Breaking News

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවාදය, සංවාසයක් නොවනු පිණිස!

රටක අධ්‍යාපනය සම්බන්ධ සිතීම හා ඒ පිළිබඳ අදහස් සංවාදයට ලක් කිරීම දේශපාලනයේ වගකීම් සහගත කාර්යයක්. අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය වශයෙන් කරුණු දක්වන්නෙත් මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සංවාදයක් කිරීම වැදගත් බවයි. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ සංවාදයට ගන්න ප්‍රශ්නවල ප්‍රවේශයක් හෝ ප්‍රමුඛතාවක් නැතිකම.

මේ රටේ ඉතිහාසයේ ඉඳලා ජනතාවට තමන්ගෙ ඉරණම තීරණය කරන්න, තමන් කැමති මොකක්ද කියලා තීරණය කරන්න නිදහසක් නෑ. තියෙන්නෙ අවුරුදු කීපයකට සැරයක් තමන් කාගෙන්ද පරිප්පුව කන්නෙ කාගෙන්ද මැරුම් කන්නෙ කියලා තීරණය කිරීමේ නිදහසක් විතරයි. අපේ දරුවන්ගෙ අධ්‍යාපනය දරුවන්ටත් අපටත් දරන්න බැරි තරම් පීඩාවක් බව කී කාලයක් හඬ නගලා කිව්වද? හිටපු පාලකයන් ඒක ඇහුවෙ නෑ. දැන් මේ අලුත් අයත් කරන්නෙ තමන් කැමති දෙයක් කරන්න මාධ්‍ය හමුවෙ කරන ‘ව්‍යාජ සංවාද’ ආවරණයක් කරගන්න එකද? කරනවා නම් කරන්න ඕන සාමාන්‍ය ජනතාවගේ සිට අධ්‍යාපන ඇමතිවරිය දක්වාත්, පාසල් ශිෂ්‍යයාගෙ සිට අධ්‍යාපනඥයන් දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොටස්කරුවන් සම්බන්ධ කෙරෙන අදහස් හුවමාරුවන පුළුල් සංවාදයක්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවිධ තැන්වල විරෝධයක් මතු වෙන්නෙ, ආණ්ඩුව මේ සම්බන්ධ කිසිදු දැනුවත් කිරීමක් නොකර හුදු ‘ප්‍රසන්ටේෂන්’ ඉදිරිපත් කරමින් කරන නෙයියාඩම නිසයි. ඒක විරෝධයට අධ්‍යාපන ඇමතිවරිය උත්තර දෙන්නෙ කඩාකප්පල් කරන්න එපා කියන ජේ ආර්ගෙ ප්‍රේමදාසගේ භාෂාවෙන්. මේ රටේ ඉන්නෙ කඩාකප්පල් කිරීම කියන්නෙ මොකක්ද විරෝධය කියන්නෙ මොකක්ද කියලා නොදන්න බබාලාද? මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන අයට අධයාපන ඇමතිවරිය කියනවා, ‘දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා!’ කියලා. අපි කියනවා, ‘ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් පාවිච්චි කරගන්න ඕන නිසා මේ රටේ දරුවන්ගෙ ජීවිත ඒක සෙල්ලම් කරන එක නවත්වන්න!’.

අධ්‍යාපනය ප්‍රශ්න ගොඩක් බව අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න හඳුනාගන්න, ඒවට විසඳුම් දෙන්න ප්‍රමුඛතාව දිය යුතුයි. එහෙත් ඉදිරිපත් කර ඇති ‘ප්‍රසන්ටේෂන්’ එකෙන් ඒ සම්බන්ධ කිසිදු අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වෙනවා. අධ්‍යාපනයේ සිස්ටම් එක වෙනස් කරන බවක් අධයාපන ඇමතිවරිය කියනවා. නමුත් ‘ප්‍රසන්ටේෂන්’ එකේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ විෂයමාලා වෙනස් කරමින් අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස්කම්වලට ලක් කරන්න. එතැනදි පාසල් දරුවන් 9 පන්තියෙන් පසුව වැඩකරන ලෝකයට ගෙන යාමේ අරමුණ ඇතිව කෙරෙන බවක් පැහැදිලියි. ඒ අනුව මේ ආණ්ඩුව කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන්නෙත් ‘පාසල් අධ්‍යාපනයේ අරමුණ වැඩ ලෝකයට ශ්‍රමිකයෙක් බිහි කිරීම’ කියන ස්ථාවරයෙන් පසුගිය ආණ්ඩු විසින් ප්‍රතිසංස්කරණ ගෙන ආ පාරෙමද කියන ප්‍රශ්නය මතු වෙනවා.

විෂයමාලා වෙනස්කම් වෙනුවට පාසල් අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ගැටලු විසඳන්න ප්‍රමුඛතාව දිය යුතුයි. එහිදී පාසල්වල මානව සම්පත් හා භෞතික සම්පත් ගැටලුව විසඳන්න යම් යම් පාර්ශ්වික අදහස් දැක්වීම් කෙරෙනවා. පන්ති කාමරවල ප්‍රශ්නය විසඳන්න සිසුන් සංඛ්‍යාව 30ක් කිරීම පමණක් කතා කිරීම පලක් නෑ. පාසල්වල ගොඩනැගිලි ප්‍රශ්නය දැනටමත් ප්‍රශ්න ගණනාවක්. ඒවා විසඳන්න ප්‍රතිපාදන වැඩි කරන්න ඕන. මානව සම්පත් වැඩිදියුණු කරන්න, ගුරුවරු, උපදේශකයන් හා අධ්‍යාපන පරිපාලන නිලධාරින් යම් ප්‍රශස්ත වෙනසකට ගෙන එන්නෙ නැතිව පාසල් අධ්‍යාපනය ප්‍රගතිය කරා ගෙන යන්න බෑ. ඒකට බිංදුවේ සිට පටන් ගන්න බෑ. දැනට තියෙන මානව හා භෞතික සම්පත්වලින් පටන් ගන්න වෙනවා. ඒත් වෙනස්කම් කරන්න දිශානතියක් තියෙන්න ඕන. එහෙම දිශානතියක් අයවැය තුළ පෙන්වන්න ඕන.

මූලික වශයෙන් මේ වෙනස්කම් සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රමුඛතා හෝ ඉලක්ක සටහන් විය යුතුයි. සංවාදයක් ආරම්භ කරන එක වැදගත් කියමින් කිසිදු පදනමක් නැති ‘ප්‍රසන්ටේෂන්’ එකක් දිහා බලාගෙන රටේ අධ්‍යාපනය ගැන කතා කරන්න පුළුවන්ද? අනික ඒකත් ඉදිරිපත් කරන්නෙ ඉංග්‍රිසි බසින්. මේ රටේ සිංහල සහ තම්ල් භාෂාවෙන් කතා කරන මිනිහට මේ සංවාදයට එන්න අයිතියක් නැද්ද? 2026 සිට විෂයමාලාවයි ඇගයුම් ක්‍රමයයි වෙනස් වෙන බව කියමින් මේ ආණ්ඩුව ගෙන එන්නෙත් අත්තනෝමතික ප්‍රතිසංස්කරණ යෝජනාවක්.

leave a reply