පැවතුනු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 5,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 86,882කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කර තිබේ.
මේ වන විට දිස්ත්‍රික්ක 25ක පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771ක් පීඩාවට පත්ව ඇත.
ගංවතුර, නායයෑම් සහ අනෙකුත් කාලගුණික සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 203 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, මරණ 639ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් තහවුරු කර තිබේ.
මේ අතර, අවතැන් වූ පවුල් 27,145ක පුද්ගලයින් 86,040 දෙනෙකුට නවාතැන් සැපයීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන 878ක් පිහිටුවා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවට පසුගියදා බලපෑ දිට්වා සුළි කුණාටුව, දශක ගණනාවකින් ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) භූගෝලීය විශ්ලේෂණයකට අනුව, මෙම සුළි කුණාටුව හේතුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වන හෙක්ටයාර මිලියන 1.1කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවි ඇත.
සුළි කුණාටුවෙන් ගංවතුරට හසු වූ මුළු ශ්‍රී ලාංකිකයන් ගණන මිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර ඉන්වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වේ.
ගංවතුරට හසු වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2ක්, ළමුන් 522,000ක්, සහ වයස්ගත පුද්ගලයන් 263,000ක් ඇතුළත් බවයි එම වාර්තාවේ දැක්වේ.
ගංවතුරට හසුවූ සමස්ත ජනතාවගෙන් 60%කට වැඩි පිරිසක් ජීවත් වූයේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුළයි.
ගංවතුරට ලක් වූ ප්‍රදේශවල සිටි ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සුළි කුණාටුවට පෙර සිටම අස්ථාවර ආදායම් සහ අධික ණය වැනි බහුවිධ අවදානම්වලට මුහුණ දී සිටි බව ද එහි සඳහන් වේ.
ගංවතුර ගොඩනැගිලි 720,000ක් පමණ ආසන්නයට ළඟා වූ අතර, එය රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකකි.
කිලෝමීටර් 16,000කට වැඩි මාර්ග ප්‍රමාණයක් ගංවතුරට නිරාවරණය වී ඇත. වාර්තාව පවසන්නේ එය දිවයිනේ වෙරළ තීරය වටා දොළොස් වතාවකට වඩා ගමන් කිරීම තරම් ප්‍රමාණයක් බවයි.
දුම්රිය මාර්ග කිලෝමීටර් 278කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 480ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබූ බව සඳහන් වේ.
කඳුකර අභ්‍යන්තර ප්‍රදේශවල සුළි කුණාටුව හේතුවෙන් නාය යෑම් 1,200ක් පමණ ඇති වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසා ඇත.
UNDP පවසන්නේ දිට්වා, වසර ගණනාවක ආර්ථික පීඩනයෙන් දැනටමත් දුර්වල වී ඇති කලාපවලට බලපෑ බවයි.
ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින්, මෙම විශාල ස්වභාවික ව්‍යසනය යළි ගොඩනැංවීමේ වියදම් පියවා ගැනීමට තවත් ණය බරක් දැරීමට රටට නොහැකි බව UNDP නියෝජිත අසූසා කබෝටා අවධාරණය කර සිටියි.






