කුරුලු බඳුන

කුරුලු බඳුන

එකල අම්මා ගෙවත්තෙහි
පිනි ජම්බු ගස් දෙබලක
ඉඳිකොට කුරුලු බඳුනක්
හීල් බත් පිඬක් ඇතිරූ සඳ,

නෙක් දෙසින් එන සියොතුන්
පෙරහරේ ආ ලෙහෙනුන්
වළඳා රිසි සේ සුධා භෝජන
හීල් හෙවනැති රුක් ගොමු
කළ හ තිස් පැය -ගීත මණ්ඩප

අද මා කුඩා ඉඩමෙහි
මුහුන් අඹ ගස,නූස් දෙබලක
සවි කරමි ටින් පියනක්
විලසට කුරුලු බඳුනක්

බත් පිඬක් ,පාන් සුඟක්
විස්කෝතු කුඩු අහුරක්
උදයෙ ම තබා බඳුනෙහි
පොරොත්තු වෙමි
අසන්නට කුරුලු කූජන

ජනේලය තුළින් එබී බලමි
දොර ළඟට ගොස් සොරෙන් බලමි
පිළිකන්න පැත්තෙන් ඇවිදගෙන එමි
එහෙත් නැත එක සියොතෙක්
පැමිණ තුටු නද දෙමින් වළඳන

කෙමෙන් බර වෙයි සිත
කුරුලු සිරිසර පිණිස පේ වුණ
කිමද සියොතුනි නේන්නේ
මා කුඩා ගෙමිදුල වෙත

අම්මා සුරලොවින් බැස
මහගෙදර ඉස්තෝප්පුවෙහි සිට
මුව මඳහසක් රඳවා
පෙනෙයි බලනායුරු
හිස් කුරුලු බඳුනක්
අබියස හිඳින මා

සුනන්ද කරුණාරත්න
පැහැනද පහන්(Brilliant Lamps)

KBOOKS

ගමෙන් නගරයට ආ කල,

නෙක් දෙසින් එන සියොතුන් ,
පෙරහරේ ආ ලෙහෙනුන් ,
අතීත රූප රාමුවල ය.

හීල් හෙවනැති රුක්ගොමුවල ඔවුන් තැනූ ගීත මණ්ඩප අතීත රූප රාමුවල ය.
බොහෝවිට එහෙමය.

අද හිමිව ඇත්තේ කුඩා ඉඩමක් නම්,කැබලි කොට විකුණනු ලබන බිම් කැබැල්ලක් විය හැකි.පොළොවෙ තට්ටම් පේන පරිද්දෙන් සංවර්ධනය කරනු ලැබූවකි.බොහෝවිට එවන් බිම් කඩක ඇත්තේ නූස් දෙබලැති මුහුන් ගස්ම ය.

සවිකළ හැක්කේද ඒ මත එදා මෙන් ඉඩැති කුරුලු ලෑල්ලක් නොව ටින් පියනක් වැන්නක්ම ය.තැබිය හැක්කේද අහර හුඟක් නොව සුඟකි.
ඉහත කවියෙන් මේ කියවෙන්නේ මහගෙදරින් නික්ම නගර වාසයට පැමණි අයකුගේ ජීවිතයේ මොහොතක් විය හැක.

“ජනේලය තුළින් එබී බලමි
දොර ළඟට ගොස් හොරෙන් බලමි
පිළිකන්න පැත්තෙන් ඇවිදගෙන එමි
එහෙත් නැත එක සියොතෙක්
පැමිණ තුටු නද දෙමින් වළඳන ”

පෙර නම් උදේ හවසට දොරකඩද සියොතුන් ය,ලෙහෙනුන් ය.පිළිකන්න පැත්තේද උන් ය.නෙක් දෙසින් දැක ගත හැක.

“කිමද
සියොතුනි නේන්නේ
මා කුඩා ගෙමිදුල වෙත?

සංතාපයකි ඒ පාඨකයා ද රිදවන සසල කරවන.
“අම්මා සුුරලොවින් බැස

මහගෙදර ඉස්තෝප්පුවේ සිට
මුව මඳහසක් රඳවා
පෙනෙයි බලනායුරු
හිස් කුරුලු බඳුනක්
අබියස සිටින මා දෙස!

කවියෙහි බරපතළ ලෙස දැනෙන කොටස නම් මෙයය ය.
පෙර මෙන් සියොතුන් දැක අත්පත් කරගැන්මට රිසි දෙය මවගේ මුහුණෙහි ඒ දකින සතුටින්ම ඉපදෙන මඳහස නොවෙද? කවියාගේ සංතාපය ඒ අරඹයා නොවෙද?

මවගේ මුවෙහි මඳහස තුළ ඈ නිරාමිස සුවයක් විඳිනවද?ඒ ඇය පුතුගේ ගෙමිදුලෙහි හිස් කුරුලු බඳුන ළඟ සිටින පුතු දෙස සරදමෙන් නොබලන නිසා නැඟෙන පැනයකි. මවක නම් දාරකත්වයෙහි ලා මුදිතාවෙහි පිරුණු අයෙකි.

මෙි මා සුනන්ද කරුණාරත්න ⁣කවියාගේ කවිය දිගේ ගමන් කළ දුරය.ඔබට ඉන් එහාට යා හැකිය
තවද, මෙම කවිය සොබා දහම මොනතරම් අපගේ ජීවිතවලට බලපෑම් කරනවාද යන්න ඒත්තු ගන්වන කවියකි.

පැහැනද පහන් රසවිඳිනු විමසනු වටී.

ජගත් සී. ජයසිංහ

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...