Breaking News

වැඩකරන ජනතාව වහලුන් කරන නව කම්කරු පනතට වෘත්තීය සමිති විරෝධය

ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන නව කම්කරු නීති සංශෝධනයන් හරහා වැඩ කරන ජනතාව පූර්ණ වහල්භාවයට පත් කරන බව සඳහන් කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) විසින් අද (1) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය ආණ්ඩුව විසින් සකස් කරන ලද තනි කම්කරු නීති පනත වර්තමාන ආණ්ඩුව විසින් පත්කොට ඇති කමිටුවක් හරහා පරිශීලනයට ලක් කිරීමටත් නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පියවර ගෙන ඇති බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

මෙහිදී කිව යුතුව ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් සකස් කරන ලද කම්කරු නීති සංශෝධනය රටෙහි කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා වසර ගණනාවක් මුළුල්ලේම පැවැති ප්‍රධානතම නීති සහ පනත් දහතුනක්ම අවලංගු කොට තනි නීතිය නමින් වැඩපොළ මට්ටමේ සේවකයා සහ පාලකයා අතර හුවමාරු වන පත්වීමේ ලිපියට නීතිමය බලය ලබා දීමේ අරමුණින් සකස් කරන ලද්දකි.

හිටපු ආණ්ඩුව කරපු වැඩේමයි

එම සංශෝධනය සකස් කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ කම්කරු ඇමති වශයෙන් සිටි මනූෂ නානායක්කාර මහතා විසින් අනුගමනය කරන ලද පිළිවෙත හා කෙටුම්පතෙහි අන්තර්ගතය පෞද්ගලික අංශයේ අප සංගමය ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති සියල්ලක්ම පාහේ ප්‍රතික්ෂේප කරන ලදී. එයට විරුද්ධව කරන ලද උද්ඝෝෂණයන් වලට ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිති ද සහභාගී වූ අතර එවකට කම්කරු නායකයා බවට පෙනී සිටි දැනට ආණ්ඩුවේ ඇමතිවරයා වශයෙන් සිටින වසන්ත සමරසිංහ “සහෝදරයා” ද තදබල ලෙස විරෝධය පල කළහ. දැන් ඇමතිවරයා වශයෙන් ඔහු ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ ද සාමාජිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ මුළු මහත් කම්කරුවන් වහල් බවට පත් කෙරෙන කම්කරු නීති සංශෝධනය ඉල්ලා සිටින හාම්පුතුන්ගේ පැත්තටද නැත්නම් ඔවුන්ට ඡන්දය දුන් කම්කරුවන්ගේ පැත්තටද යන්න ගැන මෙවර පැහැදිලිවම දැනගන්නට ලැබෙනු ඇත.

සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනත බල රහිත කරයි

අනෙක් අතට පසුගිය ආණ්ඩුව මෙන්ම ආයෝජකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් පවතින ඕනෑම නීතියක් බල රහිත කිරීමට මෙම ආණ්ඩුව ද පසුබට නොවන බවට දැනටමත් ඔප්පු වී හමාරය. වරාය නගරයේ චීන ආයෝජකයන් දිරිගැන්වීමට හා ඔවුන්ට සහන ලබාදීමේ අරමුණින් බදු පනත් සියල්ලක්ම පාහේ අවලංගු කොට ඇති අතර මෙරටෙහි කම්කරුවන් හට රැකියා සුරක්ෂිතභාවය සඳහා තිබූ එකම නීතිය වන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත ද බල රහිත කොට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදන ද පළ කොට ඇත.

ආණ්ඩුව විසින් පත්කොට ඇති කමිටුවේ සිටින්නේ විද්වතුන් බවට කියා සිටින නමුදු ඓතිහාසිගත සටන් මඟින් ගෙන එන ලද මෙම අණ පනත් පිළිබඳව ඔවුන් හට තිබිය හැක්කේ අල්ප අත්දැකීම් බවට තේරුම් ගැනීමට අපහසු නැත.

ජාතික භෞතික හා මානව සම්පත් විකිණීම

රට ගොඩනැඟීමට නම් ඩොලර් අවශ්‍ය බව කියන මෙම ආණ්ඩුව රටෙහි භෞතික හා මානව සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමට ද ක්‍රියා කරනු ඇත. කම්කරුවන්ගේ හා පීඩිත ජනකොටස් වල බහුතර ඡන්දය ලබාගෙන ආණ්ඩු කරපු අය අවසානයේදී ඔවුන්ව අමු අමුවේ පාවා දුන් අවස්ථා ගණනාවක්ම අපගේ ඉතිහාසයේ සටහන් වී ඇත. වර්තමාන ආණ්ඩුව ද එම පිළිවෙතම අනුගමනය කරන බවට සැකයක් නැත.

වැඩ කරන ජනතාව නැගී සිටිය යුතුය

ලංකාවේ ඓතිහාසිගත සටන් මඟින් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි හා දැනටමත් ඒ අයුරින්ම පෙනී සිටින වෘත්තීය සමිතියක් වශයෙන් අප කියා සිටින්නේ ආණ්ඩුවේ මෙම ප්‍රයත්නය පරාජය කිරීම සඳහා වැඩ කරන ජනතාව තමන්ගේම ශක්තිය කෙරේ විශ්වාසය තබා ගනිමින් එක් වී හඬ නැගිය යුතු බවයි. පසුගිය ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද ආයෝජකයන් සහ හාම්පුතුන්ට හිතෛෂීව කටයුතු කරන දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන හේතුව නිසා හා එයට අමතරව ඒකාධිපති ජනාධිපති බල තල සහිත පාර්ලිමේන්තු බහුතර බලය ද තිබෙන නිසා වැඩ කරන ජනතාව හා සෙසු ජන කොටස් මර්දනය කිරීමට ද ඔවුන් පසුබට නොවන බවට සාධක බොහොමයක් ඇත.

සැබෑ කම්කරු නායක බාලා තම්පෝ මහතා සිහි කරමින් සටනට සැරසෙමු

සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහා ගෙන එන ලද අංක 45, 1971 සේවය අවසන් කිරීමේ පනත ගෙන ඒමට හා එය සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අන පනත් කිහිපයක්ම ගෙනෙන්නට පමණක් නොව කම්කරු සටන් නායකයෙකු වශයෙන් පෙනී සිටි සහ ඒ සඳහා කැප වී ක්‍රියා කළ සීඑම්යූවේ ප්‍රධාන ලේකම් හා ප්‍රවීණ කම්කරු නායක බාලා තම්පෝ මහතාගේ එකොළොස්වන අනුස්මරණය සැප්තැම්බර් මාසයේ පළවෙනිදාට යෙදී ඇති මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කම්කරු විරෝධී ප්‍රයත්නයන් සියල්ලක්ම පරාජය කිරීම සඳහා ඒකරාශී වී සටන් වැදීමට වැඩ කරන ජනතාව අදිටන් කරගත යුතු බවට ආයාචනා කර සිටිමු.

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)

leave a reply