Breaking News

මම රස්සාවකට යනවාට අපේ මහත්තයා කැමති නෑ

මම රස්සාවකට යනවාට අපේ මහත්තයා කැමති නෑ

මගේ යෙහෙළියක් පිළිබඳ කතාවක් මේක. ඇය හොඳින් උසස් පෙළ සමත් වී සිටියා. ඒත් ඇය රැකියාවක් කිරීමට පෙර විවාහ විය යුතු යැයි තීරණය කළේ ඇගේ පෙම්වතා ටිකක් වයසින් වැඩි වූ නිසා. විවාහයෙන් පසු රැකියාවක් කිරීමට ඇගේ සැමියාගේ කැමැත්තක් තිබුණේ නැහැ.

“ඔයාව මං රස්සාවකට යවන්නේ නැහැ” ඔහු කිව්වේ ආදරෙන්. ඒක බොරු ආදරයක් නෙමෙයි.

බිරිඳ රැකියාවක් කිරීම සැමියාට මදි පුංචිකමක් වගේ දැනෙන්නේ සමාජ ඒකාකෘති කිසා. පිරිමි තමයි ගෙදර හම්බකරන්න ඕනේ. ගැහැණු ඉන්නේ උයන්න, මල් වවන්න, ගෙවල් ලස්සනට තියා ගන්න, ළමයි හදන්න වගේ සිතිවිලි එන්නේ අපි සමාජ ඒකාකෘතිවල හිර වුනාම. ඒක තමයි සමාජය අනාදිමත් කාලයක සිට අපිට පුරුදු කරලා තියන විදිහ. දැන් මේ දෙන්නාත් මේ උගුලේ පැටලුනා. සැමියා හම්බකර ගෙනත් දෙන දෙය අරපිරිමැස්මෙන් වියදම් කර බැංකු ණයක් ද ගෙන කුඩා නිවසක් මේ අය හැදුවා. දරුවන් ද ලැබුණා. දැන් වියදම ගොඩාක් සැරයි. ඒත් බිරිඳ රැකියා කරන එක අගෞරවයක් වගේනේ. ඒ නිසා දුප්පත්කම් ඉවසගෙන දුකසේ ජීවත් වුණා. සැමියා දිවා රෑ නැතිව වෙහෙසුණේ දුප්පත්කමින් මිදෙන්න.
“මොනවා කරන්නද අපේ කරුමේ තමයි.” හැමවෙලේම එයාලා කිව්වා.

කරුමේ නෙමෙයි මේක ඔයාලාගේම වරද බව පෙන්වා දුන්නත් එයාලා පිළි ගත්තේ නැහැ. පුරුෂ මූලික චින්තනය ආදරය ලෙස වරදවා වටහාගෙන හිටියා.

අධිකව වෙහෙස මහන්සි වූ සැමියා හදිසියේ අසනීප වූ අතර ඔහු අංශභාග රෝගයෙන් ඔත්පල වුණා. දැන් ඉතිරි කළ මුදලක්වත් ජීවන මාර්ගයක්වත් තිබුණේ නැහැ. රැකියාවක් සඳහා කිසිම වෘත්තීය සුදුසුකමක් මේ තරුණ ගැහැණියට තිබුණේ නැහැ. ජීවිතය තුළ සර්වසම්පූර්ණයෙන් ඔවුන් අසරණ වුණේ එහෙම. අනිත් අය මත යැපෙන්නට සිදු වුණේ එහෙම.

සැමියා ඔබට බොහෝ ආදරය දක්වාවි. එහෙත් ඔබගේ රැකියාව අත හරින්නට එපා. කෝටිපතියෙකු විවාහ කර ගත්ත ද ඔබේ දුප්පත් රැකියාව දිනක ඔබ ආරක්ෂා කරාවි. ස්ත්‍රියකට ආර්ථික සුරක්ෂිතතාව ඉතාමත් වැදගත්. ඔබට අවශ්‍ය ඇඳුමක් ගන්න, අම්මාට තාත්තාට සල්ලි ටිකක් දෙන්න, ආස දෙයක් කන්න ඔබේ මුදල් තියා ගන්න. ඔබේ රැකියාවේ නිපුනත්වය කෙදිනක හෝ ඔබගේ පිහිටට සිටීවි.

කාලයක් යද්දී නිවසේ වියදම් සැර වන විට බිරිඳකගේ වැටුපේ වටිනාකම දැනේවි. රැකියාවෙන් තමාට ලැබෙන සමාජ ගෞරවය ඔබ නිවසේ සිටීමෙන් කිසිදා ලබා ගත නොහැකියි. සමාජ ආශ්‍රය යහළු මිතුරන් මුණ ගැසීම, ඉඳහිට සහභාගී වන ඔෆීස් පාටි, බස් රියේ දුම්රියේ හමුවන මිතුරු මිතුරියන් ඔබ සමාජ ජීවිතය තුළ උද්‍යෝගිමත්ව තබාවි. ඔබට ඔබ ගැන විටිනාකමක් ලැබේවි. විවාහය නිසා රැකියාව හෝ තමාගේ ආදායම් මාර්ග විනාශ කර ගන්න එපා.

දෙවියන් වහන්සේ බිමට බැස කිව්වත් දෙවියනේ රැකියාව නම් අතහරින්න එපා.

සංජිවනි රූපසිංහ

leave a reply