Breaking News

තේ අපනයනකරුවන් අලුත් ආණ්ඩුවට සුබ පතමින් බදු සහන ඉල්ලයි

මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුභ පතන අතරතුර, තමන්ට බදු සහන ලබා දෙන්නයැයි සඳහන් කරමින් තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලියුමක් යවා තිබෙනවා.

රටේ සාමාන්‍ය ජනතාවට මෙන් නොව, මෙවැනි බලගතු ව්‍යාපාරිකයන්ගේ සංවිධානවලට ක්ෂණිකව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාව තිබෙනවා. එම හැකියාව සාමාන්‍ය කම්කරුවෙකුට, වතු කම්කරුවෙකුට හෝ වෙන කිසිවෙකුට නැති හැකියාවක්. ඒ නිසාම, මෙවැනි සුභපැතුම් මැද්දේ තමන්ගේ දේශපාලන ඉල්ලීම් කිරීමේ හැකියාවත් ඔවුන්ට ලැබෙනවා. ඒ මදිවාට ඔවුන්ගේ සුභපැතුම් ප්‍රවෘත්තිවලත් පළවෙනවා.

එම සංගමගේ සභාපති Huzefa Akbarally නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මැතිවරණය සාමකාමීව සහ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීම ව්‍යාපාරික ප්‍රජාවගේ පැසසුමට ලක් වූ බව.

කෙසේ වෙතත් බළලා මල්ලෙන් එළියට පනින්නේ එයින් පස්සේයි. මේ ව්‍යාපාරිකයන් තමන්ගේ ලාභ තර කරගන්නට ආණ්ඩුවෙන් විවිධ සහන ඉල්ලීමයි සැබෑ අරමුණ. මෙම රජය බලයට පත් කරගැනීමට ඡන්දය දුන් සුවහසක් ජනතාවට විවිධාකාර සහන ලබා දීම ආණ්ඩුවෙන් ‘පිනට යැදීමක්‘ ලෙස හඳුන්වන ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ට මේවා පෙනෙන්නේ නැහැ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ නව රජය යටතේ ශ්‍රී ලංකාව නව යුගයක් ආරම්භ කරන බැවින්, සුදුසු ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ආර්ථික අභියෝග ජයගෙන  රට සමෘද්ධිය කරා රැගෙන යාමට සමත් වනු ඇතැයි තේ අපනයනකරුවන්ගේ සංගමය ඒ ලියුමේ ඊට පස්සේ කියනවා. ඉතින්! තේ අපනයනකරුවන් ට ඕනෑ තමන්ගේ ලාභය දැඩි ලෙස පවත්වාගෙන යන්නයි.

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන අංශයේ දෙවන විශාලතම විදේශ විනිමය උපයන්නා ලෙස තේ අපනයනකරුවන් 2030 වන විට ඩොලර් බිලියන 25 ක අපනයන ආදායමක් ලබා ගැනීමේ රජයේ ඉලක්කය වෙත උපරිම සහයෝගය සහ සහයෝගය ලබා දීමට කැපවී සිටින බවද එම සංගමය අවධාරණය කරනවා. කෙසේ වෙතත්, තමන්ගේ ක්ෂේත්‍රයේ සිදු කෙරෙන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු වන්නේ කම්කරු ශ්‍රමය මත බවත්, එම කම්කරුවන්ට ලංකාවේ අඩුම වැටුපක් ලබා දීම ගැන ලැජ්ජාවට පත් වෙන බවත් තේ අපනයනකරුවන් සිය නිවේදනයේ කියා නැහැ. වතු කම්කරුවන්ට වැටුප් දෙන හැටි ගැන වචනයක්වත් කතා කරලාත් නැහැ.

ලංකාවට ඩොලර් බිලියන 25ක් ලබා ගැනීමට දායක වෙන බව කියා, ඔවුන් දොඩන්නේ බදු සහන දෙන්ට කියායි. 2030 වෙද්දී තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවන බව ඔවුන් කියනවා.

ඒ අනුව, ඔවුන් ඉල්ලන්නේ තමන්ගේ ලාභය වැඩි කර ගැනීමට සහන දෙන ලෙසයි. ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල තරඟකාරීත්වයට සහ දේශීය සැපයුම්කරුවන්ගේ ආදායමට වැට් බද්දේ අහිතකර බලපෑම අවම කිරීම සඳහා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය හෙවත් SVAT යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම  අපනයන කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවයක් වන බවද එම සංගමය සිය නිවේදනයෙන් කියා තියෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් තර්ක කරන්නේ බදු සහන කප්පාදුව කුඩා තේ වතු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වලට බලපාන බව. එහෙත්, තේ අපනයනකරුවන් උපයන අධික ලාභය තේ වතු පවත්වාගෙන යන කුඩා තේ වතු හිමියන්ටත් අවාසි සහගතයි.

2013-2023 කාලය තුළ තේ අස්වැන්න කිලෝග්‍රෑම් මිලියන 340 සිට කිලෝග්‍රෑම් මිලියන 256 දක්වා පහත වැටීම හේතුවෙන් වසර 150 කට අධික ඉතිහාසයක් ඇති “සිලෝන් ටී” ද බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බවද එම සංගමය අවධාරණය කරනවා. කෙසේ වෙතත්, මෙරට තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑමට තේ වතු හිමියන් අපොහොසත් වීමත්, තේ කර්මාන්තයේ ශ්‍රමිකයන්ට ඉතා අඩු මට්ටමේ වැටුපක් ලබා දීමත් ගැන ඔවුන් කිසිදු ස්වයං විවේචනයක නිරත වෙන්නේ නෑ. බදු සහන මගින් පමණක් සිලෝන් තේ ගුණාත්මකභාවය පවත්වාගෙන යා නොහැකියි. පුද්ගලිකකරණය කරන ලද තේ කර්මාන්තය මේ වෙද්දී වතු කම්කරුවන්ට කරන ගෙවීම් පැත්තෙනුත්, අනෙක් පැත්තෙන් ගුණාත්මකභාවය සහ ගෝලීය තරගකාරීත්වය අතිනුත් කියන දෙපැත්තෙන්ම අසමර්ථ බව පෙන්නුම් කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ ලාභය සූරා කා අධික ලාභ සොයන මේ කුසීතයන් මේ එන්නේ නව රජයට සුභ පතන මුවාවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට බලපෑම් කරන්නටයි. එම උත්සාහය ලැජ්ජා විරහිත එකක්.

උපුටා ගැනීම – what news

leave a reply