Tag: politics

  • නිල්වන් මුහුදු තීරයක පිපුණු ගල්මල් මඳහස : ප්‍රේමකීර්ති 

    නිල්වන් මුහුදු තීරයක පිපුණු ගල්මල් මඳහස : ප්‍රේමකීර්ති 

    හෙක්ටර් ඩයස් යළි ගායනා කළ ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතය ඇතුළත් වීඩියෝව යූටියුබ් නැරඹුම් මිලියන දහය හෙවත් කෝටිය පසුකළ බව දැක්කම එක පාරටම මතක් වුණේ ප්‍රේමකීර්ති ද අල්විස්. මේ ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති. මුල් ගීතයේ සංගීතය ස්ටැන්ලි පීරිස්. ගායනය ඩෙස්මන්ඩ් ද සිල්වා. ඒ එක්කම පහුගිය තුන් වෙනිදාට ප්‍රේමකීර්තිගෙ උපන් දිනය යෙදිල තිබුණ. තාමත් අපි අතර හිටිය නම් ගිය තුන් වෙනිදාට ඔහුට වයස අවුරුදු හැත්තෑ හතරක් සම්පූර්ණ වෙනව. ඒත් ඒක එහෙම වුණේ නෑ. ඒ වෙනුවට අපිට ලබන මාසෙ තිස් එක් වෙනිදාට ඔහුගෙ තිස් දෙවැනි ගුණඅනුස්මරණය සිහිපත් කරන්න සිද්ධ වෙනව. ජීවිතේ එහෙම තමයි. කොහොම වුණත් මේ හැම දෙයක්ම නිමිති කරගෙන අද ‘විත අස පත’ තීරුව ප්‍රේමකීර්ති ද අල්විස් වෙනුවෙන් ලියැවෙන්න තීරණය කළා.

    ප්‍රේමකීර්ති ‘නිල්වන් මුහුදු තීරේ’ ලියද්දි යූටියුබ්, සෝෂල් මීඩියා ගැන හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ. ඔහුගෙ මාධ්‍ය වුණේ ගුවන් විදුලිය සහ පසුකාලීනව රූපවාහිනිය. නමුත් තමන්ගෙ මරණයෙන් වසර සෑහෙන්න ගණනකට පස්සෙත් නූතනම ඩිජිටල් ෆ්ලැට්ෆෝම්ස් පවා කළඹවන වචන ලියල තියන්න මේ මනුස්සයට පුළුවන් වෙලා තියෙනව. අනිත් හැමදේම අයින් කරල ඒ කාරණාව විතරක් ගත්තත් ඒක පට්ට වැඩක් නෙවෙයිද? ප්‍රේමකීර්ති කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති අය පවා අද ඔහු ලියපු පද පේළි මුමුණනව. කියනව. ගායනා කරනව. භෞතිකව මිය ගියත් මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් කියන්න ඒකම මදිද? හැබෑම ආර්ට් තියෙන්නෙ අන්න ඒ වගේ තැන්වල.

    ඒ කාලෙ ගුවන් විදුලියෙ ඇත්තො ප්‍රේමකීර්ති හඳුන්වපු අන්වර්ථ නාමය පොඩි මාස්ටර්. තව ඉඳල තියෙනව ලොකු මාස්ටර් සහ මැද මාස්ටර්. ලොකු මාස්ටර් තිලක සුදර්මන් ද සිල්වා. මැද මාස්ටර් තමයි පහුගිය කාලෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසා සමාජ මාධ්‍යවල සෑහෙන්න කතා බහට ලක්වුණ අමරබන්දු රූපසිංහ. මේ මාස්ටර්ලා තුන් කට්ටුව ගැන බොහොම රසවත් කතන්දර තියෙනව. සමන් අතාවුදහෙට්ටි වගේ ප්‍රවීණ සන්නිවේදකයො අදටත් ඒ කතාන්දරවල සජීවී සාක්‍ෂිකාරයො. ප්‍රේමකීර්ති ගුවන් විදුලිය ඇතුළෙ වගේම පිටතත් බොහොම සැහැල්ලුවෙන්, හැබැයි හරිම අදීනව තමන්ගෙ රාජකාරිය කරපු පුද්ගලයෙක්. ගුවන් විදුලි මැදිරිවල පුටු පෙරලුණාට, ගොඩක් දෙනෙක් හුඟක් උත්සහ කළත් කවදාවත් ප්‍රේමකීර්තිව පෙරළන්න බැරි වුණේ අන්න ඒකයි.

    ඔහුගෙ ගීත රචනා ගැන ආයෙ අමුතුවෙන් ලියන්න හෝ කියන්න දෙයක් නෑ. වික්ටර් – ප්‍රේමකීර්ති කියල කියන්නෙ අපේ රටේ සංගීතය ඇතුළෙ පුරාවෘත්තයක් විදියට හඳුන්වන්න පුළුවන් සුසංයෝගයක්. ආදරය සහ මනුෂ්‍යත්වය පිරුණු, ලෝකය දිහා බොහොම නිවුණු බැල්මකින් බලන ස්වරයක් නිරන්තරයෙන් සහ නිරායාසයෙන් ඔහු ලියපු අකුරු අතරෙ කැටි ගැහිල තිබුණ. ඒක සර්වකාලීන ප්‍රේමයක්. අදටත් ඔහු නැතත් ඔහුගෙ ගීත විවිධ කටහඬවල් තුළින් පණ ගැහෙන්නෙ ඒකයි. ඒව අපිට ආශ්වාස – ප්‍රශ්වාස වෙන වචන. කොටින්ම තමන්ගෙ පුද්ගලික ජීවිතේ අතිශය දරුණු ප්‍රශ්න මැද වුණත් පොල්ලක්, පිහියක් හෝ තුවක්කුවක් අතට නොගෙන ඒ හැඟීම් ගීතයකින් මෝචනය කරන්න තරම් සංයමයක් සහ ඉවසිල්ලක් ප්‍රේමකීර්තිට තිබුණ. ඒ නිසා මහා ඛේදවාචක වෙනුවට විශිෂ්ට කලා කෘති ඔහු අතින් අනාගත ලෝකය උදෙසා තිළිණ කෙරුණා. පොඩි අඩියක් ගහන තැනක ඉඳන් රියැලිටි ෂෝ හරහා කෝටි ගාණක් වීව්ස් ලැබෙන වීඩියෝ දක්වා අපි අද බඩපිනුම් ගහන්නෙ අන්න ඒ ලෝකයෙ තමයි.

    මේ මොහොත කියල කියන්නෙ අපේ රටේ නිල්වන් මුහුදු තීරය කලු ගැහෙමින් යන වෙලාවක්. ගල්මල් පිපෙනවා වෙනුවට පරවෙනවා, යායවල් පිටින්. සාධාරණත්වය, යුක්තිය සහ සමානාත්මතාවය අගය කරන, ප්‍රාර්ථනා කරන මිනිස්සු සමාජය කියන නැව් තලේ තනිවෙලාද කියලත් හිතෙනව. ප්‍රේමකීර්ති හිටිය නම් මේ වගේ වෙලාවක මොනව හිතයිද, මොනව ලියයිද, මොනව කියයිද? දැන් ඒක ගැන කල්පනා කරල තේරුමක් නෑ. හැබැයි ඇත්තටම ප්‍රේමකීර්ති කියල කියන්නෙ නිල්වන් මුහුදු තීරයක පිපුණු ගල්මල් මඳහසක්. නළ දත සහිත මන්දහාසයෙන් උපේක්‍ෂාසහගතව සහ අපේක්‍ෂාසහගතව අපූරු විදියට ලෝකය දිහා බලපු මිනිහෙක්. නමුත් ඒ මඳහසට පිළිතුරක් විදියට පෙරළා ඔහුට ලැබුණෙ වෙඩි උණ්ඩ ප්‍රහාරයක්. අන්න ඒ නිසා කඩුවට, තුවක්කුවට වඩා පෑන බලවත් කියල කතාවට කිව්වට අනාගතය වෙනුවෙන් අපිට ඒ ඉතිහාසය ගැන ආයෙ ආයෙත් කල්පනා කරල බලන්න සිද්ධ වෙනව.

    ලංකා නිව්ස් වෙබ් අඩවියට ලියන ‘විත අස පත’ තීරුලිපි පෙළේ 25 වන ලිපිය

  • රාජ්‍යයක පුරවැසියකු වීමේ ගැටලුව :  Gajendran Mohan සහ  Chandran Vithusan

    රාජ්‍යයක පුරවැසියකු වීමේ ගැටලුව :  Gajendran Mohan සහ  Chandran Vithusan

    1990 දී ශ්‍රී ලංකාවේ යුද්ධයෙන්, තම ජිවිතය බේරාගැනීම වෙනුවෙන් , ඉන්දියාව වෙත පලාගිය පවුලකට දාව උපදින  ගජේන්ද්‍රන් මොහාන් හෙවත් කන්නා (වයස අවුරුදු 30), මේ මොහොතේ රාජ්‍යයක් අහිමි පුරවැසියකු වී ඇත (https://www.abc.net.au/radio/programs/pm/stateless-tamil-man-in-detention-cannot-be-deported/13374546?fbclid=IwAR1KsR_oPrqHM1HkD1-fZO6VBPdW2QdVtBtwAJjCUHji7_4fwPbXIFyRmvs). එසේම රජයක් හිමිව ශ්‍රී ලංකාවේ මඩකලපුවෙ දී  උපන් , චන්ද්‍රන් විතුෂන් ව (වයස අවුරුදු 22) , එහි ආණ්ඩුකරන යාන්ත්‍රනයේ අත්අඩංගුවේ දී ජිවත් වීමේ අයිතිය අහිමි කර ඇත . මෙම පුවත් දෙක සමඟ වන සාකච්චාව වෙනුවෙන් මෙම ලිපිය ලියමි.

    ගජේන්ද්‍රන් ගේ ආඛයනයට අනුව, ශ්‍රී ලංකාවෙ ඉපිද, එම භුමිය බලහත්කාරයෙන් අහිමිකිරීම සමඟ , ඉන්දියාව වෙත පිවිස, ජීවිතය සොයන ලද දෙමාපියන් ට දාව උපන් හෙතෙම 2013 දී , ඔස්ට්‍රේලියාව වෙත බෝට්ටුවකින් සංක්‍රමණය වී ඇත. මෙසේ සංක්‍රමණය වන ජිවිත, සාමාජ සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විශාල අභියෝගයන්ට මුහුණ දෙයි.  එය දැනුවත්වේ නම්, ඇයි එවැනි සංක්‍රමණ වෙත පියවර ගන්නේ යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුර නම්, රාජ්‍යයේ පුරවැසිභාවය ද අහිමි ව, සරණාගත කඳවුරු හි , රැදෙමින්, ජීවිතය පරදු තබන මෙම ජනයා වෙත , ජිවත් වීම සඳහා පවතින්නේ අවම වරණයන් වේ. එහිදී, දිනගනනාවක් , කුසගින්නේ රැදෙමින්, ඊළඟ නිමේෂයේ දී , මිය යා හැකිය බවට නිශ්චිත ව , මොවුන් , ඕස්ට්‍රේලියාව වෙතඅනවසරයෙන් හෝ සන්ක්‍රමය වන්නේ, කවදා හෝ මුලික අවශ්‍යතා හෝ ඉටුවන ජිවිතයක් ළඟාකරගැනීමේ අරමුණිනි . එය නීති විරෝධී වුවද, වෙනත් වරණයන් නොමැති තලයක, ඔවුන් කල යුත්තේ කුමක්ද ?

    එසේ සංක්‍රමනය වූ විටම, සියලුම සන්තාපයන් අවසන් නොවේ.  ගජේන්ද්‍රන් ගේ අඛ්යනයට අනුව , ඔහු ඔස්ට්‍රලියාවට සංක්‍රමය වූ පසු 2017 දී ඔහු ගේ සංක්‍රමණික ලියාපදිංචිය කල් ඉකුත්වන අතර එය යාවත් කාලින කිරීම ද එරට රජය ප්‍රතික්ෂේප කර තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස , සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම දනොමැති ව, ක්ෂයරෝගයේ වින්දිතයකු විය. එසේම , තහවුරුකළ හැකි ලේඛන නොමැති වීම හේතුවෙන්, ඔහුට, රැකියාවක නිරත වීමේ අයිතිය ද අහිමි වී තිබේ.

    මේ මොහොතේ දී, හෙතෙම, බටහිර ඔස්ට්‍ර්ලියාවේ Yongah Hill Immigration රඳවා තබාගැනීමේ මධ්යස්ථාය වෙත යොමුකර තිබේ. “පුංචි කවුළුවක් සහිත කාමරයක් තුලින් මා හට පිටස්තර ලෝකය දැකීම වෙනුවෙන් ගත කල හැක්කේ ඉතාම කෙටි වේලාවකි. මම බියෙන් පසු වෙමි. දුකෙන් වේලි සිටි. පසුගිය වසර හතරක කාලයක් තුල මා පුරවැසියකු නොවූ , භූමියක ජිවත් විය. එය ඉතාම කුරිරු, බව ගජේන්ද්‍රන් පවසා සිටින ලදී.

    ගජේන්ද්‍රන්  කවුද? රාජ්‍ය පුරවැසියෙකු විය යුතුද යන ගැටළු ව,  ප්‍රජාතන්ත්‍රවාදී ඕස්ට්‍රේලියාව තුල පොදු අවකාශයේ තවමත් විසදී නොමැත. එහිම දිගුවක් වන , එහෙත් පුරවැසියකු වුවද, අනන්‍යතාව , දේශපාලන භාවිතාව, නීතියේ ආධිපත්‍ය වෙනුවෙවට, පුද්ගල රුචිතාව මත ආණ්ඩුකරණය හේතුවෙන් , අනාරක්ෂිත වන ශ්‍රී ලංකාවේ දී පසුගිය දිනක , රහස් පොලිසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් අත්අඩංගුව ට ගෙන රඳවාගෙන සිටි, තරුණයකු වූ චන්ද්‍රන් විදුෂන් මරාදමා තිබුණි. Tamil Guardian පෙන්වාදෙන ආකාරයට , විදුෂන් ගේ නැගණිය පවසා තිබෙනේ, විදුෂන් අත්අඩංගුවට ගත් පසු ගසක් වෙත ගැටගසා, ඔහුට පහර දීමට එම පුද්ගයන් කටයුතු කර තිබුණි (https://www.tamilguardian.com/content/tamil-youth-was-tied-tree-and-attacked-being-beaten-death). කෙසේ නමුත් ,මේ පිලිබඳ මේ මොහොතේ පර්යේෂණයන් මෙහෙය වන අතර , රවිරාජ් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතවරයා , තමන් විසින්ම පහර දී, මෙම තරුණයා තම ජීවිතය අහිමිකරගත් බවට ප්‍රකාශ නොවේ යන අපේක්ෂාවෙන් සිටිය හැකිද ?

    මෙම සිදුවීම් දෙකම නිරීක්ෂණය කිරීමේන් පසු අවසාන වශයෙන් මට කිව හැකි කාරණය මෙසේය.  මුලිකවම, ගජේන්ද්‍රන් මෙන්ම විදුෂන් ද සුළුජාතික අනන්‍යතාව හේතුවෙන් , මනුෂයකු ලෙස ලද ජීවිතය පවතාගෙන යාමට පවතින අභියෝග හේතුවෙන් අර්බුධයන් ට ගොදුරුවන බවය.  1990 දී උපන්බිම හැරදමා , සරණාගතයන් ලෙස වෙනත් භුමින් වෙත සංක්‍රමානය වන ගජේන්ද්‍රන් ට ජිවත් වුවත්, මනුෂ්‍ය යකු ලෙස ජීවිතය පවත්වාගෙන යාම අහිමි වී තිබේ. එසේම තිස් අවුරුදු දිග්ගැසී යුද්ධයක් අවසානයේ දී අදටත්, විදුෂන් ට, නිරවද්‍ය තොරතුරු , විනිවිදභාවයක් නොමැතිව ලබාගැනීමට නොහැකිව, ජිවත් වීමේ අයිතිය අහිමි වී තිබේ. ලිබරල්වාදී ලෝකයම පිළිගනු ලැබූ ස්ත්‍රී/ පුරුෂ මනුෂයන් ලෙස ඉපදීම මත පමණක් ම හිමි වන ජිවත් වීමේ අයිතිය , එම ලෝකයේම පුරවැසි නිතිය විසින් අභියෝගයට ලක් කරතිබේ,

    අරුණි සමරකෝන්
  • අත්හැරීම

    අත්හැරීම

    අපි ටිකක් කතා කරමු ද?

    මොනවා ද? මොනවා ගැන ද? අනිත් එක මොකට ද?

    ඇයි එහෙම කියන්නෙ, අපිට කතා කරන්න දෙයක් නැද්ද?

    නැහැ. කතාව ඉවරයි.

    ඒ කියන්නෙ අපේ ප්‍රේම කතා ව ද?

    ඔව්.

    කතාව අපේ නම්, ඉවර කිරීමේ තීරණය විතරක් ඔයාට ගන්න පුළුවන් ද?

    ඔව්. ඇයි බැරි, තීරණ ගන්න මම කවදාවත් පසුබට වුණේ නැහැ.

    ඉතිං, ඒ තීරණ හරි ද?

    සමහර ඒවා වැරැදියි. කසාදයට තමුසෙ වගේ බූරුවෙක් තෝරගත්ත එක තමයි මම ගත්ත වැරැදි ම තීරණය.

    දැනුත් ගන්න හදන්නෙ ඒ වගේ තීරයක්

    තමුසෙ අත් හරින එක ද?

    ඔව්.

    ඔව්ව ගිහින් කියනවා මෝඩ බමුණන්ට, එක එකාගෙ කුණු හොය හොයා යන මෝඩ ගෑනුන්ට, දෑතේ මහන්සියෙන් හරි හම්බ කරගන්න පුඵවන් නම් කොයි ගෑනිටත් ස්වාධීන වෙන්න පුළුවන් ඕයි. තමුසෙලා වගේ පිරිමි ළග වැද වැටෙන්න ඕන නෑ.

    හැමදාම වගේ පැතුමිගේ පූස් සුරතලා එයාගෙ ස්වාමි දූගෙ උණුසුමට තුරුල් වී නිදයි. එහෙත් වරින්වර නැගෙන පැතුමිගේ සුසුම් හඩ සමග අවධි වී ඇය දෙස බලයි.

    දැන් හුගාක් කාලෙක ඉදන් මම කියන දෙයක් අහගෙන ඉන්නෙත් මා එක්ක කතා කරන්නෙත් මට කතා කරන්න හිටියෙත් ඔයා විතරයි සුදු මැණික, ඉතිං මට ජීවිතයේ ඉතිරි කාලයත් ඔයා ම විතරක් එක්ක ඉන්න පුළුවන් නේද? අපි දෙන්නාගේ චූටි ගෙදර අපි දෙන්නට හිතුණු දෙයක් උයාගෙන කාල ඉන්න පුළුවන් නේද? රටේ ඉන්න මිනිස්සු පොහොසත් කරන්න අපට ඕන නැහැනෙ. එයා පොහොසත් වෙනකොට මම දුප්පත් වෙනවනෙ. පැතුමි පූස් සුරතලාට කියයි. ඌත් සියල්ල අහගෙන ඉදියි.

    පැතුමිට කතා කරන්න හුගාක් දේවල් තියෙනවා. මේ විදිහට පැතුමි ගොඩාක් කාලයක ඉදන් කල්පනා කරනවා. කොහොම වුණත් අදින් වසර 15කට පෙර ඇදුම් සූට්කේසය බස් එකේ දාගෙන කොළඹ ඇවිත් මරදානෙ බෝඩින් කාමරේ නතර වුණු තැණින් නැවතත් පැතුමිට ජීවිතය පටන් ගන්න සිදු වෙලා.

    වෙලාවකට ඒක මහා දුක හිතෙන ඉරණම් කතාවක් වගේ,

    මීට වසර හතරකට පෙර පැතුමි තමන්ගේ ජීවිතය පිළිබද කල්පනා කළ ආකාරයට වඩා  අද තම ජීවිතය පිළිබද හිතන විදිහ සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. එදා හිතුවෙ වැඩ ඇරිල ගෙදර ආවහම ඔපිස් එකේදි සිදු වූ දේවල් කියන්න, ගමනක් බිමනක් යන එන වෙලාවට ආරක්ෂාවට, ජීවිතයට රක්ෂණාවරණයක් වගේ සැමියෙකුත් ළග හිටියා නම් හොදයි කියලයි. පැතුමිට හමු වූ බොහෝ පිරිමින් අතර මහී සිය සිතුවිලි හා බද්ධ තමන්ගේ කන්දොස් කිරියාව ඉවසන කොනෙක් කියලයි පැතුමිට හිතුනෙ. තාත්තෙක්ගෙන් වගේ රැකවරණය සොයන අතර ම පැතුමි හෙව්වෙ යාලුවෙක් වගේ සැමියෙක්. මගුල් ගෙවල් ගන්න ලක්ෂ ගණනින් වියදම් කරන්න මුදල් නැති නිසා දෙදෙනාගේ කැමැත්ත මත අලුත් බෝඩිං කාමරයකට පැමිණිමෙන් පැතුමි යුග දිවිය ආරම්භ කළා. සැමියාට දෙවියාට වගේ ගෞරව සමාචාර දැක්විය යුතු බව පැතුමි නොදැන සිටියා නොවේ. එහෙත් ඔවුනොවුන් අතර තිබූ අඩු වයස් පරතරය නිසාදෝ පැතුමි සෑම විට ම සැමියා සමග ගනුදෙනු කළේ ලෙන්ගතු මිතුරෙක් හා ගනුදෙනු කරන විලාසයෙනි. එම ස්වභාවය උචිත නැතැයි ඇයට බොහෝ වර හැගී ගියේය. ඒ ඇය නිවෙසට එක් චරිතයකුත් ඉන් පිටත දී තවත් චරිතයකුත් රගපෑමේ අභ්‍යාසයේ නොසිටන නිසාවෙන් පිරිස ඉදිරියේ දෙදෙනා අතර හුවමාරු වන ඇතැම් වදන් දෙස සමහර වැඩිහිටියන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා අවස්ථා ද වන නිසා ය. එවන් අත්දැකීම් ලබන අවස්ථාවන් හි දී මම ආයෙත් ඒ වගේ හැසිරෙන්නෙ නැහැ. මම මහී ට සුවච කීකරු බිරියක් විය යුතුයි. ඔහු මගේ විහිලුවලට සම්බන්ධ කර නොගත යුතු යැයි සිතන පැතුමි ඉතා ආයාසයෙන් සිය කෝලම් යටපත් කරගෙන මහී ට සැමියා ය යන උත්තරීතර පදවිය දීමට සූදානම් වෙයි. අඩු කතාබහ වැඩි ගරු සරුව සහ ආවතේව කටයුතු සදහා ඇය වෙනස් වීමට අදිටන් කර ගනී. එහෙත් මහී ට අවශ්‍ය වන්නේ සිය යෙහෙළියයි. වැඩ ඇරිල ගෙදර එන වෙලාවට කොහෙහරි මුල්ලක හැංගිලා ඉදන් තමන්ගෙ ඇගට කඩා පයින පැතුමි ව හයියෙන් අල්ලාගෙන තම අණසකට නතු කර ගන්න තේ එක අතට දීල ඔඩොක්කුවේ ඉදගන්න සුරතලී සමග සුරතල් වෙන්න ඔහුත් කැමැති ය. ඒ නිසා ම සුවච කීකරු භාර්යාවක වීමට අදිටන් කර ගනිමින් පැතුමි තබන සෑම පියවරක් ම දිය පිට ඇදි රේඛාවක් මෙන් මැකී යයි. ඒ කෙසේ වෙතත් දැන් ඔහු ද සිය ජීවිත කතා පොතෙන් මකා දමන්නට පැතුමිට සිදු ව ඇත.

    ‘‘පලිගැනීමක් නැත. හැර නොයන් යැයි කරන හඩා වැලපීම් ද නැත. මගෙන් නොලැබුණු කුමක් හෝ ඇයගෙන් ලැබෙයි. මගෙන් අතපසු වූ කුමක් හෝ දෙයක් හෝ බොහොමයක් දේවල් ඇය සම්පූර්ණ කර ඇත. මා මාගේ සතුට සොයා ඔබේ තුරුලට ආ සේම ඔබ ඔබේ සතුට සොයාගෙන යන්න. ඒ සතුට යි මේ සතුටයි සතුටු තොටුපොළවල් දෙකක උරුමය විදීමට මට ඔබට අවස්ථාව දිය නොහැකිය. මා අත්හැරීමත් අහිමිවීමත් හදුනමි. ඒනිසා ස්වභාදහමේ පාඩමට යටත් වීමට නොහැකිව මා හඩා නොවැළපෙමි.’’

    පැතුමි කොහේදෝ තැනක ලියා තැබුවා ය.

    රාත්‍රී 8 -9 දක්වා නිවෙසට පැමිණීම ප්‍රමාද කළ මහී තව ටික දිනකින් රාත්‍රී 10 – 11 දක්වා එම ගමන ප්‍රමාද කළේය. කාලයත් සමග පැයෙන් පැය නිවෙසට පැමිණීම ප්‍රමාද කරන විට. ඔහුට බෙදූ බත් පත පිළුණු විය. ඒ සේම පැමිණීම තව තවත් ප්‍රමාද වී පසු දින දක්වා දීර්ඝ විය. දුරකතනයට අලුත් රහස්‍ය අංකයක් ලැබුණි. ගැලරියට තවෙකක් ලැබුණි. හදිස්සි අවශ්‍යතාවයකට හෝ එය භාවිතයට පැතුමිට නොලැබිණි. එහෙත් ඇය මෝඩියක නොවූවා ය. නිදි නැති රාත්‍රීන් පුරා හුවමාරු වූ කෙටි පණිඩිය රෑ නින්දට පැතූ සුබ පැතුම්. උදාවන දවසට යැවූ සහ ලැබූ සුබ පැතුම් සියල්ල දකිමින් විටෙක නිහඩව ද තවත් විටෙක උණුසුම් වචනයකින් දෙකකින් දමා ගැසීම් කරමින් ද ඇය සිටියා ය. අත්හැරීමේ සහ අහිමිවීමේ ස්වභාදහම් පාඩම පැතුමි හොදින් අධ්‍යයනය කර තිබුණත් සිය සැමියා බෙදා හදා ගැනීමේ පාඩම ඇය කිසිදිනෙක අධ්‍යයනය නොකළා ය. එවැන්නක් අධ්‍යයනයට හෝ ඇය අකමැති ය. එහෙත් දානයට කැමැති ය. අවසානයේ දානය උතුම් ය යන බුදු වදනට අනුව ඇයගේ දාන වස්තුව ඔහු බවට පත්කර ගත්තා ය. අත්හැරීමේ අගය වටිනාකම දැන සිටි වටහාගෙන සිටි පැතුමි අතහැරිය යුතු දේ අතහැර ජීවිතය යළි ආරම්භ කළා ය.

     

     

  • එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න

    එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න

    මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු ලබන සමීක්ෂණයට තම අත්දැකීම් ලබා දෙන ලෙස එන්නත ලබා ගත් අයගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීම

    කොවිඩ්-19 වසංගත රෝගය සහ ඉන් ආරක්ෂා වීම, දැනට ලෝකයේ වඩාත්ම අවධානයට ලක් වී ඇති කාරණාවයි. ඒ යටතේ ප්‍රතිශක්තිකරණ එන්නතට ලැබී ඇති අවධානය ඉතා ඉහලය. නමුත් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ ව ලොවට ඇත්තේ අඩු දැනුමකි. එහෙත් එන්නත් නිපදවූ රටවල ජනතාවට එන්නත් ලබා දීමෙන් පසුව එම ජනතාව තුල ඇතිවූ අතුරු ආබාධ පිළිබද සීමිත හෝ තොරතුරු ඇතත් ඒවා ඒ ලෙසටම ශ්‍රී ලාංකීය ජනතාවට ආදේශ කළ නො හැක. මන්ද ලෝකයේ විවිධ රටවලට අදාළව එන්නත්වල අතුරු ආබාධ වල ස්වරූපය හා බලපෑම රටින් රටට වෙනස් විය හැකි බැවිනි. බොහෝ රටවල් ක්ෂණික ක්‍රියාමාර්ග ලෙස ඒ පිළිබඳව පර්යේෂණ කර එම දැනුම තම රටවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උපරිම අයුරින් ඉහළ නැංවීම සඳහා යොදාගනිමින් පවතී.

    අප රට තුලද මෙය කාලින අවශ්‍යතාවයකි. මේ නිසා දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් විද්වතුන් කණ්ඩායමක් විසින් කරනු ලබන මෙම සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් හෙළිවන නවතම කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ බෙදා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු.

    අප ආයතනය මෙරට දේශීය පර්යේෂණ සංස්කෘතියේ දියුණුව උදෙසා ක්‍රියා කරනු ලබන දේශීය සහ අන්තර් ජාතික පර්යේෂණ ජාලයකින් සන්නද්ධ ආයතනයකි. අපගේ www.ird.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධව උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට එම තොරතුරු ලබා ගත හැක.

    මෙම වැදගත් පර්යේෂණය සඳහා මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් (ඇස්ට්‍රාසේනිකා, ස්යිනොෆාම් හෝ ස්පුට්නික් V එන්නත් වලින් කුමන හෝ එන්නතක්) ලබා ගත් පුද්ගලයන්ගේ අත්දැකීම් කෙටි ප්‍රශ්නාවලියක් මගින් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා අතර මේ සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැක. මෙම සමීක්ෂණයේ වැදගත්කම හා කාලීන අවශ්‍යතාවය හදුනා ගත් එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ සහයෝගය අවශ්‍ය ව ඇත.

    තොරතුරු ලබා දීම සඳහා පහත සම්බන්ධි කරන මාධ්‍ය භාවිතා කරන්න

    අන්තර්ජාල සබැඳිය

    English – https://forms.gle/4DGZMbtJWyzX9iNS7

    Sinhala – https://forms.gle/tyW1c5R7XruFFaPd7

    හෝ ප්‍රශ්නාවලිය වට්ස් ඇප් ඔස්සේ හෝ විද්‍යුත්තැපෑල මගින් ගෙන්වා ගැනීමට පහත තොරතුරු භාවිත කරන්න.

    දුරකථන අංකය : 076 050 34 34 (ලසිත් දිසානායක)

    විද්‍යුත් තැපෑල: [email protected]

     

    මහාචාර්ය අතුල සුමතිපාල

    අධ්‍යක්ෂක, පර්යේෂණ හා සංවර්ධන ආයතනය

    කමිටු සාමාජික, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

    මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය, කීල් විශ්වවිද්‍යාලය, එංගලන්තය

    ගෞරවනීය උපදේශක මනෝචිකිත්සක, මිඩ්ලන්ඩ්ස් හවුල්කාරිත්වය එන්එච්එස් පදනම් භාරය.

    ගෝලීය මානසික සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය, කිංග්ස් විද්‍යාලය, එංගලන්තය

    සභාපති, ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර

    මනෝ චිකිත්සාව හා ජෛව වෛද්‍ය පර්යේෂණ පිළිබඳ මහාචාර්ය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

     

  • කැමූ ගේ මහමාරිය තුළින් ව්‍යසනය කියවීම – පුබුදු ජයගොඩ

    කැමූ ගේ මහමාරිය තුළින් ව්‍යසනය කියවීම – පුබුදු ජයගොඩ

    කැමු ගේ මහමාරිය කෘතිය මගින් කියවෙන්නේ යුරෝපය ව්‍යසනයක් තුළ ගත කළ කාල වකවානුවකි. එහි යටින් දිවෙන්නේ ෆැසිස්ට්වාදයේ කතාවයි. මේ වන විට ශ්‍රී ලංකාව ද ගෝලීය ව්‍යසනයට මුහුණ පා තිබේ. ව්‍යසනය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ කුලකයන් ගේ හැසිරීම මේ තුළ විග්‍රහ කෙරේ. මෙවර කටහඬ වැඩසටහන සඳහා දහස් දක්වන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා යි.

  • රාජපක්ෂලා දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා – මනුෂ නානායක්කාර

    රාජපක්ෂලා දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා – මනුෂ නානායක්කාර

    රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසිය .

    පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින් අලුත් සමාගමක් ආරම්භ කර තිබෙන බවද කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මන්ත‍්‍රීවරයා පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා

    ආණ්ඩුව බලයට එන විට අලුත් රටක්, විනයගරුක රටක් හදන්න එනවා කියලයි කිව්වා . අලුත් වැඩ පිළිවෙලක් අරගෙන එනවා කිව්වා. රට ආරක්ෂා කරන්න, රට රැක ගන්නවා කියලා කිව්වා .

    අරයා ඉඩම් විකිණුවා, මෙයා ඉඩම් විකිිණුවා කියලා තමයි බලයට පැමිණියේ. හැබැයි දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ.

    පසුගිය ඉතිහාසයේ කිසිම රජයක් සින්නක්කරයට විකුණලා නෑ. බදු දීලා තියෙනවා. රාජපක්ෂවරු විතරයි සින්නක්කරයට වෙනත් රටවල් වලට ඉඩම් විකිණුවා .

    රාජපක්ෂවරු ශ‍්‍රැංග‍්‍රිල්ලා ඉඩමේ ඉදලා ඒ අවට තිබුණ සියලුම ඉඩම් සින්නක්කරයට විකුණලා දැම්මා. මේ ආණ්ඩුව බලයට ආවෙත් අපි කිසිම ඉඩමක් විකුණන්නේ නෑ, විකුණපු ඉඩම් අපි ආපහු අරගන්නවා කියලයි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ?

    බිමට ආදරය කරනවාය කියන, බිම ඉඹින දේපල වෙලෙන්දෝ කොළඹ තිබෙන සියලුම ආර්ථික මර්මස්ථාන ටික වෙන්දේසි කිරීමට සෙලන්දිවා කියලා සමාගමක් හදලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ඉඩම් විකිණීමේ වැඩපිළිවෙල හදලා තියෙනවා.

    රට ආරක්ෂා කරනවා, රටේ තියෙන සම්පත් ටික රැකගන්නවා කියලා ඇවිත් මේ රටේ තියෙන සම්පත් ටික විකුණලා තමන්ගේ මඩිය තරකරගැනීමේ ව්‍යාපාරයක යෙදිලා ඉන්නවා.

    දැන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තමයි විකුණාදැමීම සිදුකරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉඩම් සංවර්ධනය කරනවා නම් ශ‍්‍රී ලංකා රජයටම ආයෝජනය කරලා ඒවා සංවර්ධනය කරන්න පුලුවන්නේ.

    දැන් නාගරික සංවර්ධන අධිකාරිය මැදට දාලා වෙනත් අයට ඉඩම් විකිණීමට තමයි මේ උත්සාහ ගන්නේ. වෙනත් විදියකට කියනවා නම් චීන නගරයේ, චීන කොලනියේ, වරාය නගරය නම් චීන කොටසේ අනු ශාඛාවන් ලෙස මේවා චීනයටම දෙන්න තමයි සූදානම් වෙන්නේ.

    චීන වරාය නගරය, කොළඹ නගරය දක්වා ව්‍යාප්ත කිරීමේ සැලසුම තමයි ක‍්‍රියාත්මක වෙන්නේ.

    පෝර්ට් සිටි පනත සම්මත කරගන්නවා එක්ක තමයි සෙලන්දිවා සමාගම එළියට එන්නේ. මේ සේරම එකකට එකක් සම්බන්ධ කාරණා. මේ සියල්ල චීනයට මේ රට ලියලා දීමේ තවත් කොටසක් විදියට තමයි අපි දකින්නේ.

  • යුරෝ 2.50  කින් විවෘත කළ අධිවේගී පිවිසුම

    යුරෝ 2.50  කින් විවෘත කළ අධිවේගී පිවිසුම

    මේ ඡායාරූපය අරන් තියෙන්නේ ඉතාලියේ  අධිවේගී මාර්ගයක ට ඇතුල්වී පිටවීම සඳහා පිවිසුමක් නිර්මාණය කර, ඊයේ දිනයේ දී එය විවෘත කරන අවස්ථාවක්. මේ පිවිසුම හදන්න  වැය වී තිබෙන මුදල යුරෝ  230 000 . ආසන්න මුදලකි.  මේ පිවිසුම  හදන්න මාස විසි තුනක කාලයක් ගත වෙලා තියෙනවා .

    මෙය සැලකිය යුතු මුදලක් වැය කරමින් කරපු නිර්මාණයක්, ේශපාලන වශයෙන් ප්‍රාදේශීය සභාවේ බලය පවතින කණ්ඩායමට තමන්ට වාසියක් අත්පත් කර ගැනීම සඳහා මෙය මොන නම් පාවිච්චි කරන්න තිබුණා  අපේ රටේ දේශපාලකයන් කල්පනා කරන ආකාරයට හිතුවනම් . ඉදිකිරීම් මුල්ගල් තැබීමේ සිට  යමක් ගොඩනඟා එය විවෘත කිරීම දක්වා  ම ඉදිකිරීමෙන් ලංකාවේ දේශපාලකයන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට විවිධ අවස්ථාවලදී ජනතාවගේ මුදල් නාස්ති කරමින් තමන්ගේ නම බෝඩ් ලෑලි වල ගසා ගනිමින් විශාල මුදල් අවභාවිතයක් කරනු ලබනවා.

    ඉදිකිරීම නිමකර විවෘත කිරීම  සඳහා මෙතැනදී වැයවන්නේ පිත්ත පටියට වැය වූ මුදල පමණයි. මෙහිදී අමාත්‍යවරුන් පිළිබඳ කිසිම සදහනක් නැහැ .  මුදල් වෙන් කළ අමාත්‍යංශය පිළිබඳව සඳහනක් නැහැ.  විශාල ජන ඒකරාශී කිරීම් කරමින් දේශපාල වාසි ලබා ගැනීම් සිදු වී නොමැත.මේ  මොහොතේ ප්‍රාදේශීය සභාවේ බලය හොබවන කණ්ඩායමේ  කීපදෙනෙක් ඉංජිනේරුවන් සහ  නගර සභාව නියෝජනය කරන නියෝජිතයන් කිහිප දෙනෙක් පමණයි මෙහි පෙනී සිටින්නේ.  මේ අය අතුරින් දෙදෙනෙක් තමයි පීත්ත පටිය  අල්ලන් ඉන්නේ  නගරාධිපතිවරයා  එය කපා පාර විවෘත කරනවා එකම ෆොටෝ එකයි තියෙන්නෙත්.

     අපේ මාර්තු භූමිය ආරක්ෂා කරන පීතෘ රැකවරණය තිබෙන්නේ මහමුහුදේන්.  එහෙත් අද අපි මේ කතා කරන, මේක ලියන මොහොත වන විට ඒ ආරක්ෂක වැට  පටු දේශපාලන අරමුණු වෙනුවෙන්  කළ තවත් විනාශයක් හේතුවෙන් දූෂණය වෙමින් පවතිනවා.  මේ අති දැවැන්ත විනාශයන් හමුවේ  පැනනගින විශාල ම පැනය තමයි  ජනතාව කෙසේද මේ තරම්ම ඉවසිලිවන්ත ව සිටින්නේ කියන එක.

  • මුහුදු තීරය විනාශ කළා මදිවට තවත් තකතීරු තීරණයක් ජනාධිපතිවරයාගෙන්

    මුහුදු තීරය විනාශ කළා මදිවට තවත් තකතීරු තීරණයක් ජනාධිපතිවරයාගෙන්

    පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන යාමට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර අද රාත්‍රියේ නෞකාව ගෙන යාමට සූදානමක් පවතී. මෙය අතිශය විනාශකාරී තීරණයක් වන්නේ මේ නිසා සිදුවූ හානියට වන්දියක් ගැනීමේ අවම අවස්ථාව පවා අහිමි වන නිසාය. නෞකාවේ රසායන ද්‍රව්‍ය කාන්දුවීමෙන් සහ ගින්නෙන් සිදුව ඇති හානිය මුදලින් ගණනය කළ නොහැකිය. නමුත් අවම වශයෙන් පාරිසරික හානියේ කොටසක් හෝ පුනරුත්ථාපනය සඳහාත් දකුණු හා බස්නාහිර ධීවර කර්මාන්තයෙන් යැපෙන සියල්ලන්ට වසරකවත් කාලයකට ජීවත් වීමට වන්දි ලබාදීම සඳහාත් අදාල නැව් සමාගමෙන් වන්දියක් ගත යුතුය. මෙම තීරණය නිසා ඒ අවස්ථාව අහිමි වේ.

    මෙම සමස්ත ක්‍රියාවලියේදී සිදුව ඇති ප්‍රශ්නකාරී දේවල් ගණනාවක් තිබේ
    * එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රසායන ද්‍රව්‍ය කාන්දුවකින් හා ගිනි ගැනීමේ අවදානමකින් තිබියදී එය ලංකාවට ඇතුළු කිරීමට අවසර දුන්නේ ඇයි? ඒ සඳහා තීරණය ගත්තේ කවුද? (මේ සම්බන්ධයෙන් අදාල නෞකාව කොළඹ වරායට දැනුම් නොදුන් බව පැවසීම නිවැරදි නැත. දත්ත හා තොරතුරු වරායන් අතර හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුතියකට අනුව ඉන්දියාවේ වරාය එම දැනුම්දිම සිදුකර ඇත.)

    * මෙවැනි රසායන ද්‍රව්‍ය කාන්දුවක් හෝ ගින්නක් වැළැක්වීමට ලංකාව පමණක් නොව ඉන්දියාව සතුවවත් තාක්ෂණය නොමැති තත්වයක් තුළ අදාල නැව ගෙන්වා ගත්තේ ඇයි? නැව ජාත්‍යන්තර මුහුදේ රඳවා ජාත්‍යන්තර විශේෂඥයන් කැඳවීමට පියවර නොගත්තේ ඇයි? නෞකාව ලංකාවට ඇතුළු වූ පසුවවත් විශේෂඥයන් සහ තාක්ෂණ උපකරණ සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා නොසිටියේ ඇයි?

    * ජාත්‍යන්තර සම්මුතිවලට අනුව හා ලංකාවේ නීතියට අනුව නෞකාව හා කපිතාන් වරයා ඇතුළු ප්‍රධාන කාර්‍ය මණ්ඩලය අත්අඩංගුවට ගත හැකිය. එය නොකළේ ඇයි? එසේ නොකර නෞකාවට ලංකාවේ මුහුදු සීමාවෙන් පිට වීමට ඉඩ දීමෙන් වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව පවා අහිමි වේ. කලින් නිව් ඩයමන්ඩ් නැවෙන්ද ප්‍රමාණවත් වන්දියක් ලබා ගත නොහැකි විය.

    * නෞකාව ඉවතට ඇදගෙන යන්නේනම් ඊට පෙර එහි ඇති ඉන්ධන වෙනත් නෞකාවක් භාවිතා කර හිස් කළ යුතුය. තවත් රසායනික බහාලුම් ඉතිරිව ඇත්නම් ඒවාද ඉවත් කළ යුතුය. එසේ නොමැතිව මෙලෙස අඩක් හානිවූ නෞකාව ඇදගෙන යාමේදී ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් තවත් ව්‍යසනයක් සිදුවේ. මේ තීරණය ගැනීමට ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කවුද? ඔවුන්ගේ යටි අරමුණු මොනවාද?

    * නෞකාව ගිලී යාමට ඉඩ ඇති නිසා ඉවත් කරන බව ජනාධිපතිවරයා විසින් පැවසීම අර්ථ විරහිතය. ලෝකයේ කිසිදු රටක් එවැන්නක් කරන්නේ නැත. ගින්න නිවා අවසන් නම් වහාම ඉන්ධන හිස් කළ යුතුය. ඉන් අනතුරුව නෞකාව ගිලීමෙන් විශාල හානියක් සිදු නොවේ. මේ තීරණය ගැනීමේදී නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුවීමේදී මෙන්ම කොමිස් වංචාවක ලකුණු තිබේද? වන්දි ගෙවීමෙන් මග හැරීම සඳහා අදාල නැව් සමාගමෙන් අල්ලස් ගැනීමක් සිදුව තිබේද?
    මේ ගැන පැහැදිලි කිරීමක් වහාම අවශ්‍ය වේ. නමුත් හෙටින් පසු කරන විග්‍රහ වලින් පලක් නැත. අද රාත්‍රී මේ නැවට ලංකාවෙන් ඉවත් වීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා හැම දෙනෙකුම මැදිහත්වීමක් කළ යුතුය. මේ ප්‍රශ්නය ගැන සංවේදී සියල්ලන්ගෙන් කිරීමට ඇති ඉල්ලීම එයයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත.

  • දෙවන සුරිය උදාව – චේරන්

    දෙවන සුරිය උදාව – චේරන්

    1981 මැයි 31 යාපනේ පුස්තකාලය සිංහල ජාතිවාදීන් විසින් ගිනි තබා විනාශ කරන ලදී.මේ සිදුවිම සියැසින් දුටු චේරන් එම සිදුවිම ඇසුරෙන් “දෙවන සුර්ය උදාව” නමින් කවියක් ලෙස සිය හැගිම් පිට කරනවා. මේ සිදුවිම පිලිපදව චේරන් සිය මතකය “On Responsible Distance : An interview with R.Cheran by Aparna Halpe” සාකච්ඡාවේදි අවදී කරන අතර එහි එක් කොටසක දෙවන සුර්ය උදාව කාව්‍ය නිර්මාණය ගැන ඔහු මෙසේ පවසනවා,
    ” මගේ කාව්‍යයක් වන ‘‘ දෙවන හිරු උදාව, ’’ ඒ නමින්ම තමයි මගේ පළමු කාව්‍ය සංග්‍රහයේ මාතෘකාව වුණේත්, එම කාව්‍යය තුලින් යාපනය පුස්තකාලය ගිනි තැබීම සිදුවිම ගැන සාකච්ඡා කරනවා. නමුත් මම නිශ්චිතව සඳහන් කරේ නෑ යාපනේ පුස්තකාලය ගිනි තැබිම ගැන, මොකද අනෙකුත් දේවලුත් ඒ වෙනකොට ගිනි ගෙන ඉවර නිසා.

    නමුත් මම කිව්වා ” ගිනිබත් විය මගේ නගරය සහ අහිමි විය මගේ වැසියන්ට මුහුණු” . එම වචන තුලින් සමස්ථ සිදුවිමම ගිනිතැබිම් සහ මරණය ගැන විස්තර කරනවා. ඔව්. පළමුව

    ඔවුන් පොත් පුළුස්සා දැමූ අතර පසුව 2009 මැයි ඔවුන් ජනතාව පුළුස්සා දැමුවා! ”
    පහත දැක්වෙන්නෙ 1992 දි සීතා රංජනිගේ සංස්කරණය යටතේ “දෝංකාරය : යුද බිමෙන් උපන් කවි ” පොතෙන් උපුටාගන්නා ලද චේරන් එම අමිහිරි මතකයන්හි සාක්ෂිකරුවකු ලෙස නිර්මාණය කරන ලද එම කාව්‍යය වේ.

    දෙවන සුරිය උදාව

    සුළං පොදක්වත් නොමැති දිනයකි
    රැල්ලක් නොනැගෙන මිය ගිය මහ මුහුදකි.
    එරෙන වැල්ලේ පා ඔබ ඔබා යද්දී
    නැවතත් සුරිය උදාවක්

    මේ වර දකුණෙනි !

    කුමක් නම් සිදු වුයේද ?
    ගිනිබත් විය මගේ නගරය
    අහිමි විය මගේ නගරය
    අහිමි විය මගේ වැසියන්ට මුහුණු
    මගේ භුමියෙත්
    සුළගේත්
    සියල්ලෙහිම
    පිටස්තරයන් ගේ සලකුණු ය.

    දෑත් පසුපසට කර බැද ගෙන
    බලාපොරොත්තුව සිටින්නේ කවුරුන් ද ?
    ගින්දර,
    වලාකුළු මත්තෙන් තම පණිවුඩ ලියා හමාරය.
    තවදුරටත් කවුරුන්ද බලාපොරොත්තුව සිටින්නේ?
    පාරවල්වල පිරුණු අළු ගොඩවල් මතින්
    නැගිටිලා එන්න !

    චේරන්

    ( චේරන්ගේ ඉරෙන්ඩාවුද සුරිය උදයම් කවි පොතෙන් උපුටා ගන්නා ලදි.
    සිංහලයට නැගිම : එස්. සිවගුරුනාදන් ගේ සහායෙනි )
    Cheran Rudhramoorthy
    Seetha Ranjanee
    සිතුවම : Rashmy Ahamed

    උපුටා ගැනීමකි – දෙමළ සාහිත්‍ය සිංහල බසටත් / සිංහල සාහිත්‍ය දෙමළ බසටත්, පරිවර්තනය කරමු

  • විෂ්ණු වාසු ගේ අම්මාගේ ආදරය

    විෂ්ණු වාසු ගේ අම්මාගේ ආදරය

    විෂ්ණු වාසු ගේ සිනමා නිර්මාණයක් වන , අම්මා චිත්‍රපටය නැරඹුමට මට අවස්ථාව හිමි වුයේ, විහඟ පෙරේරාගේ සමාජ මාධ්‍ය පොස්ටුවක් හේතුවෙනි. අදාළ චිත්‍රපට කතාව ඉතාම කෙටියෙන් කියමි. උතුරුමැද පළාතෙහි යකාවැව සිංහල ජනාවාසයේ , ජීවත්වූ ගොවියෙක් අතුරුදහන් වීමත් සමඟ අසරණ වූ ස්ත්‍රියක් සහ දරු තිදෙනෙක් , එම සිදුවීම නැවත කියවාගැනීම ආශ්‍රිතව එය ගොඩ නැගී ඇත. සහකරු අතුරුදහන් වූ පසු, දරුවන් රැක ගැනීමට , තම මව විඳි වේදනා, දියණිය විස්තර කරන්නේ , “අපේ අම්මා මේ වැටෙන හැම අව්වුවක්ටම පිච්චුනා. මේ වැටෙන හැම වස්සකටම තෙමුනා. ඒ අපි නිසා “. අඛයානය ඉතාම කෙටි සාරාංශය නම් මෙම පවුල, ජාතික සහ ආර්ථික අනාරක්ෂිතභාවය හේතුවෙන් නිරන්තරයෙන් හිංසනයට පත් වූ බවය.

    එසේම යකාවැව බස්රථය වෙත එල්ලවූ විමුක්ති කොටි ප්‍රහාරය හේතුවෙන් , ජිවිත 50කට අධික ප්‍රමාණයක් අහිමි වීමත් මෙහි වන අතරු කතාව වේ. ඉන් අනතුරුව 2014 දී ,චිත්‍රපටයේ කතා නායිකා ව වෙත , උසාවි නියෝගයක් ලැබෙනුයේ, තම සහකරු අත්රුදහන් කිරීමට වගකිව යුතු පුද්ගලයා අත්අඩංගු වට ගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් වන අධිකරණ ක්‍රියාවලියට සහභාගී වන ලෙසත්ය. එම සැකකරු පිලිබඳ , මෙම කතානායිකාව කරන හැදින්වීම නම් , “උසාවියේ අර-වගේ මේ- වගේ හිටියේ. මට කීවා , මගේ හිමියන්ගේ අතක් බලන්න පුළුවන් වේවි කියලා. මට ඕනේ නැහැ කුණ බලන්න. මම එයාට (සැකකරුට ) වෛර කරන්නේ නැහැ . උපන් උපන් ජාතිවත්. අපි එකතුවෙලා ඉහත ආත්මයක කරපු පවක් මේ . දැන් මම තව වෛර බැඳ ගත්තොත් , එක නවතින්නේ නැහැ” (මතකයේ රැදී ආකාරයට වචන කියූ ඇයගේ වදන් නැවත ලීවෙමි)

    ශ්‍රී ලංකා රජය සහ විමුක්ති කොටි සංවිධානය අතර වූ යුධ ගැටුම අවසාන වුයේ 2009 දිය. එය මා හදුන්වනුයේ ජන සහාරයක් ලෙසිනි. ඉතාම හිංසනාත්මක ලෙස සිදු වූ ජන සංහාරයක් වූ , එහිදී අතුරුදහන් කරන ලද ජිවිත සහ මරාදමන ලද ජිවිත වෙත මේ ගෙවෙන මොහොතේ ද රාජපක්ෂ හෝ රාජපක්ෂ නොවන ආණ්ඩුවකින් යුක්තියක් ඉටු වී නොමැත.

    ශ්‍රී ලංකා හමුදාවට බාර වුනු පසු අතුරුදහන් කරන ලද ජිවිත සොයාමින් ඔවුන්ගේ ආදරණියයන් විදි පුරා රැදී, බලාපොරොත්තු දල්වා සිටි. මියගිය කිසිවෙකු සැමරිය නොහැකි ලෙස ට , covid 19 වසංගතය මාධ්‍ය යේ රජය විවිධ වාරණ ගෙන එනු ලැබිය. වයස අවුරුදු 6ක දරුවෙකු ද ඇතුලත්ව, සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චුදිතයන් ට නිදහස හිමි විය. අරන්තලාව භික්ෂු ඝාතනය, දළඳා මැදුරේ දී බෝම්ම් පුපුරවා හැරීම සහ නැගෙනහිර පළාත තුල වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වෙත වගකිව යුතු පුදගලයන්, ආණ්ඩුකරණ ට සම්බන්ද පසු බිමක නරඹන අම්මා චිත්‍රපට පිලිබඳ ස්ත්‍රී හර්දසාක්ෂිය මෙය වේ.

    විශුනුගේ සිනමාව තුල පවතින දේශපාලනය මා වටහා ගනු ලබන්නේ මෙසේය. යුද්ධය විසින් වින්දිතභාවයට පත් ස්ත්‍රියක්, විසින්, වින්දිතභාවය අභියෝගයට ලක්කරමින් , රාජ්‍ය විසින් සපයා දීමට අසමත් වූ ආරක්ෂාව , තමා විසින්ම සපයාගැනීමට කටයුතු කිරීමක් ලෙසය. එහිදී ඇය මුහුණ දෙන ආරථික අභියෝගය ඉතාවිශාලය. දෛනික ජීවිතය තුල ,මුලික අවශ්‍යතා ඉටු කරගැනීමට නොමැතිව ද, ඇය තමාගේ ශාරීරක ශක්තිය වෙත පමණක් විශ්වාසය තබමින් , දරුවන්ද රැකගන්නා ස්ත්‍රියක්විය. එවැනි ස්ත්‍රී දහස් ගණනක් යුද්ධය විසින් නිර්මාණය කර තිබේ. කිලිනොච්චියේ හරිත පැහැ ධර්මපුරම් හි සිට, මුලතිව් දක්වා මට මුණ ගැසුණු බොහෝ ස්ත්‍රීන් ගේ අඛයානයන්, යකාවැවේදී, වාසුට හමු වූ ස්ත්‍රිය හා සමය.

    ධර්මපුරම් , පොදු වෙළඳසැලෙහි , වන්නි කුළුබඩු විකුණන ,ධන ලක්ෂීගේ , 43 වැනි වියේ වූ සහකරු මිය යන්නේ, ශ්‍රී ලංකා හමුදාව විසන් එල්ල කල මල්ටිබැරල් ප්‍රහාරය හේතුවෙනි. ඉන් පසු දියණියන් දෙදෙනෙකු සමඟ ඇය , 2009 දී හමුදා පාලන ප්‍රදේශය වෙත එළඹෙන අතර, හමුදා කඳවුරේ දී , අන්නන්ත දුක්ක දොමන්සස්සයන් විදි බව පැවසිය . නැවත ධර්මපුරම් වෙත පැමිණි පසු, දරුවන් ගේ වගකීම වෙනුවෙන් , කුළුබඩු සදා පැකට් කර විකුණා, මුදල් ඉතිරි කරගැනීමේ අනවරත අරගලයක ඇය නිරත විය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින විට, විෂය පුළුල්ව ඉගෙනීම උදෙසා අපි වරක් , ‘පුත්තලම ඒළුවන්කුලම අනාථ කඳවුර වෙත ගියෙමු ‘. එහි සිටි මුස්ලිම් සහෝදරවරියක් පැවසුවේ , “ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. උදේට ලුණු කඩන්න යනවා . නැතිනම් ජිවත් වෙන්න විදිහක් නැහැනේ “…. ඇය පාසල් ගොස් තිබුනේ 5 වසර දක්වා පමණි. එවකට පැවති යුද්ධය හේතුවෙන් , අභ්‍යන්තර අවතැන් වීමේ වින්දිතයන් ලෙස එළුවන්කුලම වෙත ඔවුන් හට පැමිණීමට සිදු තිබුණි.

    වසර තිහකට අධිකව දිග් ගැස්සුණු යුද්ධය , අප කිසිදු කෙනෙක් වෙත සාමයක් ඉතිරි කර නොමැත. වාසුගේ සිනමා රුපය එය සිහි කැඳවන අතර, ඒ තුල ආරථික අනාරක්ෂිතතාවයෙන් පිඩාවට පත් වීම මම කියවනු යේ පංති පිඩාවක් ලෙසය. යකාවැවේ දී අතුරුදහන් වන, මිය යන ජනයා ද , මුල්ලියවයිකාල් හිදී මිය යන්නේ ද එකම පංතියේ ජනයා වේ. සිංහල, දෙමළ , මුස්ලිම් ප්‍රජාවේ වැඩකරන පංතිය මෙම යුද්ධයේ දී පිඩාවට පත් විය. වන්නියේ ජීවිතය යැදී බහුතර දෙමළ ජනයා ගේ උපන්බිම් , කන්දඋඩරට හෝ දකුණේ විය. ඔවුන් ව ක්‍රමික ව ධනේශ්වර නියෝජනය විසින්, පිඩනයට පත් කරමින් , පලවාහැර , ඔවුන් ගේ දේපළ , ශ්‍රමය සහ ජිවිතය කොල්ල කන ලදී. අවසානයේ දී වන්නි යේ රැඳුනු ඔවුන් , ජීවිතය ඉල්ලා කන්නලවු කරන ලදී.

    එසේම යකාවැවේ දී පමණක් නොව යුද්ධයට මායිම් ව පිහිට සිංහල ජනාවාස හි බහුතරය අයත් වන්නේ ද මෙම වැඩකරන පංතිය ට වේ. එහිදී යකාවැවේ දී පුපුරා ගිය බෝම්බ හේතුවෙන් තම අදරනියයන් අහිමි වූ පසු ජිවත් වීම වෙනුවෙන් , ඉතාමත් රළු ශ්‍රම අරගලයක් ගෙන යනගිය ජිවිත බහුල වේ. එහෙත් යුද්ධය පවත්වා ගැනීමට ඉඩ දෙමින් , එය ප්‍රාග්ධනය උපන මාර්ගයක් බවට පත් කරගත් ධනේශ්වර කණ්ඩායම, වාර්ගිකවාදය යෝදාගනිමන් අපි සැමට පොදු වන මෙම පංති පිඩාවේ අවධානය මරා දමා ඇත.

    එසේම , අදවන විට මෙම යුද්ධයේ වින්දිතයන් යුක්තිය බලාපොරොත්තු වෙන් සිටි. එය අනෙකාට ප්‍රේම කිරීම ලෙසට වාසු තම සිනමා රුපකය තුලින් පැවසූ වද , මගේ කියවීම නම්, එය ව්‍යුහාත්මක සහ පටිපාටිමය ක්‍රියාවලියක ප්‍රතිපලයක් විය යුතු බවය. මක් නිසාද යත් බලහත්කාරයෙන් අතුර්දහන් කිරීම් , වධහිංසනය ට පැමිණීම වෙනුවෙන් හුදෙක්ම සමාව දීමක් හරහා පමණක් යුක්තිය ඉටු නොවන හෙයිනි. එසේම , එම සිදුවීම් හි වගකිවයුතු පාරශ්ව වෙත සමාව දීම අගනා බවත්, එය සියලුම වින්දිතයන් සිදු කල යුතුබවත් යෝජනා කිරීමට අප කිසි වෙකුට කිසිදු අයිතියක් නොමැත . මම එය අවධාරණය කිරීම වෙනුවෙන් නැවත ලියමි. යුධ අපරාධයන් හි කිසිදු පාර්ශවයකට, සාමයේ නාමයේ සමාව දිය යුතු බවට යොජානා කිරීමට කිසිදු ශිලාචාරාත්මක හැකියාවක් අප කිසි වෙකුට නොමැත.

    අවසාන වශෙයෙන් කිව හැකි කරුණ නම්, වාසු, ඔව් , ඔබ කියන ලෙසම , අප සැවොම මෛත්‍රිය කිරීමට කැමැත්තෙමු. එහෙත්, අප යුක්තිය බලා පොරොත්තු වෙමු. මන්දයත් , 2009 දී අවසන් වුයේ , අප සියලු දෙනා මත බලහත්කාරයෙන් පටවන ලද යුද්ධයකි. අපට දැන් අවශ්‍ය වන්නේ , අපේ පංතිය එකතු කල හැකි මාර්ගයකි. ඔව් ගෝර්කි සහ ඔබ මතක් කර දෙන , මේ ලෝකය පවතින්නේ, හිරුගේ කිරණින් සහ මවගේ ආදරයෙන් වන අතර , එම ආදරය ට කල හැකි උපරිම උත්තමාචාරය , යුද්ධයේ වින්දිත වූ ඔවුන් සැමට යුක්තිය ඉටු කිරීම ය.

    අරුණි සමරකෝන්

    අරුණි සමරකෝන්ගේ වෙනත් ලිපි 

    43 පරම්පාරාවේ පාඨලී, 2000 නව පරම්පාවට සත්‍ය පවසමු

    ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම