Breaking News

ඉතාලියේ ජන මත විචාරණ ඉතිහාසය සහ පුරවැසිභාවය ලබා ගත්තත් තමන් වෙනුවෙන් නැති විදේශික පුරවැසියෝ

රැකියාව සහ පුරවැසිභාවය සම්බන්ධ ජනමත විචාරණය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ .අද පෙ.ව. 7 සිට රාත්‍රී 11 දක්වා සහ හෙට, ජුනි 9 වන සඳුදා, පෙ.ව. 7 සිට ප.ව. 3 දක්වා ඡන්දදායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද පොළට යෑමට හැකියාව ලැබී තිබේ . රැකියාවන් වලට අදාළ කරුණු හතරක් සහ ඉතාලියේ ජීවත් වෙන විදේශිකයන්ගේ පුරවැසි භාවය පිළිබඳ ව යෝජනාව මෙම ජනමත විචාරණය තුළින් ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසා තිබේ . ජනමත විචාරණය සඳහා ඉදිරිපත් කර තිබෙන කරුණු 5 සම්බන්ධව ජනතාවගේ කැමැත්ත අකමැත්ත බැලීමට නම් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් පුරවැසියන්ගෙන් 50%+1 ඡන්දය භාවිතා කළ යුතු වෙනවා . මේ ප්‍රතිශතය ඡන්ද පොළට නොපැමිණියහොත් ජනමත විචාරණය අවලංගු වනවා .

ඉතාලියේ ජනමත විචාරණ ඉතිහාසය

මේක ඉතාලියේ ඓතිහාසික ඡායාරූපයක් 1946 ජනමත විචාරණයෙන් ඉතාලියේ ජනරජයක් බවට පරිවර්තනය වීමෙන් පසුව ගත් ඡායාරූපයක් . මිලානෝ Piazza Cavour වලදී ඉතාලියේ ජනමත විචාරණයෙන් ජනරජයක් බවට පත් කරන්න ජනතාවගේ කැමැත්ත ලැබුණු බව ප්‍රධාන පුවත ලෙස ඉතාලියේ ප්‍රසිද්ධ පුවත්පතක් වන Corriere della Sera පුවත්පතේ පළ කරලා තිබෙනවා . එම පුවත්පතේ පල වී තිබෙන ඉතාලිය ජනරජයක් බවට පත්වුනා කියන ශීර්ෂය ඉතිරි කර පුවත්පත් පිටුව ඉරා එය තුළින් තමන්ගේ මුහුණ එළියට දමා සිටීම තුළින් ඇය කියන්නේ ඉතාලියේ ජනරජයක් බවට පත්වන විට කාන්තාවන්ටද සුවිශේෂී වටිනාකමක් ලැබුණු බවයි . එනම් ඉතාලියේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමේ ඓතිහාසික අවස්ථාවයි .

ඉතාලියේ මුල්ම ජනමත විචාරණය පවත්වනු ලබන්නේ එවකට පැවැති රජය විසින් ප්‍රකාශයට පත්කර තවදුරටත් ඉතාලිය රාජාණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යනවද ජනරජ ව්‍යවස්ථාවකට මාරු වෙනවද කියන කරුණ සම්බන්ධයෙන් .

මේ තීරණය ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුවයි. 1946 ජුනි 2 වන දින පැවැත් වූ ජනමත විචාරණයේ ප්‍රතිඵලවලින් පසුව ඉතාලි ජනරජය බිහි විය. ඉතාලියේ ප්‍රථම වතාවට කාන්තාවන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙන්නේද මේ ජනමත විචාරණයෙන්ය. ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 13 ක් සහ පිරිමින් මිලියන 12 ක් ඡන්දය දුන් අතර, එය එවකට ඡන්දය දීමට සුදුසුකම් ලැබූ 28,005,449 න් 89.08% ට විය.

1946 ජුනි 10 වන දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. ජනරජයට පක්ෂව පුරවැසියන් 12,717,923 ක් සහ රාජාණ්ඩුවට පක්ෂව පුරවැසියන් 10,719,284 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි .

1946 සිට මේ දක්වා ඉතාලිය තුළ ජනමත විචාරණ 78 පවත්වා තිබෙන අතර ජනමත විචාරණ පැවැත්වූ රටවල් අතර යුරෝපයේ තුන්වැනි ස්ථානය හිමිවන්නේ ඉතාලියටයි . මෙතෙක් පැවැති ජනමත විචාරණ 78 න් 72 පවත්වා තිබෙන්නේ යම්කිසි නීතියක් අවලංගු කිරීම සඳහා ජනතාවගේ අනුමැතිය ඉල්ලීම සඳහායි . පැවත ජනමත විචාරණ වලින් 45% ක් අක්‍රීය ජනමත විචාරණ බවට පත්වුණේ ඡන්ද බලය හිමි පුරවැසියන්ගෙන් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට නොපැමිණීම හේතුවෙණි.

අවසාන වරට ඉතාලිය තුළ ජනමත විචාරණයක් පවත්වනු ලබන්නේ 2022 වසරේ දී යි . ම ජනමත විචාරණය නිෂ්ක්‍රීය ජනමත විචාරණයක් බවට පත් වන්නේ සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට පනහ ඉක්මවූ ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට නොපැමිණීම හේතුවෙන් . 2022 ඡන්දය භාවිතා කළ ප්‍රතිශතය 20 .42% ක්. ඒ හේතුවෙන් ඡන්දය අවලංගු විය.

වැඩිම ජනසහභාගිත්වයක් සහිත ජනමත විචාරණය බවට ඉතිහාස ගතවන්නේ ඉතාලිය රාජාණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යනවද ජනරජ ව්‍යවස්ථාවකට මාරු වෙනවද කියන කරුණ සම්බන්ධයෙන් පවත්වනු ලැබූ ජනමත විචාරණයයි .එහිදී ඡන්දය භාවිතා කළ අයගේ ප්‍රතිශතය 89.08% විය . ඉන් අනතුරුව 1974 දික්කසාදය සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයේ දී 87.07 % ක් ඡන්දය භාවිතා කරන්නට ඡන්ද පොළට පැමිණ තිබුණි .

ජනමත විචාරණවල වර්තමාන ස්වභාවය

ක්‍රමානුකූලව ජනමත විචාරණ කෙරෙහි ජනතාවගේ විශ්වාසය පහත ගිය අතර ජනමත විචාරණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දපළට ඡන්දදායකයා පැමිණියේ ඇල් මැරුණු ස්වභාවයකිනි . ඒ සඳහා ජනමත විචාරණය පවත්වන හේතුවද බලපෑවේය . 1997 සිට පවත්වනු ලැබූ ජනමත විචාරණ 8 ක දී 50 % ඉක්මවූ ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට පැමිණ තිබෙන්නේ එක් අවස්ථාවකදී පමණයි .

ජනමත විචාරණය සහ ඉතාලිය වෙසෙන ශ්‍රී ලාංකිකයෝ

අද සහ හෙට දෙදින තුළ පැවැත්වෙන ජනමත විචාරණය ඉතාලියේ ජීවත් වෙන සියලු පුරවැසියාට කම්කරු නීති රීති යම් ප්‍රමාණයකට වෙනස් කර ගැනීමට අදාළ වන ජනමත විචාරණයකි . ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයාව ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය ලෙස මේ සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධ කිරීමට පසුගිය කාලය පුරාවට විශාල කාලයක් වැය කළේ, ශ්‍රමයක් කැප කළේ, මේ වෙනස්වන නීති කම්කරුවන් ලෙස අපි සැමට යහපත් හෙට දවසක් වෙනුවෙන් අත්‍යවශ්‍ය සංශෝධන හේතුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වූ ප්‍රමාණය ඉතා අල්පය .

හිල්මි සුපුන්

leave a reply