Tag: ditwah

  • අනුර ව්‍යසනයෙන් විපතට පත් නිවසක අවුරුදු සමරද්දී තවත් පිරිසකට උන්හිටි තැනවත් නැහැ

    අනුර ව්‍යසනයෙන් විපතට පත් නිවසක අවුරුදු සමරද්දී තවත් පිරිසකට උන්හිටි තැනවත් නැහැ

    ජනාධිපතිවරයා විසින් දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවසක අලුත් අවුරුදු සැමරීම බොරු රඟපෑමක් බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ. එයට හේතුව තවමත් දිත්වා සුළි කුණාටුවෙන් වන්දි නොලැබූ විශාල පිරිසක් සිටියදී ජනාධිපතිවරයා එම ප්‍රශ්න සියල්ල විසඳූ ආකාරයට හැසිරී ඇති බව ඔවුන්ගේ අදහසයි .

    මෙහිදී එම පිරිස් සඳහන් කරන්නේ විශේෂයෙන් කඳුකර තමිල් ප්‍රජාව ජීවත්වූ ප්‍රදේශවල හානියට පත්වූ නිවාසවල ජීවත් වූ ජනතාව තවමත් මූලික පහසුකම් හෝ නොමැතිව තාවකාලික කුඩාරම්වල දිවිගෙවන බවයි.

    ඒ සඳහා ඔවුන් ඩේලි මිරර් පුවත්පත් වාර්තාවක් ද උපුටා දක්වා තිබේ.

    එම වාර්තාවෙන් ව්‍යසනයෙන් සිදුවූ හානිය හමුවේ වන්දි ලබාගැනීමට සුදුසුකම් ලැබූ පිරිස සහ එම වන්දි ලබාගත් පිරිස මෙන්ම මාර් තු 20 වැනිදා වනවිට එම වන්දි නොලැබුණු ප්‍රමාණයද දක්වා තිබේ.

    එම වගුව පහත දැක්වේ.

  • දිට්වා නිසා සිදුවූ හානියේ පසුකම්පන ගැන UN වාර්තාවක්

    දිට්වා නිසා සිදුවූ හානියේ පසුකම්පන ගැන UN වාර්තාවක්

    දශක දෙකක කාලය තුළ ඇති වූ දරුණුතම ගංවතුර හා නායයෑම් හානිය සිදු කරමින් ශ්‍රී ලංකාව හරහා කඩා වැටුණු ඩිට්වා සුළි කුණාටුවෙන් මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත්, රට සංකීර්ණ මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    එම සංවිධානය සහ මානුෂීය හවුල්කරුවන් විසින් නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවට අනුව, අරමුදල් හිඟය තීරණාත්මක ප්‍රතිසාධන කටයුතු අඩාල කිරීමට බලපාන බැවින්, 165,000 කට අධික පිරිසක් අවතැන්ව, සත්කාරක පවුල් සමඟ හෝ තාවකාලික ආරක්ෂක මධ්‍යස්ථානවල ජීවත් වෙති.

    දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2.2 ක ජනතාවකට බලපෑ සුළි කුණාටුව, රටේ යටිතල පහසුකම් සහ ප්‍රජාවන්ට ගැඹුරු හානි ඇති කර තිබේ. දෙසැම්බර් අග වන විට, ව්‍යසනයෙන් ජීවිත 646 ක් අහිමි වූ අතර, පුද්ගලයින් 173 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. ක්ෂණික හදිසි සේවා සැපයීමේ අවස්ථාව අවසන්ව ඇති අතර, අර්බුදය නවාතැන් සහ මූලික සේවා ලබාගැනීමේ ගැටළුවක් දක්වා පරිණාමය වෙමින් පවතින බව එම වාර්තාව ඉස්මතු කරයි.

    ක්‍රියාකාරී ආරක්ෂක මධ්‍යස්ථාන සංඛ්‍යාව 990 ක උපරිමයේ සිට 85 දක්වා පහත වැටී ඇති අතර, මෙම වසා දැමීමේ ක්‍රියාවලිය නව අභියෝග මාලාවක් හෙළි කර තිබේ. ආසන්න වශයෙන් 6,680 ක් පමණ ජනතාව මෙම මධ්‍යස්ථානවල රැඳී සිටින නමුත්, ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් – 165,000 කට වඩා – සත්කාරක පවුල් අතර විසිරී සිටිති. බදුල්ල, කෑගල්ල සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල “නැගී එන අවිධිමත් සහ විසිරුණු ජනාවාස විධිවිධාන” පිළිබඳව වාර්තාව අනතුරු අඟවන අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල මතු කරයි.

    නිවාස හානිය පුළුල්ව පැතිරී ඇති අතර, නිවාස 6,000 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 108,000 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය (NBRI) දැනට නැවත පදිංචි කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරමින් සිටින නමුත්, නායයෑම් අවදානම් හේතුවෙන් බොහෝ දෙනෙකුට නැවත නිවසට පැමිණීම කළ නොහැකි ය.

    2025 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද මානුෂීය රට කණ්ඩායමේ ප්‍රතිචාර සැලැස්ම, වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන් 658,000 කට සහාය වීම අරමුණු කරයි. කෙසේ වෙතත්, සැලකිය යුතු අරමුදල් හිඟයන් පවතී. මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 35.3 න්, මේ දක්වා ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 22.4 ක් (63.5%) පමණි.

    සෞඛ්‍ය, කෘෂිකර්ම සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන අංශවලට අරමුදල් ප්‍රමාණවත් නොවේ. ග්‍රාමීය ජීවනෝපායන් සහ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම අංශය, 94% ක පමණ අරමුදල් හිඟයකට මුහුණ දෙයි.

    සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුවන හානිය විශේෂයෙන් දරුණු වී ඇත. යාවත්කාලීන කරන ලද තක්සේරු කිරීම්වලින් හෙළි වූයේ ප්‍රාථමික සහ ද්විතීයික පාසල් 1,682 ක් බලපෑමට ලක් වූ බවත්, එමඟින් සිසුන් 823,000 කට ආසන්න සංඛ්‍යාවකගේ අධ්‍යාපනය අඩාල වූ බවත්ය. සමහර පාසල් නැවත විවෘත කර ඇතත්, බොහෝ පාසල් හානි වූ සනීපාරක්ෂක පහසුකම් සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය හිඟයකින් පෙළෙන බව පැවසේ.

    සෞඛ්‍ය බලධාරීන් ද මන්දපෝෂණ අවදානම් ඉහළ යාම පිළිබඳව අනතුරු ඇඟවීමක් කරමින් සිටී. බෝග හානි හේතුවෙන් එළවළු මිල 200% දක්වා ඉහළ යාමත් සමඟ, ආහාර විවිධත්වය පහත වැටී ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ ආහාර වේලෙහි බොහෝ විට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සහ නැවුම් නිෂ්පාදන නොමැති බවත්, ගර්භනී කාන්තාවන්ට සහ අවුරුදු පහට අඩු දරුවන්ට තර්ජනයක් වන බවත් වාර්තාවේ සඳහන් විය.

    සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය ආරක්ෂක අවදානම් ද උග්‍ර කර ඇත. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තවමත් තීරණාත්මක කනස්සල්ලක් වන අතර, ජනාකීර්ණ අවතැන් සැකසුම් තුළ කාන්තාවන් සහ දරුවන් ඉහළ අවදානමකට මුහුණ දී සිටී. ඛේදවාචකය පවුල් ද බිඳ දමා ඇත; මෙම ව්‍යසනයෙන් දරුවන් 113 දෙනෙකුට දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වූ බවත්, එමඟින් ඔවුන් දරිද්‍රතාවයේ සහ සූරාකෑමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත් වාර්තාවෙන් හෙළි විය.

    මෙම අභියෝග මධ්‍යයේ වුවද, මානුෂීය ප්‍රතිචාරය මේ වන විට 216,000 කට අධික පිරිසකට ළඟා වී තිබේ. ආයතන විසින් ජල සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන අතරතුර ආහාර, සනීපාරක්ෂක කට්ටල සහ හදිසි නවාතැන් ද්‍රව්‍ය බෙදා හැර තිබේ. කෙසේ වෙතත්, වාර්තාව නිගමනය කරන පරිදි, සම්පූර්ණ සුවය ලැබීමේ මාවතට අරමුදල් පරතරය පියවා ගැනීමට සහ සහන සිට ප්‍රකෘතිමත් වීම දක්වා මාරුවීමේදී වඩාත් අවදානමට ලක්විය හැකි අය ඉතිරි නොවන බව සහතික කිරීමට තිරසාර ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වේ.

  • ණය සහනයක් ගැනීමට තිබූ අවස්ථාවක් ආණ්ඩුව මග හැරියා – වෛද්‍ය ගිශාන්ත දසනායක

    ණය සහනයක් ගැනීමට තිබූ අවස්ථාවක් ආණ්ඩුව මග හැරියා – වෛද්‍ය ගිශාන්ත දසනායක

    ආපදාව හේතුවෙන් ලංකාවට ණය ගෙවීමට නොහැකි බව දන්වමින් සියලු රටවල් ලංකාවේ ණය කපාහැරීමකට එකඟ වෙන්නැයි රටවල් සියයකට අධික පිරිසකගේ ලිපියක් ප්‍රසිද්ධ කළ ද ලංකා ආණ්ඩුව ඒ අවස්ථාව මගහැර යැම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යැයි ජනතා වෘත්තික මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රජයේ පශ්චාත් ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දුර්වලතා පෙන්වා දීම සඳහා ජනතා වෘත්තික මධ්‍යස්ථානය ඊයේ (24) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

    එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ගිශාන්ත දසනායක…

    ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක්

    “පසුගිය නොවැම්බර් අග ඇතිවුණු දිට්වා සුළිකුණාටුව කියන්නේ එක් අතකින් මේ රටේ පාලකයන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. මේ ව්‍යසයනය වෙලාවේ අපි පැහැදිලිව දැක්කා සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ ජනතාව කිසිඳු බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගත්ත ආකාරය. රජයට සැබෑ උවමනාවක් තිබුණ නම් මේ අවස්ථාව පාවිච්චි කරලා මේ රටේ ජාතීන් අතර තියෙන අසමගිය අහෝසි කිරීමේ මාවතකට ප්‍රවේශ වෙන්න පුළුවන්කම තිබුණා. අනිත් පැත්තෙන් අපි දන්නවා වසර 200 ක් තිස්සේ මේ රටේ ජීවත්වෙන මලෛයහ තම්ල් ජනතාව දැවැන්ත පීඩාවකට සහ අසාධාරණයකට ගොදුරු වෙලා ඉන්නේ. මේ මලෛයහ තම්ල් ජනතාවගේ ලයිම් නිවාස තිබුණු ප්‍රදේශ තමයි ආපදාව වෙලාවේ වැඩියෙන් ම නාය යෑමට ලක් වුණේ. ඒ නිසා මේ අවස්ථාවෙදිවත් ඔවුන් වෙනුවෙන් යම් සැලකිය යුතු සහන ප්‍රමාණයක් දෙන්න අවශ්‍යයි. හැබැයි ඒ කටයුත්ත ඉෂ්ට කරනවා වෙනුවට ඔවුන්ව තවමත් දෙවෙනිකොට සැලකීමක් තමයි අපට පෙනෙන්න තියෙන්නේ. අනිත් වැදගත් ම කාරණය තමයි රාජ්‍ය ප්‍රතිපත්තිවල සහ කළමනාකරණයේ දුර්වලකම මේ ව්‍යසනය වෙලාවේ හොඳින් ම පෙනෙන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමක් කරන්නත් මේක ආණ්ඩුවට ලැබුණු හොඳ අවස්ථාවක්. හැබැයි ඒ සියලු අවස්ථා ආණ්ඩුව මගහරිමින් ඉන්න බව තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. මේ දිට්වා සුළිකුණාටුව වෙලාවේ අපිට හැකියාව තිබුණා රට වැටිලා ඉන්න ණය උගුලෙන් බේරීම සඳහා නැවත සමාලෝචනයකට යන්න. මොකද අපේ ණය ගිවිසුමේ පැහැදිලව තියනවා ආපදාවකදි ණය ගිවිසුම නැවත සමාලෝචනය කරන්න පුළුවන් කියලා. ලෝකයේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් 100කට වැඩි පිරිසකගේ අත්සනින් ලිපියක් පවා පසුගිය දවසක නිකුත් වුණා. මේ ආපදාව නිසා ලංකාවට ණය ගෙවන්න බැහැ. ඒ නිසා සියලු රටවල් ලංකාවේ ණය කපාහැරීමකට එකඟ වෙන්න කියලා. හැබැයි ලංකාවේ ආණ්ඩුව ඒ අවස්ථාවත් මගහැරලා යන පාටක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

    වතු සමාගම් වෙත ලියා දි ඇති ජීවිත

    මේ ඔක්කොම එක්ක බලද්දි ලංකාවේ පශ්චාත් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ඉතාම දුර්වල තත්වයකට තමයි පත්වෙලා තියෙන්නේ. අපි දන්නවා සුළි කුණාටුව, ගංවතුර සහ නාය යෑම වෙලාවේ මේ රටේ ජනතාව ක්ෂණිකව මැදිහත්වෙලා ඒකට අවශ්‍ය ප්‍රතිචාර දැක්වුවා. හැබැයි ඒ වෙලාවේ ආණ්ඩුවේ මැදිහත්වීම තිබුණේ ඉතාම දුර්වල අඩියක. අපි දන්නවා රම්බොඩ ඇල්ල මාර්ගයට පස් කඳු කඩාගෙන වැටිලා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා. හැබැයි තවමත් ඒ මාර්ගයේ එක මංතීරුවක විතරයි පස් ඉවත් කරලා තියෙන්නේ. මාර්ගයේ අනෙක් කොටස පිළිසකර කිරීම තවමත් අවසන් කරලා නැහැ. දිට්වා ආපදාව නිසා වැඩිම නායයෑම් ආපදාවල පත්වුණේ මාතලේ, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක පහේ ජනතාව. මේ ප්‍රදේශවල තමයි වැඩියෙන් ම මලෛයහ තමිල් ජනතාව ජීවත් වෙන්නේ. ඉඩමක අයිතිය නැති, නිවසක් නැති ජීවත්වෙන්න ප්‍රමාණවත් වැටුපක් නැති මේ ජනතාව අදටත් ඉන්නේ තමන්ගේ ජීවිත වතු සමාගම්වලට ලියලා දීලා. මේ ව්‍යසනය නිසා අදටත් ඒ ජනතාව ඉන්නේ දැවැන්ත පීඩාවකට පත්වෙලා. හැබැයි තවම ඒ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න රජය මැදිහත්වෙලා නැහැ.

    වතු කම්කරු ජනතාව අහිකුණ්ඨික ජීවිතයක් ගත කළ යුතු ද?

    කෑගල්ල අරනායක ප්‍රදේශයේ තියනවා ආර්පිකෝ සමාගමට අයිති ප්ලාන්ටේශන් එකක් ‘දෝතළුඔයවත්ත’ කියලා. මේ වත්තට යන කිලෝ මීටර් 14 ක පාර ගිලා බැහැලා. ඒ නිසා ඒ ප්‍රදේශයේ ජීවත්වෙන 6000 කට වැඩි ජනතාවක් අසරණ වෙලා. ඒ අතරින් 200 ක් පාසල් ළමුන්. මේ ජනතාව අවතැන් කඳවුරක් විදිහට පාවිච්චි කරමින් හිටියේ මිනිස් පාසල පස්සේ ෆැක්ටරිය. හැබැයි දැන් ෆැක්ටරියේ වැඩ කරන්න ඕන නිසා මේ ජනතාව ඉතාම අනාරක්ෂිත විදිහට අර අවදානම් භූමියේ පදිංචි කරවන්න තමයි සූදානම් වෙන්නේ. ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය මේ ප්‍රදේශය නම් කරලා තියෙන්නේ රතු අවදානම් කලාපයක් විදිහට. වැස්සට අදාළව නිකුත් කරලා තියෙන ව්‍යාජ ලේඛනයක් පාවිච්චි කරල තමයි මේ ජනතාව නැවත පදිංචි කරවන්න යන්නේ. දැනට ඒ ජනතාවට කියලා තියෙන්නේ ඒ අවදානම් ප්‍රදේශවල පදිංචි වෙලා මිලී 150 ප්‍රමාණයට වඩා වැස්සොත් වහාම ඉවත් වෙන්න කියලා. එහෙම පංදිංචි වෙන්නයි වැස්සාම හකුළං යන්නයි එතකොට අහිකුණ්ඨික ජීවිතයක්ද ඒ ජනතාව ගෙවන්න ඕන ?

    ASP සමාගමේ හිමිකරු ඉන්නේ ආණ්ඩුව සමග යි

    දැන් මේ ජනතාවට ඉඩමක අයිතිය නිවසක අයිතිය නැති නිසා ඉඩම් නිවාස අහිමි වුණ අයට ලැබෙන ලක්ෂ 50ක මුදල පවා අහිමිවෙන තත්ත්වයක් උද්ගතවෙලා. මේ ජනතාව දන්නේ දෙමළ භාෂාව නිසා ඔවුන් ගේ ප්‍රශ්න රජයේ ආයතනවලට දැනුවත් කරන්නවත් හැකියාවක් නැහැ. මොකද මේ ප්‍රශ්නයට අදාළ රජයේ ආයතනවල තමිල් භාෂාවෙන් සේවා සැපයීමක් පවා නොවෙන ගානයි. තුල්හිරිය ප්‍රදේශයේ ASP ආයතනය මගින් ඉඩමක පස් කැපීම නිසා ආපදාව වෙලාවේ ඒ ප්‍රදේශය මුළුමනින් ම නාය ගියා. අදටත් ඒ ප්‍රදේශයේ මළසිරුරු ගොඩගැනීම පවා අවසන්වෙලා නැහැ. දැන් මේ ASP කම්පැනියේ අයිතිකාරයා ඉන්නේ ආණ්ඩුව එක්ක. ඔහුට එරෙහිව යම් පියවරක් ගන්න හෝ මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න තවම කිසිඳු පියවරක් අරගෙන නැහැ.

    වැටෙන වහලෙට මුක්කු ගැසීමේ ක්ෂණික පිළියම්

    අපි දන්නවා ගංවතුර නිසා ලංකාවේ බොහොමයක් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර කඩාවැටුණා. හැබැයි ඒ ව්‍යාපාරවලින් වන්දි ලැබෙන්නේ ලියාපදිංචි කරලා තියන ඒවට විතරයි. හැබැයි අපි දන්නවා ගමක කඩයක් කරගෙන ඉන්න මනුස්සයා තමන්ගේ වෙළඳ ආයතනය තවම ලියාපදිංචි කරලා නැතිවෙන්න පුළුවන්. ලංකාවේ ව්‍යාපාරවලින් 70%කට වඩා තියෙන්නේ එහෙම ලියාපදිංචි නොකරපුවා. හැබැයි ඒ ජනතවට වන්දි ලබාදීමට ආණ්ඩුව කිසිඳු ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. ගංවතුර සහ හානි වුණු පාසල් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියනවා. ඒ බොහොමයක් පාසල් ප්‍රදේශයේ ජනතාව මැදිහත්වෙලා තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලා තමයි දැනට ඉගැන්වීම් කටයුතු කරගෙන යන්නේ. තවමත් ඒ පාසල් යථා තත්ත්වයට ගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම ආණ්ඩුව පැත්තෙන් හරියට වෙන්නේ නෑ. ගංවතුරෙන් හානි වුණ පාරවල් පාලම් බෝක්කු පිළිසකර කිරීම් පවා වෙලා තියෙන්නේ වැටෙන වහලෙට මුක්කු ගහනවා වගේ ක්ෂණික පිළියම් විදිහට.

    ඒ නිසා අපි ජනතා වෘත්තික මධ්‍යස්ථානය විදිහට මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා වහාම මේ දුර්වලතා හඳුනාගෙන වහාම මීට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙන්න කියලා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න පවා ජනතා වෘත්තික මධ්‍යස්ථානය විදිහට අපි ඕනෑම මොහොතක සූදානම් කියන පණිවුඩයත් මේ වෙලාවෙ අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි.”

    උපුටා ගැනීම – වොයිස් ටියුබ්

  • දිට්වා ව්‍යසනයෙන් පසු සහනයක් ලබාගැනීම වෙනුවට ඉලක්ක කල් දමයි

    දිට්වා ව්‍යසනයෙන් පසු සහනයක් ලබාගැනීම වෙනුවට ඉලක්ක කල් දමයි

    දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්කවල සංශෝධනයක් සිදු වීමට නියමිතය.

    ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරි කාලයේ දී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වීමට නියමිතය.

    දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වයට හා ආර්ථික ඉලක්කවලට සිදුව ඇති වෙනස්කම් මෙයට හේතු වී ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන්වලදී හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ යම් රටක සාකච්ඡා පවත්වන අවස්ථාවේ පවතින ආර්ථික තත්ත්වයයි.

    දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ සිදුව ඇති වෙනස නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්ක ද වෙනස් විය යුතු අතර ඒ ගැන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි හමුවේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    මෙය බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත තත්ත්වයක් නිසා ඇතිවෙන අමතර වියදම් අවශ්‍යතා හේතුවෙන්, මේ වසරේ (2026) අයවැයේ ද වෙනස්කම් සිදුවේ.

    2025 දෙසැම්බර් 15 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට නියමිතව පැවතිය ද එය කල් ගියේය.

    සුළි කුණාටුව නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට එම අරමුදල තීරණය කර ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක හදිසි ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබිණි.

    දැන් අවශ්‍ය වන්නේ නැවත සාකච්ඡා කර මීට පෙර එකඟ වූ ණය ගිවිසුම් නැවත වෙනස් කර ගැනීමයි. ඒ හරහා අපට අහිමි වූ සහනය නැවත ලබාගැනීමට උත්සහ කිරීමයි. ණය ගෙවීමේ සමාලෝචනය කල් දැමීම සහ තවත් ණය පහසුකමක් හරහා අපේ ගැටළු උග්‍රවීම මිස විසඳීමක් සිදු නොවේ. ආණ්ඩුව මෙම ව්‍යසනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අමතරව ඉන්දියාවෙන් ද ණය මුදලක් ලබාගෙන තිබේ. අප ආර්ථික අර්බුදයත් සමඟ පැටලුනු උගුලෙන් ගොඩ ඒම වෙනුවට නැවත නැවතත් ණය උගුල්වල පැටලෙන බව ප,පමණක් පෙනෙන්නට තිබේ.

  • දිට්වා ගැන නිසි පරිදි දැනුම් දුන්නා – කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

    දිට්වා ගැන නිසි පරිදි දැනුම් දුන්නා – කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

    ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිට්වා සුළි කුණාටුවට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේදී නිසි සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOP) අනුගමනය කළ බවත්, එමඟින් ධීවර හා නාවික ප්‍රජාවන්ට පූර්වාරක්ෂාවන් ගැනීමට සහ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවත්ය.

    දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙවුණු දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය එම නිවේදනය නිකුත් කර තිබේ.

    අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ පැවැති ආපදා තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරැදි නොවන තොරතුරු විශාල ප්‍රමාණයක් සංසරණය වන අතර, එම අසත්‍ය තොරතුරු මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් කාලගුණික වෙනස්කම් සතියකට පෙර හඳුනා ගත හැකි වුවත් ඇතැම් අවස්ථා වඩාත් කෙටි පෙර හඳුනාගැනීම් සහිත වන බවයි.

    දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීම සම්බන්ධයෙන් මෙරට විද්‍යාඥයින් ප්‍රථමවරට හඳුනාගෙන ඇත්තේ නොවැම්බර් මස 23 වැනිදා බවත්, එම තොරතුරු යුහුසුළුව ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

    ඔවුන් අවධාරණය කරන්නේ ඉදිරි කාලයේදී පැවැතිය හැකි නව කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොවැම්බැර් 24 වැනිදා පවත්වා ඇති බවයි.

    එමෙන්ම නොවැම්බර් මස 25 වැනිදා දිවයින ආශ්‍රිත අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවට ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එදිනම සවස ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බවට රතු වර්ණයෙන් නිවේදනයක් ද නිකුත් කළ බවත් එම සංගමය පෙන්වා දෙයි.

    එම සංගමය පවසන්නේ අදාළ අනතුරු ඇඟවීම දිට්වා පද්ධතියේ මූලික අවස්ථාවේ නිකුත් කළ පළමු රතු අනතුරු ඇඟවීමේ නිවේදනය බවයි.

    ගැඹුරු පීඩන අවපතය, දිට්වා සුළිකුණාටුව දක්වා වර්ධනය වීමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය නොවැම්බර් 27 වැනිදා නිකුත් කර ඇති බවත් එදිනම නවතම තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අවධාරණය කර සිටියි.

    ඒ අනුව නොවැම්බර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් රතු නිවේදන 25ක් යාවත්කාලින කර ඇති බවට එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ”බීබීසී මාධ්‍ය මගින් 25 වැනිදා මිලිමීටර් 500ක වැස්සක් පුරෝකථන කළත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මිලිමීටර් 150ක වැසි තත්ත්වයක්” බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාවට ද ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පිළිතුරු ලබා දී ඇත.

    ඔවුන් පෙන්වා දෙන්නේ බීබීසී මාධ්‍ය මගින් දින කිහිපයකදී ලැබිය හැකි මුළු වර්ෂාපතනයේ එකතු කළ අගය මිලිමීටර් 500ක් පමණ විය හැකි බවට ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව දැනුම් දෙන්නේ දිනකදී ලැබෙන වර්ෂාපතනය බවයි.

    කෙසේ වෙතත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකිවල දින කිහිපයේ එකතු කළ වර්ෂාපතන අනාවැකිය මිලිමීටර් 600 – 800ක පමණ අගයක් පෙන්නුම්කරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

    එමෙන්ම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 13 හෝ ඊට ආසන්න දිනක දිට්වා සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවට පෙන්වා දෙන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසන්නේ, එය සම්පූර්ණ අසත්‍ය බවත් සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කල හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේවන තෙක් සොයා ගෙන නොමැති බවයි.

    එමෙන්ම පීඩන අවපාතය සම්බන්ධයෙන් නොවැම්බර් 24, 26 සහ 27 යන දිනවලදී දැනුවත් කිරීමේ හමු පැවැති බවත් එම අවස්ථාවන්වලට ආපදා කළමනාකරණ මධ්‍යථානය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජල කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිබල මණ්ඩලය, ධීවර දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එක්වූ බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

  • ‘දිට්වා’ නිසා සිදුවූ විනාශය ගැන නවතම වාර්තාව

    ‘දිට්වා’ නිසා සිදුවූ විනාශය ගැන නවතම වාර්තාව

    පැවතුනු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 5,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 86,882කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කර තිබේ.

    මේ වන විට දිස්ත්‍රික්ක 25ක පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771ක් පීඩාවට පත්ව ඇත.

    ගංවතුර, නායයෑම් සහ අනෙකුත් කාලගුණික සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 203 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, මරණ 639ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් තහවුරු කර තිබේ.

    මේ අතර, අවතැන් වූ පවුල් 27,145ක පුද්ගලයින් 86,040 දෙනෙකුට නවාතැන් සැපයීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන 878ක් පිහිටුවා ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවට පසුගියදා බලපෑ දිට්වා සුළි කුණාටුව, දශක ගණනාවකින් ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නම් කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) භූගෝලීය විශ්ලේෂණයකට අනුව, මෙම සුළි කුණාටුව හේතුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වන හෙක්ටයාර මිලියන 1.1කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවි ඇත.

    සුළි කුණාටුවෙන් ගංවතුරට හසු වූ මුළු ශ්‍රී ලාංකිකයන් ගණන මිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර ඉන්වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වේ.

    ගංවතුරට හසු වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2ක්, ළමුන් 522,000ක්, සහ වයස්ගත පුද්ගලයන් 263,000ක් ඇතුළත් බවයි එම වාර්තාවේ දැක්වේ.

    ගංවතුරට හසුවූ සමස්ත ජනතාවගෙන් 60%කට වැඩි පිරිසක් ජීවත් වූයේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුළයි.

    ගංවතුරට ලක් වූ ප්‍රදේශවල සිටි ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සුළි කුණාටුවට පෙර සිටම අස්ථාවර ආදායම් සහ අධික ණය වැනි බහුවිධ අවදානම්වලට මුහුණ දී සිටි බව ද එහි සඳහන් වේ.

    ගංවතුර ගොඩනැගිලි 720,000ක් පමණ ආසන්නයට ළඟා වූ අතර, එය රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකකි.

    කිලෝමීටර් 16,000කට වැඩි මාර්ග ප්‍රමාණයක් ගංවතුරට නිරාවරණය වී ඇත. වාර්තාව පවසන්නේ එය දිවයිනේ වෙරළ තීරය වටා දොළොස් වතාවකට වඩා ගමන් කිරීම තරම් ප්‍රමාණයක් බවයි.

    දුම්රිය මාර්ග කිලෝමීටර් 278කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 480ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබූ බව සඳහන් වේ.

    කඳුකර අභ්‍යන්තර ප්‍රදේශවල සුළි කුණාටුව හේතුවෙන් නාය යෑම් 1,200ක් පමණ ඇති වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසා ඇත.

    UNDP පවසන්නේ දිට්වා, වසර ගණනාවක ආර්ථික පීඩනයෙන් දැනටමත් දුර්වල වී ඇති කලාපවලට බලපෑ බවයි.

    ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින්, මෙම විශාල ස්වභාවික ව්‍යසනය යළි ගොඩනැංවීමේ වියදම් පියවා ගැනීමට තවත් ණය බරක් දැරීමට රටට නොහැකි බව UNDP නියෝජිත අසූසා කබෝටා අවධාරණය කර සිටියි.

  • අනුර ‘Newsweek’ සමඟ කළ සාකච්ඡාවේදී ‘ඩිට්වා’ සම්බන්ධ විවේචනවලට ප්‍රතිචාර දක්වයි

    අනුර ‘Newsweek’ සමඟ කළ සාකච්ඡාවේදී ‘ඩිට්වා’ සම්බන්ධ විවේචනවලට ප්‍රතිචාර දක්වයි

    ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන්හි අඩුපාඩු පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ , දිගුකාලීන දුර්වලතා ඩිට්වා සුළි කුණාටුව මගින් හෙළි කළ දුර්වලතා ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

    ‘නිව්ස්වීක්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණි.

    ජනාධිපතිවරයා පැවසුවේ විනාශය කොතරම් වැඩි වුවද රාජ්‍ය ප්‍රතිචාරය ක්ෂණික වූ බව යි.

    සුළි කුණාටුව සම්බන්ධ දේශීය පෙර සූදානම, ක්‍රමවත් ආකාරයෙන් ඉඩම් භාවිතා කිරීම සහ සහන සැපයීමේ වේගය පිළිබඳ දුර්වලතා හෙළි වී ඇති බව ඔහු ඔහු පිළිගෙන තිබේ.

    රටේ ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳ පුළුල් සමාලෝචනයක් රජය දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඒ අනුව වැඩිදියුණු කළ සම්පත් සහ තීරණ ගැනීමේ බලය සහිත ජාතික ආපදා කළමනාකරණ අධිකාරියක් නිර්මාණය කිරීම රජය අරමුණු කරගෙන සිටියි.

    “ශ්‍රී ලංකාවේ පූර්ව නිරීක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති – විශේෂයෙන් තත්‍ය කාලීන කාලගුණ දැනුම්දීම් සහ ප්‍රජා අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ – වැඩිදියුණු කළ යුතුය,” ඔහු පැවසීය.

    බලපෑමට ලක් වූ සෑම දිස්ත්‍රික්කයකම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම, ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සම්පූර්ණ හමුදා සහ පොලිසිය යෙදවීම සහ “වේගයෙන් ප්‍රතිචාර දැක්වූ” ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණය ඇතුළු ගත් ක්ෂණික පියවර කිහිපයක් මෙහිදී අනුර කුමාර දිසානායක ඉස්මතු කර තිබේ.

    ඉදිරිය දෙස බලන විට, ඔහු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ගෙනහැර දැක්වීය: පුරෝකථනය සඳහා වැඩිදියුණු කළ රේඩාර් ආවරණය, අධි අවදානම් කලාපවල ගලවා ගැනීමේ උපකරණ සහ අත්‍යවශ්‍ය සැපයුම් පූර්ව ස්ථානගත කිරීම සහ මධ්‍යම කඳුකරයේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ සිතියම්ගත කිරීම.

    හානියේ පරිමාණය – විශේෂයෙන් නායයෑම් වලින් – සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ඒවා නොවන බව ද ඔහු පිළිගෙන තිබේ. “දේශගුණික විපර්යාස සමඟ, මෙම පරිමාණයේ විනාශය කාලයාගේ ඇවෑමෙන් අපේක්ෂා කළ යුතුව තිබුණා. නමුත් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ඒ සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට සමත් වී නැහැ.”