Breaking News

ජනතාවට බර පැටවීම ගැන අනුරගේ ‘හතර බීරි කතාව’

ආණ්ඩුවේ ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් හතර බීරි ප්‍රකාශ කිරීම ප්‍රවනතාවයක් වී තිබේ. අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයද එවැනි එකකි.

අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයේ ඇතිකළ යුතු වෙනස්කම් ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා අමුතු ප්‍රකාශයක් සිදුකරනු දැකිය හැකිවිය.

එහිදී අනුර කුමාර ජනාධිපතිවරයා පවසන්නේ සමහර රාජ්‍ය ආයතනවල කොටසක් රජය යටතේ තබාගත යුතු නමුත් එම රාජ්‍ය ආයතනවල වැය බර ජනතාව මත පැටවීම සිදුනොකළ යුතු බවයි. එම නිසා නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව මිල ගැලපිය යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

”විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන ආර්ථිකයත්, ජනතාවගේ දෛනික ජනජීවිතය සමඟ ඉතා සමීපව ගැටගැසී තිබෙනවා. ඒ ආයතනවල යම් පාලනයක් රජය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. එම ආයතන පවත්වාගෙන යෑම වෙනුවෙන් මහජනතාව වැය බරක් නොදැරිය යුතුයි. එනිසා නිෂ්පාදන පිරිවැයට අනුරූප වන පරිදි මිල ගැළපිය යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පරිවැයට අනුව විදුලි ඒකකයක මිල තීරණය කළ යුතුයි. අප ඒ පදනම ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.”

ජනාධිපතිවරයා මේ කියන ආකාරයෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගැලපීම හරහා සිදුවන්නේ ද ජනතාවට බර පැටවීමයි. දැනට විදුලි බිලට අදාළව එය සිදුවෙමින් පවතියි. එක පැත්තකින් විදුලි බිල වැඩිවන්නේ නිෂ්පාදන පිරිවැයට වඩා වැඩියෙනි. එනම් විදුලි බල මණ්ඩලය ලාභ ලබමින් තිබියදීය.

එසේනම් ජනතාවට බර පැටවීම ගැන ජනාධිපතිවරයා පවසන්නේ පට්ටපල් බොරු කතාවකි. ආණ්ඩුව ඇත්තටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමේ ප්‍රකාශයකි. නමුත් ක්‍රියාත්මක තලයේදී එය එසේ නොවන බව පැහැදිලිය.

leave a reply