011 වසරේදී යාපනයේදී අතුරුදන් වූයේ, උතුරු පළාතේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.
මෙම අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසින් නීතිඥ නුවන් බෝපගේ හරහා හබයාස් කෝපුස් (Habeas Corpus – පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින) පෙත්සමක් ගොනු කරන ලදී. එම කාල සීමාවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ බැවින්, එකල පැවති ආරක්ෂක තත්ත්වය සහ මෙම අතුරුදන්වීම් පිළිබඳව කරුණු විමසීම සඳහා ඔහුව සාක්ෂිකරුවෙකු ලෙස යාපනය අධිකරණයට කැඳවීමට නියෝග කෙරිණි.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා ජුනි 02 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ කියා තිබුණේ ඔහු සැකකරුවකු නොව, සාක්කිකරුවකු වන නිසා ඔහුට තිබෙනවා යැයි කියන ආරක්ෂක ප්‍රශ්නය සලකා බලා ඔන්ලයින් සාක්ෂි ලබා දීමට අවසර ලබා දෙන බවය.
ඒ අනුව, ජුනි 19 වැනිදා ඔන්ලයින් ක්‍රමයට සාක්කි ලබාදෙන ආකාරය තීන්දු කිරීම සඳහා නඩුව යළි කැඳවීමට නියමිතය.






