Breaking News

දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත

ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍යයන්ට නීතිමය බැඳීමක් ඇති බව සඳහන් කරන ජාත්‍යන්තර අධිකරණයේ උපදේශන මතය අනුමත කරන යෝජනාවක් එහිදී 141–8 ඡන්දයෙන් සම්මතවීම හේතුවෙනි. එය සැබවින්ම ජාත්‍යන්තර නීතිය, දේශගුණික යුක්තිය සහ විද්‍යාව සම්බන්ධ ඉතා වැදගත් කඩයිමකි.

දේශගුණික අර්බුදයට මුහුණ දෙන රටවල් අතර පෙරමුණේ සිටින පැසිෆික් දූපත් රාජ්‍යයක් වන වනුආටු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. යෝජිත සංශෝධන කිහිපයක් වටා ඇතිවූ දැඩි සාකච්ඡා සහ සංවාද වලින් පසුව, යෝජනාවට පක්ෂව ඡන්ද 141 ක්, විරුද්ධව ඡන්ද අටක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ඡන්ද 28 ක් සමඟින් මෙය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් සම්මත විය. විරුද්ධව ඡන්දය දුන් රටවල් වූයේ එක්සත් ජනපදය, රුසියාව, ඊශ්‍රායලය, සෞදි අරාබිය, ඉරානය, බෙලරුස්, ලයිබීරියාව සහ යේමනයයි. පක්ෂව ඡන්දය දුන් රටවල් 141 අතර ශ්‍රී ලංකාව ද සිටීම සැලකිය යුතු කරුණකි.

හරිතාගාර වායු විමෝචනයෙන් පරිසරය ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට බැඳීමක් ඇති බව 2025 ජූලි මාසයේදී ජාත්‍යන්තර අධිකරණය තීන්දු කළ විට, දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ ප්‍රධාන ඉදිරි ගමනක් ලෙස එම තීරණය පුළුල් අවධානයක් දිනා ගත්තේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එය විස්තර කළේ “අපගේ ග්‍රහලෝකයේ ජයග්‍රහණයක්” ලෙසය. රාජ්‍යයන් මෙම බැඳීම් කඩ කළහොත්, ඔවුන්ට නීතිමය වගකීමක් දැරීමට සිදුවන බවත්, වැරදි හැසිරීම නැවැත්වීමට, නැවත නැවත සිදු නොවීම සහතික කිරීමට සහ තත්වයන් අනුව සම්පූර්ණ වන්දි ගෙවීමට අවශ්‍ය විය හැකි බවත් අධිකරණය තවදුරටත් තීන්දු කළේය.

ජාත්‍යන්තර අධිකරණයේ උපදේශන අදහස් නීත්‍යානුකූලව බැඳී නොතිබුණද, ඒවා ජාත්‍යන්තර නීතිය පැහැදිලි කිරීමට සහ සංවර්ධනය කිරීමට මෙන්ම රාජ්‍යයන්ගේ බැඳීම් නිර්වචනය කිරීමට උපකාරී වීමෙන් සැලකිය යුතු නෛතික හා සදාචාරාත්මක අධිකාරියක් දරයි. තීන්දුවෙන් පසුව මහා සභාව විසින් යෝජනාව සම්මත කිරීම දේශගුණික අර්බුදය විසඳීම හුදෙක් දේශපාලන තේරීමක් නොව ජාත්‍යන්තර නීතිය යටතේ නීතිමය යුතුකමක් බවට ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි.

මෙම යෝජනාව මගින් සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තම භූමි ප්‍රදේශ තුළ ජනනය වන හරිතාගාර වායු විමෝචන අවම කිරීම ඇතුළුව දේශගුණයට සහ පරිසරයට සිදුකරන හානි අවම කිරීමට සහ පැරිස් ගිවිසුම යටතේ ඔවුන්ගේ ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ. යහපත් විශ්වාසයකින් සහයෝගයෙන් කටයුතු කිරීමට, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ගෝලීය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ දේශගුණික ප්‍රතිපත්ති මගින් ජීවත්වීමේ අයිතිවාසිකම්, සෞඛ්‍යය සහ ප්‍රමාණවත් ජීවන තත්වයක් ඇතුළු මූලික මානව හිමිකම් ආරක්ෂා කරන බව සහතික කිරීමට රජයන්ගෙන් ඉල්ලා සිටී.
මහා සභා ඡන්ද විමසීමෙන් පසු නිකුත් කරන ලද නිවේදනයක, ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස සඳහා අවම වශයෙන් වගකිව යුතු අය ඉහළම මිල ගෙවන බවයි. දේශගුණික යුක්තිය සඳහා මාවත පොසිල ඉන්ධනවලින් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය දෙසට වේගවත්, යුක්තිසහගත සහ සාධාරණ සංක්‍රාන්තියක් ලබාගත යුතු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. පුනර්ජනනීය බලශක්තිය ලාභම සහ ආරක්ෂිතම බලශක්ති ආකාරය බව ඔප්පු වී ඇති බවත්, පූර්ව කාර්මික මට්ටමට වඩා ගෝලීය උණුසුම 1.5°C දක්වා සීමා කිරීමේ ඉලක්කය තවමත් ළඟා විය හැකි එකක් බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කළේය.

මෙම යෝජනාව ගෝලීය වශයෙන් කොතරම් වැදගත්කමක් හිමිකරගෙන තිබුණද, දේශගුණික විපර්යාසවල දැඩි බලපෑම් දැනටමත් අත්විඳිමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටවල එය සැලකිය යුතු මහජන අවධානයක් අත්කරගෙන නොමැත. එය දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු පිළිබඳ එම රටවල මහජන අවබෝධය සීමිතවීමේ නිරූපනයක් මිස අන් කිසිවක් නොවේ. අවම කිරීම, අනුහුරුවීම, පාඩු සහ හානි සහ ජාතික වශයෙන් තීරණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් (Nationally Determined Contributions – NDCs) වැනි දේශගුණ විපර්යාසය හා බැඳුනු මූලික සංකල්ප පවා බොහෝ විට තාක්ෂණික වාග් මාලා වලට පමණක් සීමා වී ඇත. ශ්‍රී ලාංකිකයන් තම එදිනෙදා ජීවිතයේදී දේශගුණික විපර්යාසවල බලපෑම් අත්විඳින නමුත්, මෙම දැනුම පරතරය මෙම දුෂ්කරතා පුළුල් දේශගුණික අර්බුදයට සම්බන්ධ කිරීමේ හැකියාවට බාධා කරයි.

මෑත කාලීන උදාහරණවලින් එකක් ලෙස මෙරට ඉතිහාසයේ ප්‍රධාන මානුෂීය අර්බුදයක් ඇති කළ දිත්වා සුළි කුණාටුව දැක්විය හැකිය. මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් සුළි කුණාටුවක් පවා අසමානුපාතිකව දරුණු බලපෑම් ඇති කළ හැකි ආකාරය දිත්වා සුළි කුණාටුව අපට පෙන්නුම් කරයි. මෙම අවස්ථාවේ දී ඇස්තමේන්තු කර ඇති පරිදි එහි හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 කි. දැඩි වර්ෂාපතනය සහ මන්දගාමී ජලය ගලා යාමේ වේගය ඒකාබද්ධ වී දරුණු ගංවතුර සහ පුළුල් නායයෑම් ඇති කරයි. දේශගුණික විපර්යාස එවැනි විනාශකාරී කුණාටු ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන තත්වයන් නිර්මාණය කරයි. නමුත් තමන්ට සිදුවූ විපත ගෝලීය දේශගුණ විපර්යාසය සමග ගලපාගැනීමට හැක්වී ඇත්නම් ඒ කීයෙන් කී දෙනාටද?

ඒ සමඟම, මෙම එක්සත් ජාතීන්ගේ යෝජනාව, දේශගුණ විපර්යාසය සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ පරස්පර විරෝධී ස්ථාවරය පිළිබිඹු කරයි. ජාත්‍යන්තර ප්‍රජාවට පාරිසරික වශයෙන් වගකිවයුතු ප්‍රතිරූපයක් ඉදිරිපත් කරන අතරම, එය රටේ ඉතිරිව ඇති වන ආවරණය විනාශ කිරීම ඉදිරියේ මුණිවත රකියි. 2025 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද අපේක්ෂිත දායකත්ව 3.0 (2026–2035) මගින් ද මෙම පරස්පරතාව විශේෂයෙන් පැහැදිලි වේ. එමගින් 2035 වන විට වනාන්තර ආවරණය සහ හායනය වූ ඉඩම් අවම වශයෙන් 32% දක්වා ප්‍රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු වී ඇත. රටේ විවිධ ප්‍රදේශවල වන විනාශය දිගටම සිදුවන්නේ මෙම කැපවීම් එසේම තිබියදී වීම විමතිය දනවන කරුණකි.

උදාහරණයක් ලෙස, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කරමින් සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලාගාර ඉදි කිරීම ආරම්භ කිරීම දැක්විය හැකිය. එසේම වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ වන්දම-දෙමලිය වනාන්තර ප්‍රදේශයේ එදා මෙදාතුර සිදුවෙමින් පවතින මහා පරිමාණ වන සංහාරයටද වැට බැඳීමට තවමත් බලධාරීන් අසමත්වී ඇති අතර, ඒ වෙනුවට එහි කඩවරවැව වනාන්තර ප්‍රදේශයේ තවත් අක්කර දෙසියපනහක් පමණ කුඹුරු ඉඩම් ලෙස බෙදා දීමටද පිඹුරුපත් සැකසී හමාරය. තවද ජනාධිපතිවරයා සම්බන්ධවූ අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අම්පාර තිඹිරියගොල්ල, බක්මිටියාව රජයේ රක්ෂිතයට අයත් වට්ටමඩුව කැලෙන් හා තණබිමෙන් අක්කර 4000 ක් වී ගොවීන් වෙත නිදහස් කිරිමේ යෝජනාවක් ගෙන ඒමටද සැලසුම්කර තිබුණද එය අවසන් මොහොතේ තාවකාලිකව හකුලා ගැනින.

එබැවින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් අනුමත කළ මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය සැබවින්ම අදහස් කරන්නේ නම්, එය සංකේතාත්මක ජාත්‍යන්තර කැපවීම්වලින් ඔබ්බට ගොස් භූමියේ අර්ථවත් ක්‍රියාවන් බවට පරිවර්තනය කළ යුතුය. එක්සත් ජාතීන්ගේ යෝජනාවේ ආත්මයට මෙන්ම නුදුරේදී නකොලගනේ වන විනාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව (SCFR 351/22) වැනි සන්ධිස්ථානීය අධිකරණ තීන්දුවලට අනුකූලව, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම යන අංශ දෙකටම ස්වභාවික පරිසර පද්ධතීන් මගින් සැලසෙන සේවාව අවධාරණය කරගනිමින්, වන සංරක්ෂණය ශක්තිමත් කිරීම හා පාරිසරික වශයෙන් විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති වැළැක්වීම සඳහා ආණ්ඩුව දැන්වත් අවංකව තම කැපවීම නිරූපණය කල යුතුය.

වනාන්තර, අලි ඇතුන්ගේ වාසස්ථාන, තෙත්බිම් සහ අනෙකුත් ස්වාභාවික පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම හුදෙක් පාරිසරික වගකීමක් පමණක් නොව, රටේ දිගුකාලීන පාරිසරික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ මානව යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආයෝජනයකි. දේශගුණික විපර්යාස ආපදා තීව්‍ර කරමින් සහ ආන්තික ප්‍රජාවන්ට ඇති තර්ජන උත්සන්න කරමින් පවතින මොහොතක, ඉදිරි පරම්පරාවන් සඳහා සැබවින්ම ඔරොත්තු දෙන සහ තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව විද්‍යාව, පාරිසරික යුක්තිය සහ තිරසාර සංවර්ධනය මත පදනම් වූ මාවතක් තෝරා ගත යුතුමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

leave a reply