ආයෝජකයන් ගෙන්වා ගැනීමට යැයි පවසමින් හාම්පුතුන් සතුටු කිරීමට මනුෂ නානායක්කාර විසින් අත්තනෝමතික ලෙස ගෙන ආ තනි කම්කරු නීතිය පිළිබඳ සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. ඊට හේතුව නම් NPP ආණ්ඩුව විසින්ද එම පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය කිරීමට බව පවසමින් කමිටුවක් පත් කිරීමයි.
සේවා නියුක්ති පනත් කෙටුම්පත සමාලෝචනය සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජුනි 02 වැනිදා කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. දැනට ක්‍රියාත්මක පනත් 13ක් අධ්‍යනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සදහා දළ පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව, තවදුරටත් සලකා බැලීම සූදානම් බවද එහිදී සඳහන් විය. ඒ සදහා සේව්‍ය- සේවක වෘත්තිය සංගම්වල අදහස් ලබාගෙන තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හදුනාගැනීමට යෝජනා සම්මත වී ඇත. මෙය ඉදිරියේදී කම්කරු අමාත්‍යංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කිරීමට නියමිත අතර එම කමිටුවේ සාමාජිකයන් කවුද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වනු ඇත.
2019 වසරේදීත් එවකට ආණ්ඩුව මේ තනි කම්කරු නීතිය ගෙන ඒමට දැඩි ලෙස උත්සාහ කළ නමුත් ඒ මොහොතේද මේ රටේ වෘත්තීය සමිති සිදු කළ ප්‍රබල විරෝධතා හමුවේ හකුළා ගන්නා ලදී. 2023 දී නව කම්කරු නීති සංශෝධනය පිළිබඳව සාකච්ඡා වට 7 ක් පමණ කම්කරු අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී විශාල ප්‍රචාරණයන් සහිතව පැවැත්විණි. නූතන ලෝකයකට (Modern world) අදාළ කම්කරු නීති ගැන මනුෂ නානායක්කාර කතා පැවැත්වුවද එළියට ආ කෙටුම්පතේ තිබුනේ නූතන ලෝකයට නොව වහල් ක්‍රමයට ගැලපෙන නීති වේ.
කම්කරු නීති ප්‍රතිසංස්කරණය පනත් කෙටුම්පත පරිච්ඡේද 21 කින් සමන්විත වේ. ඒ අනුව පහත සඳහන් ප්‍රධාන පනත් 13 එකට එකතු කර තනි පනතකින් කම්කරු නීති මාලාවක් හඳුන්වා දී ඇත.
1.1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත
21941 අංක27 දරන පඩිපාලක සභා ආඥා පනත
3.1939 අංක 32 දරන මාතෘ ප්රතිලාභ ආඥා පනත
4.1956 අංක 47 දරන ළමයින්, කාන්තාවන් හා තරුණයින් පිළිබඳ පනත
5.1950 අංක 43 දරන කාර්මික හා ආරවුල් පනත
6.1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත
7.1935 අංක14 දරන වෘත්තිය සමිති ආඥා පනත
8.1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත
9.1983 අංක12 දරන පාරිතෝෂික ගෙවීම් පනත
10.2005 අංක 36 36 දරණ අයවැය සහන දීමනා පනත
11.2016 අංක04 දරන අයවැය සහන දීමනා පනත
12.2016 අංක 03 දරන ජාතික අවම වේතන පනත
13.2021 අංක 28 දරන විශ්‍රාම ගැනීමේ අවම වයස පනත
පවතින කම්කරු නීති යල්පැන ගිය ඒවා සහ නූතන ලෝකයේ වැඩබිමට ඒවා නොගැළපෙන බවට සමාජ මතය හදන්නට හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාර ලොකු වෙහසක් ගන්නා ලදී. ඔහු ඒ සඳහා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය හෝ වෙනත් පුද්ගලික ආයතනයක් ලවා කිසිදු තර්කයක් නැති විහිළු සහගත දැන්වීම් පවා නිර්මාණය කර ප්‍රචාරය කර තිබුණි.
පවතින කම්කරු නීති වල වෙනස් විය යුතු තැන් තිබෙන බව කම්කරුවන් සහ වෘත්තීය සමිති පවා පිළිගන්නා කරුණකි. නමුත් පිළිගත නොහැකි කාරණය වන්නේ එලෙස නීති සංශෝධනය “නව සේවා නියුක්ති පනත් කෙටුම්පත” ලෙස පැමිණි ආකාරයයි.
කම්කරුවන් සූරා කෑම සඳහා හාම්පුතුන්ගේ අවශ්‍යතාවය මත හදන තනි කම්කරු නීතියට ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති බොහෝ ප්‍රමාණයක් එවකට විරුද්ධ විය.
ඒ මොහොතේ මේ සඳහා වෘත්තීය සමිති විරුද්ධත්වය පල කළ අතර දැනට ආණ්ඩුවේ ඇමතිකම් දරණ වසන්ත සමරසිංහ ඇතුළු අන්තර් සමාගම් සේවක සංගමයද ඒ අතර විය.
පැය 8ක වැඩ දිනය අහෝසි කර පැය 8 ඉක්මවා සේවය කරන සෑම විටම අතිකාල ගෙවීම් ලබාගැනීමට ඇති නෛතික අයිතිය අහෝසි කිරීම, මෑන් පවර් වහල් සේවයට නෛතික පිළිගැනීම ලබාදීම, පාරිතෝෂික හිමිකර ගැනීම සඳහා වසරකට දින 180 ක් සේවයට වාර්තා කර තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට නියම කිරීම, අර්ධ කාලීනව සේවා සැපයීමට ගිවිසගෙන සිටින සේවකයින්ගේ නිවාඩු පිළිබඳ ගැටළු සහගත වීම, දින එකහමාරක පඩි සහිත සති නිවාඩුව, දින භාගයක් දක්වා අඩු කිරීම සහ සති නිවාඩුවේ ඉතිරි දිනයට හිමි පඩිය අහිමි කිරීම, ටාගට් සැපිරීමට අසමත්වීම වැන්නක් හුවා දක්වමින් සේවායෝජකගේ වෙනත් ආයතනවලට හෝ වෙනත් අංශ වලට සේවකයාගේ කැමැත්ත නොමැතිව මාරු කර හැරීමේ බලය හාම්පුතා වෙත පැවරීම,අයුක්තියට එරෙහිව සේවකයින්ට කටයුතු කිරීමට ඇති හැකියාව මොට කර, හාම්පුතාට හීලෑ වී කටයුතු කිරීමේ වැඩබිම සංස්කෘතියක් නිර්මාණය කිරීම, කොන්ත්‍රාත් (Fixed Term) සේවකයින් හට දින 14 ක කෙටි දැනුම් දීමක් හරහා ඒකපාර්ශ්විකව සේවය අවසන් කිරීමේ පූර්ණ බලය හාම්පුතාට ලැබීම, මසකට දින 10කට සීමාවී පැවති, රාත්‍රී කාලයේ ස්ත්‍රීන් සේවයේ යෙදවිය හැකි සීමාව දින 15 දක්වා වැඩි කිරීම, වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා සේවකයන් 7 දෙනෙකු පමණක් ප්‍රමාණවත් නිතීය සේවකයින් 100 දෙනෙක් දක්වා වැඩි කිරීම, කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරයක් නොමැතිව සාප්පු හා කාර්යාල සේවිකාවන්ට හාම්පුතාගේ අභිමතය අනුව ප්‍රවාහන දීමනාවක් මත රාත්‍රී 10 න් පසුව ඕනෑම වෙලාවක් සේවයේ යෙදවීමට අවසර දීම යනාදිය ඇතුළුව තවත් සංශෝධන ගණනාවක් මෙහි අඩංගු විය.