Breaking News

ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියට එරෙහිව තවත් චෝදනාවක්

වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගරගතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන මහේෂි සූරසිංහ විජේරත්නට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන කාලවකවානුවේදී ඇය ලබා දී ඇති නිර්දේශ සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇය අත්අඩංගුවට පත්වීමත් සමඟ නැවතත් කරළියට පැමිණීම හේතුවෙනි.

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු අදාළ සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියම කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා තිබේ.

අල්ලස් කොමිසම පවසන්නේ, චෝදනාවට ලක්ව ඇති වෛද්‍යවරියගේ පිටතින් මිල දී ගැනීම සඳහා නිර්දේශ කර ඇත්තේ, ස්නායු ශල්‍ය කර්ම සඳහා භාවිත කෙරෙන EVD සහ VP SHUNT යන වෛද්‍ය උපකරණ බවයි.

මෙම අයිතමය සඳහා 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණ වී ඇත අතර, එහි සාමාන්‍ය වර්තමාන වෙළඳපොළ මිල රු.46,500/- ක් පමණ වේ.

අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු. 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී ඇති බව අල්ලස් කොමිසම විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ වන විට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බව කොමිසම පෙන්වා දෙයි.

ශල්‍යකර්‌ම වලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් මිය ගොස් ද ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.

අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසන්නේ එලෙස ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව (රෝගීන්ට) රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.

leave a reply