Breaking News

පෞද්ගලික රෝහල් කොරෝනාව ගරානාවක් කරගනියි – ඇතැම් රෝහල් ප්‍රමාණය ඉක්මවා PCR කරලා

දෛනික PCR පරීක්ෂණ මෙන් පස් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන The Sunday Morning පුවත්පතට පවසා තිබේ.

කිසියම් පෞද්ගලික රෝහලක් විසින් වෙන් කරන ලද PCR පරීක්ෂණ සීමාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ රෝහලට ලබා දී ඇති බලපත්‍රය වහාම අවලංගු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.

“පුද්ගලික රෝහල්වලට විශේෂ චක්‍රලේඛයක් හරහා PCR පරීක්ෂණ පැවැත්වීමට අපි අවසර ලබා දී ඇති අතර ඔවුන්ට කළ හැකි පරීක්ෂණ ගණනට සීමාවක් තියෙනවා. පනවා ඇති සීමාව ඉක්මවා PCR පරීක්ෂණ සිදු කළ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් මෑතකදී අපට පැමිණිලි ලැබුණා. අපි වහාම ඔවුන්ට අවසන් අනතුරු ඇඟවීම සිදුකළා. මෙයින් පසු අපට කිසියම් පැමිණිල්ලක් ලැබුණහොත් අපි ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනවා. ”වෛද්‍ය ගුණවර්ධන පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිරීති හා රෙගුලාසි වලට අනුව දිනකට PCR පරීක්ෂණ 1,200 ක් පමණක් නීත්‍යානුකූලව කළ හැකි වුවද, මෙම පෞද්ගලික රෝහල දිනකට PCR පරීක්ෂණ 7,000 ක් පමණ පවත්වා ඇති බව ද The Sunday Morning පුවත්පත පවසයි.

තවද, එම පෞද්ගලික රෝහල තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක පීසීආර් පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී ආසාදිත බව තහවුරු වූ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට දැන් චෝදනා එල්ල වී තිබේ.

02/01/2021 දිනැති චක්‍රලේඛයට අනුව පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික අංශයේ රසායනාගාර යම්කිසි තක්සේරුකරණයක් කිරීමට සහ ඒවාට pcr පරීක්ෂණ සිදුකිරීමට ඉඩ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික අංශයේ විද්‍යාගාර ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

එම චක්‍රලේඛයට අනුව , සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදේශයන්ට අනුකූලව සියලුම අනුමත රසායනාගාර විසින් කොවිඩ් -19 පරීක්ෂණ සිදු කළ යුතු බව සඳහන් කර ඇති අතර, තත්ත්ව සහතිකය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බාහිර තත්ත්ව සහතික කිරීමේ වැඩසටහනට අනුව පිළිපැදිය යුතුය. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරිත්වය සහ පරීක්ෂණ ධාරිතාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අන්තර්ජාලය හරහා වාර්තා කළ යුතුය.

තවද, කොවිඩ් -19 රෝගීන් පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයට වහාම දැනුම් දිය යුතු බව අවධාරණය කෙරේ.

මේ අතර අද දිනයේ කොවිඩ් -19 සම්බන්ධයෙන් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහල් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාවට පටහැනිව කටයුතු කරනු ලබන පෞද්ගලික රෝහල් වලට එම පරීක්ෂණ සිදුකිරීමට ලබාදී ඇති අවසරය අවලංගු කරන බව එහි දැක්වේ.

නමුත් දක්නට ලැබෙන තත්ත්වය වී ඇත්තේ මුදල් ගරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ ඉක්මවමින් මේ පෞද්ගලික රෝහල් කටයුතු කරන ආකාරයයි. මෙහිදී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ මෙම පරීක්ෂණ සඳහා අනුමත කර ඇති ගාස්තුවට වඩා වැඩි මුදලක් අයකරන බවයි.

leave a reply