Tag: medical

  • එක වල්ලේ පොල් – බාල ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙමෙයි බැසිල්ලු

    එක වල්ලේ පොල් – බාල ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙමෙයි බැසිල්ලු

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 03දා ප්‍රශ්නගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළ ව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ය.

    එහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙසේ ද පැවසීය.

    ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබාදුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ.’

    මේ අතර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් සියල්ල පටවා ඇඟ බේරා ගැනීමට ආණ්ඩුව ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම උත්සාහා කරනු දක්නට ලැබේ. එහිදී නැගෙන ප්‍රධාන තර්කයක් වන්නේ කෙහෙළිය කැබිනට් මණ්ඩලයම ගොනාට අන්දවා මේ වැඩේ කර ඇති බවයි.

    මෙම ඖෂධ ගෙන්වීම සම්බන්ධ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇත්තේ 2022 මැයි සහ අගෝස්තු අතර කාලයේදීයි.

    2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අනාවරණය විය.

    මේ අනුව බාල ඖෂධ ගෙන්වමින් ජනතාවගේ ජීවිත සිතා මතා අනතුරේ හෙලීමේ චෝදනාව සියල්ලන්ටම එල්ල විය යුතුය.

     

  • කෙහෙළිය තමන් ගෙනාපු බෙහෙත් බොන්න බැහැ කියයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    කෙසේවෙතත් ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

    ඒ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

    එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළ වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලෙන් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට අවශ්‍ය බවටද ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කළා.

    පහත දැක්වෙන්නේ ප්‍රමිතියෙන් තොර ඉමියුනො ග්ලොබියුලීන් ගෙන්වීම සම්බන්ධ නඩුව පසුගියදා අධිකරණයේ විභාග වූ අවස්ථාවේ මතුවූ කරුණු වේ.

    සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය.

    2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු භීතිය මවා පා ඇතැයිද කීවාය.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම 2022 වර්ෂයේ සිට සපයා ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කිරීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශරීරගත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙන්ම ඉන් මහජනතාවට වූ අගතිය සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් නියම කළාය.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව පෙනී සිටි නීතිඥවරුන් පැය 4 විනාඩි 15ක කාලයක් පුරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියම කළාය.

    මෙම නඩුව මීට දින 20කට පමණ පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම පැමිණිලි කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව කියමින් මෙම නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියත් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි පෙන්වා දෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළාය.

    එසේ තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය 31 වැනිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම්දී තිබුණත් ඔහු රහස් පොලිසියට නොපැමිණි බවත් ඔහු අසත්‍ය කරුණු දක්වමින් රහස් පොලිසියේ පෙනී සිටීම මඟහරින බව පෙනෙන්ට ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කළ අතර පසුගිය 02 වැනිදා උදෑසන 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමටද ඔහුට නියම කළාය.

    ඒ අනුව ප්‍රකාශයක් දීම සඳහා රහස් පොලිසිය හමුවේ පසුගිය 02 වැනිදා පෙනී සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිස් නිලධාරීහු රාත්‍රී 7.40ට පමණ ඔහු අත්අඩංගුවට ගත්හ.

    එලෙස අත්අඩංගුවට ගැනුණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදින රාත්‍රියේ රහස් පොලිස් බාරයේ රඳවා තබාගත් නිලධාරීහු පසුගිය 03 වැනිදා සෙනසුරාදා දිනයක් වුවත් එදින පෙරවරු 9.15ට පමණ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

    ඒ වන විටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥවරුන් මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාති හිතවත්හු පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. එසේම මෙම අපරාධය පිළිබඳ මුලින්ම පැමිණිලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයේ කාමන්ත තුෂාර මහතා ඇතුළු නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතාද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ අකලංක උක්වත්ත මහතා ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.

    පෙරවරු 10.50ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය විනිශ්චයාසනාරූඪවීමෙන් අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ වූ අතර ඒ අවස්ථාවේදී යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවට නංවනු ලැබීය.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් සමඟ ඇමුණුම් 13ක් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එන්.බී. තිබ්බටුමුණුව මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කොට සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි කීවාය.

    ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිලදී ගත යුතු බවට කොන්දේසියක් පනවා තිබූ බවත් ඒ අනුව අනාදිමත් කාලයක් පුරාම වෛද්‍ය සැපයුම් ඒකකයට එම ඖෂධය ඇතුළු සංවේදී ඖෂධ සපයා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වුවත් මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එම කොන්දේසි ලිහිල් කිරීම නිසා මෙම නඩුවට පාදක වූ සිද්ධිය වී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.

    ජනාධිපතිවරයා විසින් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති බවත් ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීතිරීතිවලට අනුව අදාළ වගකීම කළ යුතු බව ඔහුට දැනුම් දී ඇති බවත් කී ලක්මිණී ගිරිහාගම මෙනවිය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යොදවා සැකකරු ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඉටු කළාදැයි රහස් පොලිසිය විමර්ශන කළත් සැකකරු කටයුතු කර ඇත්තේ අසද්භාවයෙන් බවට තොරතුරු හෙළි වීම නිසා මෙම සිද්ධියේ 08 වැනි සැකකරු වශයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කීවාය.

    කොවිඩ් වසංගතයෙන් රට වෙළී ගිය පසු ඉන් ජනතාව බේරා ගැනීම හා සාමාන්‍ය ජීවන තත්වයක් පවත්වාගෙන යෑම සඳහා ලංකාවට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලිහිල් කළේ යැයි ද ඒ අනුව ආරම්භ කළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය වෙනුවට පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත්තේ ඖෂධයක් යැයි කිව නොහැකි ද්‍රාවණයක් යැයිද කීවාය.

    2022 අගොස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද ඒ බව සාමාන්‍යාධිකාරිවරයා විසින් සැප්තැම්බර් 02 වැනිදා රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් හෙළි කර ඇතැයිද ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය. ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා පාමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ගිරිහාගම මෙනවිය සඳහන් කළාය.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන්ගේ උපදෙස් අනුව බවට සැකකරු වෙනුවෙන් කරුණු දැක්වුවොත් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – “ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති නිසා ‘මට මතක නැහැ’ ‘මං දන්නේ නැහැ’ ‘මට කිව්ව දේ මං කළා’ වගේ විත්ති වාචක ඔහුට ඉදිරිපත් කරන්න බැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔහුට මාර්ගෝපදේශ ඔහුට ලබා දී තිබුණා.

    වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙසේද කීවාය.

    රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සියළු කැබිනට් පත්‍රිකා ඔහුට පෙන්වා දුන්නා. එසේ පෙන්වා දෙමින් ප්‍රශ්න කරන විට ඖෂධ හා පාරිභෝජන ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේ සිට ඒවා රෝගීන්ට ලබාදෙන අවස්ථාව දක්වා සියළු කටයුතු අධික්‍ෂණය කරන බව ඔහු පිළිගත්තා. 2022 සැප්තැම්බර් 26 වැනිදා වන විට ඖෂධ වර්ග 182 කට අදාළ තොග රට තුළ අඩු මට්ටමක තිබූ බවටත් තවත් ඖෂධ වර්ග 17ක් රට ‘බින්දුව’ මට්ටමේ තිබූ බවටත් ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබුණා. ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු නිසා කැබිනට් මණ්ඩලයට ඊට අවසර දී තිබුණා.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඖෂධ වර්ග 182 කට අදාළව ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට ඇති හේතුව කුමක්ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහු කීවේ ‘වෛද්‍ය සැපයුම් අංශය මට කියපු නිසා මං කළා’ කියලයි.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- රහස් පොලිසිය ඔහුගෙන් එසේ ප්‍රශ්න කළේ ඔහු අත්අඩංගුවට ගත් පසුද? අත්අඩංගුවට ගැනීමට පෙරද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- අත්අඩංගුවට ගැනීමට පෙර.

    වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙසේද කීවාය.

    රටකට අවශ්‍ය ඖෂධ ‘අතවශ්‍ය’ ‘ඉතා අත්‍යවශ්‍ය’ වශයෙන් වර්ග තියෙනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළත් ඒ පිළිබඳ කිසිවක් දන්නේ නැති බව ඔහු පිළිගෙන තියෙනවා. ඒ රට තුළ ‘බින්දුව’ සීමාවට පැමිණ ඇතැයි ඔහු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ඖෂධ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ ‘ඒ ගැන මට කියන්න බැහැ’ යනුවෙන්. ඖෂධ නොමැතිකම නිසා ජනතා ජීවිතවලට හානි පැමිණෙන බවට ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති නිසා තමයි අදාළ ඖෂධ මිලදී ගැනීමට අවසර දීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ. මේ පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ විට ‘මං කරන්නේ කැබිනට් මණ්ඩලයට සංදේශ ඉදිරිපත් කරන එක. මං ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. ඒ ගැන දන්නේ (මේ නඩුවේ 06 වැනි සැකකරු) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ නිසා මං ඒ ගැන දන්නේ නැහැ’ යනුවෙන් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පවසා ඇත.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැති අර්බුදයක් මවා පාමින් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ලියාපදිංචියක් හෝ නොමැති කෙනකුගෙන් ඖෂධ මිලදී ගැනීමට අවසර ගෙන ඇත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්‍ෂා කරන්න නෙමේ. පළමු සැකකරුට ඖෂධ ගෙන්වීමට අවසර දීමේ අපේක්‍ෂාවෙන්.

    වෛද්‍ය සැපයුම් අංශයක් ඇත්තේ ලංකාවට අවශ්‍ය ඖෂධ තොග මිලදී ගැනීමට හා ඒවා බෙදා හැරීමටයි. 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයටත් වඩා වැඩි ඖෂධ තොග ලංකාවට ලබාදෙන බව දැනුම් දී තිබියදී ඒ බව නොසළකා හරිමින් මෙම ඖෂධ මිලදී ගැනීම් කර තියෙනවා. රහස් පොලිසිය ඒ ගැන සැකකාර රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ අදාළ ඖෂධ තොග ලැබීමේ අවිනිශ්චිතභාව නිසා ඖෂධ මිලදී ගැනීමට කටයුතු කළ බවයි.

    ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් බිලියනයක මුදලක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවීමට කටයුතු කර තියෙනවා. ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවේදී ඉන්දියාව දී ඇති මෙම ණය මුදල් වසර තුනක කාලයකට පසු අපි යළි ඉන්දියාවට ගෙවිය යුතුයි. කැබිනට් ඇමතිවරයකු වශයෙන් ජනතා බදු මුදල් නියමිත පරිදි යෙදවීමේ වගකීමෙන් මිදීමට සැකකාර අමාත්‍ය රඹුක්වැල්ල නමැත්තාට හැකියාවක් නැහැ. රෝගී ජීවීත ආරක්‍ෂා කිරීම සඳහායි සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සැකකාර රඹුක්වැල්ල නමැත්තා කටයුතු කළ යුත්තේ. ඒත් ඔහු එසේ කටයුතු කර තියෙනවාද?

    මෙම ඖෂධ 182ට අදාළව ප්‍රසම්පාදන කටයුතු සිදුවුණාද කියා රහස් පොලිස් නිලධාරීන් විමර්ශන කළත් එවැනි ප්‍රසම්පාදන සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළි වී නැහැ.

    කැබිනට් පත්‍රිකා සකස් කිරීමට අදාළ ගොනු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සැකකරුට දැනුම් දුන්නත් එවැනි කිසිදු ගොනුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පවත්වාගෙන ගොස් නැහැ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කළාද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව් නමුත් ඔහුට පිළිතුරු දීමට නොහැකි වුණා. මේ සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට සැකකරුට හැකි වුණේ නැහැ.

    මාස 02 සිට මාස 03 දක්වා ප්‍රමාණවත් ඖෂධ තොග රට තුළ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සැප්තැම්බර් 05 වැනිදා සැකකාර අමාත්‍යවරයාට දැනුම් දී තිබියදී සැකකාර අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ නොමැති බව දැනුම් දී තියෙනවා.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඒ ඖෂධ 182 ලැයිස්තුව කෝ?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඒකට වෙච්ච දෙයක් අද වනතුරු හොයා ගන්න නැහැ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඒ ලැයිස්තුවේ ඇතුළත් වෙලා තියෙන්නේ මොනවාද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඒ බව දන්නේ ඒ ලැයිස්තුව හදපු කෙනත් ඒකට අත්සන් කළ මේ නඩුවේ 08 වැනි සැකකරු වශයෙන් නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාත් පමණයි.

    ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට මසකට එන්නත් 9500 බැගින් මාස තුනක කාලයකට නොකඩවා එන්නත් සැපයීමට එකඟ වී සිටි බවත් ඒ වන විටත් ලංකාව තුළ අවශ්‍ය එන්නත් තොග තිබූ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් 16 දෙනකුම පැවසුවා. එසේ තිබියදී තමයි සැකකාර රඹුක්වැල්ල නමැත්තා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු අර්බුදයක් මවා පාමින් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි සැකකාර රඹුක්වැල්ල නමැත්තා බෙහෙත් බවට පවසා ව්‍යාජ ද්‍රාවණ සැපයීමට පළමු සැකකරුට අවස්ථාව නිර්මාණය කර දී තියෙන්නේ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට සැකකාර රඹුක්වැල්ල නමැත්තා කී කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කළාද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්. ඒත් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන ආකාරය ගැන හෙළි කර ගැනීමට රහස් පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. ඒ විතරක් නොවේ මැතිණිය, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරුගේ වගවීමක් නොමැති බවත් රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගත්තා.

    තාක්‍ෂණික ඇගැයීම් කමිටුවක් තිබුණා නම් පළමු සැකකරු සැපයූ ඖෂධ තොග බාර නොගෙන අනිවාර්යෙන්ම ප්‍රතික්‍ෂෙප කරනවා. ඒත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු මගහැර යා යුතු සියළු තැන් මගහැර යාමට අවස්ථාව සලසා දී ඇති බව විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ලියාපදිංචියක් හෝ නොමැති ආයතනයකින් තමයි ඖෂධ වශයෙන් හඳුන්වා දුන් ද්‍රාවණ මිලදී ගෙන තියෙන්නේ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ලංකාවට වාහනයක් ගෙන්වනවා නම් එල්.සී. එකක් විවෘත කළ යුතුයි. බැංකුවක් සමග ගනුදෙනු කළ යුතුයි. මෙම සිද්ධියට අදාළ ඖෂධ ගෙන්වීමේදී එවැනි දෙයක් වෙලා නැද්ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඇල්වතුර දෙන්න එල්.සී. විවෘත කරන්න ඕනෑ නැහැ නේද? මැතිනිය.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එල්.සී. විවෘත කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

    නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා – වරායට ගෙන්වන ඕනෑම දෙයක් ඉන් මුදා ගැනීමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වුණේ ලංකාවේ තිබූ ඩොලර් සංචිත ලංකාවෙන් පිටතට යෑම වැළැක්වීම පමණයි.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – කැබිනට් සංදේශවලට අමාත්‍යවරයා අත්සන් කළ යුතුයි නේද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්, නිලධාරීන් සකස් කරන කැබිනට් සංදේශ ඇමැතිවරයා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඊට අත්සන් කළ යුතුයි.

    ඒ වකවානුවේ උග්‍ර හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ ඖෂධ වර්ග 51 සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ වැරැදි කර ඇති බවට කරුණු අනාවරණය වුණා.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මෙම සැකකරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය දී ඇත්තේ ඖෂධ සැපැයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදෙමින් ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – එතකොට ඔබ කියන්නේ මෙම සැකකරු කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩා බිඳ දමා ඇති බව ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්. සැකකරු අවස්ථා හතරකදී එක් එක් ඖෂධවල තොග ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් මවා පාමින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීමට අනුමැතිය ඉල්ලා තිබුණා. සති තුනෙන් කඩා වැටෙන බව කියමින් ඖෂධ ගෙන්වීමට සැකකරු 2022 මැයි මාසේ අවසර ඉල්ලා තිබුණත් 2023 පෙබරවාරි මාසය දක්වා මාස 9ක කාලයකදී ලංකාවට ගෙන්වා තිබුණේ ඖෂධ 9ක් පමණයි.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඒ බවට තොරතුරු තියෙනවා ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්. මෙම සැකකරු ඖෂධ ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ වැටෙන රට නගාසිටුවීමට නෙමේ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් ඉන්නවා ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඔව්. පැමිණිල්ල නොදත් අයත් ඉන්නවා.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වුණේ කවදා ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – 2022 මැයි මාසේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වී 2023 ඔක්තෝබර් 31 වැනිදා තෙක් එම ධුරයේ කටයුතු කළා.

    අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, මෙම අපරාධයට අදාළ තොරතුරු හෙළි කරගැනීමට වෙහෙසීම සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන්ට සහ නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියට ප්‍රණාමය පුද කළේය.

    ලිපිගොනුවක් හෝ නොමැතිව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඉතා භයානක තත්වයක් බවත්, සියලු වරප්‍රසාද දෙමින් ජනතාව විසින් නඩත්තු කරන ඇමැතිවරුන්ට පැවැරී ඇත්තේ ඉතාම බාරදුර වගකීමක් බවත්, ඔවුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීමට හැකියාව තිබිය යුතු බවත්, පෙන්වා දුන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා, අදාළ වගකීමෙන් මිදීමට මෙම සැකකරුට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ද කීය.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඇමැතිවරයා වශයෙන් ව්‍යවස්ථාපිතව මෙම සැකකරුට පැවැරී ඇති රාජකාරි ඔහු පැහැර හැරියා ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ඔහු අපරාධමය වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙම උසාවිය තීරණය කළ යුතුයි.

    ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා – මේ තත්වය අනුව අපරාධවලට කොටු වන හැම ඇමැතිවරයෙක්ම ඇවිත් ‘මේ පත්‍රිකාව හැදුවේ මං නෙමේ. මගේ ලේකම්’ කියලා කියයි. එතකොට රාජ්‍ය මුදල් මෙයටත් වඩා අවභාවිත කිරීමට පටන්ගනී.

    පළමු සැකකරු සැපැයූ එන්නත්වල බැක්ටීරියා තිබුණා ද? ඉන් මනුෂ්‍ය ජීවිතවලට තර්ජන වුණා ද? මෙම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූ රට පුරා සිටින රෝගීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන මෙහෙයවිය යුතුයි. එමෙන්ම පළමු සැකකරුගේ ගිණුම්වලට ගිය මුදල් ගියේ කාට කාට ද කියා වෙනම විමර්ශනයක් පැවැත්විය යුතුයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින්, ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති විධායක බලය පැවැරී ඇති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් ඔහු එම අපරාධය කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ද, විධායකය සතු බලය යෙදවිය යුත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යැයි ද කීය.

    ‘වෝටර්ස් එජ්’ නඩු තීන්දුව ඉදිරිපත් කරමින් මහජන නියෝජිතයින්ට මහජන විශ්වාසය කඩ කළ නොහැකි බව එහි සඳහන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා, මෙම සැකකරුවන් පොදු දේපළ පනතට එහා ගිය අපරාධමය වරදක් කර ඇතැයි ද, ඒ බව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී අනතුරක් කළ පෞද්ගලික බස් රථ රියැදුරාට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවැරීම මගින් පැහැදිලි වන්නේ යැයි කියමින් එම නඩු තීන්දුව ද අධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙතෙක් වේලා විත්තිකූඩුව තුළ සිටගෙන සිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පස්වරු 12.50ට පමණ වාඩි වීමට අසුනක් සැපැයීය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා කරුණු දක්වමින්, පාර්ලිමේන්තුවේ සිටින 225න් කී දෙනකුට හෘදයක් හෝ සාක්කියක් තියෙනවා ද කියා දන්නේ නැතැයි කීය.

    මේ ‘පුන්නක්කු’ ගෙන ඒමට අදාළ නඩුවක් නොවන බවත්, නීරෝගී ජනතාවක් බිහි කිරීමේ වගකීම පැවැරී ඇති සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රෝගීන්ට බෙහෙත් කියා ‘ඇල්වතුර’ සැපැයීමේ සිද්ධියකට අදාළ නඩුවක් යැයි ද, මෙය සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන හෙයින්, මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා උසාවිය හමුවට ගෙනා යුතු යැයි කී කෞශල්‍ය නවරත්න මහතා, කාට කොයි වේලාවේ කොපමණ මුදලක් ගියා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු යැයි ද, සපයා ඇති ඖෂධ කුප්පිවල අලවා ඇති ලේබල් මුද්‍රණය කළ තැන සිට සියලු කරුණු සෙවිය යුතු යැයි ද කීය.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – සුදු කර පටි හොරුන් හොරකම් කළ මුදල් බෙදාගත් ආකාරය සෙවීම ඉතාම අපහසුයි. මෙවැනි ආකාරයෙන් සොයන මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කරගන්නේ නැහැ. ඒත් මේ මුදල් රජයේ වැය ශීර්ෂය හරහා පළමු සැකකරුගේ ගිණුමට ගිය බව නම් පැහැදිලියි.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින්, 2022 සැප්තැම්බර් සිට රටේ පැවැතුණේ අවිනිශ්චිත කාලයක් යැයි ද, තෙල්, ගෑස්, ඖෂධ නොමැතිව රටේ ජනතාව දින ගණන් පෝළිම්වල සිටියේ යැයි ද කීය.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙසේ ද කීය.

    “ඖෂධ 182 ලැයිස්තුව අත්සන් කළේ වෛද්‍ය සැපැයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය දී තිබුණා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන මුදල්වලින් ඖෂධ ගෙන්වීමට තීරණය කළේ එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතායි. මෙම ඖෂධ සැපැයූ සැපැයුම්කරු නිවැරැදි ඖෂධ සැපැයූවා නම් මෙම සැකකරු කළ වරද කුමක් ද? ඖෂධ සැපැයුම්කරු වැරැදි ඖෂධ සැපැයුවාට මෙම සැකකරු මොනවා කරන්න ද? ඖෂධ 182න් ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් මට නඩුවක් නැහැ නේද?

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මේ විමර්ශනය කරන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් පමණයි. ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් වෙනම විමර්ශන කරනවා.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – එක්කෙනෙක් කළ වරදකට මගේ සේවාදායකයා ඇතුළු අනිත් අය අල්ලාගෙන තියෙනවා.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මෙම සැකකරුගේ නියෝජිතයකු බව පවසමින් අයෙක් මෙම සිද්ධියට අදාළ මුල් පැමිණිල්ල කිරීමට ඉදිරිපත් වුණා. ඒත් උසාවියේ නියෝගය අනුව කළ විමර්ශනවලදී තමයි ඇත්ත අපරාධකරුවන් හෙළි වුණේ.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – ලිපි ගොනුවක් නැති වූ බව කීවා. ඒක හැංගුවේ කවුද කියා පොලිසිය සෙවිය යුතුයි. ඒකටත් මෙම සැකකරු වගකියන්න ඕනෑ ද? මගේ සේවාදායකයාට එරෙහිව බැලූ බැල්මට නඩුවක් නැහැ. මේ අපරාධය කරන්න මං ආධාර අනුබල දීලා තියෙනවා ද? ග්‍රාමීය රෝහල් හැරෙන්න ලංකාව පුරා රෝහල් 1008ක් තියෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් මගේ සේවාදායකයාට ඒ ගැන සොයා බැලීමේ වගකීම තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මාත් අයිති වුණා කියලා මං වැරැදිකාරයෙක් නෙමේ. මං ඒ 225න් කෙනකු වුණේ මේ රටේ මිනිස්සු මට ඡන්දේ දුන්න නිසයි. මං 225න් කෙනකු වුණා කියලා මං දිහා වැරැදි විදිහට බලන්න එපා.

    මෙම නඩුවේ පළමු සැකකරුට මුදල් ගෙවන්න එපා කියලා මං දැනුම් දුන් පසු 2023 ඔක්තෝබර් 10 වැනිදා ඔහු මට තර්ජනය කරලා ලිපියක් එව්වා. මගේ සේවාදායකයා රෝගියෙක්. ඔහු දිනපතා ඖෂධ පෙති 8ක් බොනවා. ඔහුලේ කකුලේ ශල්‍යකර්මයක් කර තියෙනවා. ඔහුට හෘදයාබාධ තත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට ඇප නියම කරන්න.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – සැකකරු ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමයේ මුදල්වලින් හෝ වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ ඇයි?

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල්වලින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා. ඒ නිසා සැපැයුම්කරුවන් ඉදිරිපත් වීමට අකැමැති වෙනවා. ඒ නිසයි වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඒ බව කැබිනට් පත්‍රිකාවේ දැම්මේ නැත්තේ ඇයි?

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – සියලු කරුණු කැබිනට් පත්‍රිකාවේ දාන්න බැහැ.

    මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – මෙය ඉතාම අත්‍යවශ්‍ය කරුණක්.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – ඒ බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – ඖෂධ වර්ග 182ක් ලැබුණේ නැත්නම් ඉදිරි සති 3 තුළ ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට කැබිනට් මණ්ඩලයට ගිහින් මෙම සැකකරු බොරු බිල්ලෙක් මවා පෑවා.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් හෝ ලංකාවේ තිබුණා ද?

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය – පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් නැති වුණත් බාල බෙහෙත් නම් ලංකාවේ තිබුණා. බෙහෙත් කියලා මිනිසුන්ට දීලා තිබුණේ ඇල්වතුර.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා – ඒකට ඇල්වතුර දීපු කෙනා අල්ලගන්න. ඇල්වතුර ගේන්න මං කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ නැහැ.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන කැබිනට් ඇමැතිවරයකු වශයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

    මෙම නඩුවට පාදක වූ ප්‍රධානම සිද්ධිදාමය වී ඇත්තේ, මෙම සැකකරු සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් මුල් ගොනුව සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ද, එක්කෝ අදාළ මුල් ගොනුවේ අංකය ව්‍යාජ එකක් බවත්, නැත්නම් මුල් ගොනුව අස්ථානගත කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියම කළාය.

    ඉන් අනතුරුව සවස 3.10ට පමණ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

    මෙම සිද්ධියට අදාළව මේ වන විටත් බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් රිමාන්ඩ් බාරයේ පසුවන අතර, වෛද්‍ය සැපැයුම් ඒකකයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා ඇප මත මුදාහරිනු ලැබීය.

    අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

    පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.

  • බාල බෙහෙත්වලට දඩය ලක්ෂයයිලු!

    බාල බෙහෙත්වලට දඩය ලක්ෂයයිලු!

    ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

    යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල වූයේ රුපියල් 100කි.

    අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

    මේ දිනවල බාල ඖෂධ රට තුළට ගෙන්වීම සහ බාල ඖෂධ රට තුළ ව්‍යාජ බලපත්‍ර යොදාගෙන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇතිව ඇති යුගයකි.

    එසේම බාල ඖෂධ හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට සහ අතුරු ආබාධවලට ලක්විය.

    මෙවැනි තත්ත්වයකදී එවැනි වැරදි සිදුකරන්නන් සඳහා දඩය රුපියල් ලක්ෂයක් කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
    ඔවුන් විශාල දඩයකට ලක් කළ යුතු අතරම අපරාධමය නීතියකට යටත් කළ යුතු බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

  • රෝහල්වල තවමත් ඖෂධ හිගයි

    රෝහල්වල තවමත් ඖෂධ හිගයි

    රෝහල් පද්ධතිය තුළ තවදුරටත් ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ වර්ග සියල්ල මේ වනවිට ඇණවුම් කර ඇති බවයි.

    ඒ අනුව, ඒවා ඉදිරි සති කිහිපය තුළ වරින්වර දිවයිනට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් පෙන්වා දෙනවා

    මේ අතර, දේශීය නිෂ්පාදකයින්ගේ ඖෂධ මිලදී ගැනීම් ද වැඩිකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

  • පසුගිය කාලයේ හමුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ තවමත් බ්ලැක් ලිස්ට් කර නැහැ!

    පසුගිය කාලයේ හමුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ තවමත් බ්ලැක් ලිස්ට් කර නැහැ!

    ප්‍රමිතියෙන් තොර ආනයනික ඖෂධවලට පසුගිය වසරේ රට පුරා විවිධ රෝහල්වල රෝගීන් 124ක් පමණ ගොදුරු වී තිබියදීත්, මෙතෙක් කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කර නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෙළිකරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනාවරණ කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, එවැනි තත්ත්ව පරීක්ෂාවන් අසාර්ථක වීමේ වාර්ෂික සාමාන්‍යය වසරකට 70ක් පමණ වූ නමුත් පසුගිය වසරේ පමණක් එය දෙගුණ වී තිබේ.

    වෛද්‍ය විජේවික්‍රම සඳහන් කරන ආකාරයට සෑම පියවරකදීම ඖෂධ පරීක්‍ෂා කිරීම සිදුකළ නොහැකිව තිබුණ ද, මේ වසරේ අහඹු පරීක්‍ෂාව තුළින් ගුණාත්මක අසාර්ථකත්වය අවම කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

    කෙසේවෙතත්, මේ වන විට කිසිදු නිෂ්පාදකයකු අසාදු ලේඛනගත කිරීමකට මුහුණ දී නොමැති බව ඔහු පැහැදිලි කළේය.

    ඒ සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය තත්ත්ව ප්‍රමිතීන් අධීක්‍ෂණය සහ ශක්තිමත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාපටිපාටියක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

    “2023 වසරේ සිදු වූ තත්ත්ව පරීක්ෂා අසාර්ථක වීම් 124න් බොහෝමයක් හඳුනාගනු ලැබුවේ ඖෂධය රෝගීන් වෙත ගිය පසුවයි. සෑම පියවරකදීම අපට ඖෂධ පරීක්ෂා කළ නොහැකියි. කිසිම රටක් එහෙම කරන්නේ නැහැ, එක්සත් ජනපදය වැනි රටකට පවා එය දුෂ්කරයි. කෙසේවෙතත් මේ වසරේ අහඹු පරීක්‍ෂාව තුළින් තත්ත්ව අසාර්ථක ප්‍රමාණය අවම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය.

    ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පෙන්වාදෙයි.

    “පසුගිය වසර පුරා අනුගමනය නොකළ සම්මත යාන්ත්‍රණයන් අනුගමනය කරමින් සෑම ඖෂධයක්ම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අපි මේ වන විට පියවර ගනිමින් සිටිනවා,” යැයි ඔහු පැවසීය.

    තවද, දැනටමත් සංසරණයේ පවතින ඖෂධවල ඇතිවිය හැකි ගැටලු හඳුනාගැනීම සඳහා ක්‍රියාකාරී පියවරක් ලෙස අහඹු පශ්චාත් නිරීක්ෂණවල වැදගත්කම ඔහු අවධාරණය කළේය.

    කෙසේවෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ විශාල කාර්ය මණ්ඩල ගැටලුවක් ඇති බවත්, මෙම නිරීක්ෂණ උත්සාහයන්ට එය බාධාවක් විය හැකි බවත් ඔහු පිළිගත්තේය.

    අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ශ්‍රී ලංකාවේ වත්මන් ඖෂධ පරීක්ෂණ ක්‍රමවේදය විවේචනය කරමින්, ආනයනික ඖෂධ සඳහා අහඹු පරීක්ෂණ හෝ නිරීක්ෂණ ක්‍රියාවලියක් නොමැති බව පෙන්වා දුන්නේය.

    කුමුදේශ් විසින් විස්තීර්ණ ඖෂධ පරීක්‍ෂණය, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී පරීක්‍ෂා කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර කාණ්ඩ පරීක්‍ෂණය සහ රෝහල් තුළ බෙදාහැරීමෙන් පසු අහඹු නියැදි පරීක්‍ෂණය සඳහා තුන් පියවර ප්‍රවේශයක් ගෙනහැර දැක්වීය.

    කුමුදේශ්ගේ විවේචනය, ඖෂධ ආනයනය පාලනය කරන විශේෂඥ කමිටුවක් සමඟින් මූලික වශයෙන් අවසාන අදියරේදී පරීක්ෂණ කිරීමේ වත්මන් ක්‍රමවේදයක අවශ්‍යතාව පෙන්වාදෙයි.

  • ඉමියුනොග්ලොබියුලීන් වංචාව – මිලියන 144කට මොකද වුණේ?

    ඉමියුනොග්ලොබියුලීන් වංචාව – මිලියන 144කට මොකද වුණේ?

    ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමට අදාලව, එම ඖෂධය මෙරටට ගෙන් වූ බව කියන සමාගමට ලැබුණු රුපියල් මිලියන 144.4 ක මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව එම වාර්තාව එළඹෙන ජනවාරි 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

    ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ පළමු සැකකරු වන දේශීය සමාගමේ හිමිකරුගේ බැංකු ගිනුමට රුපියල් මිලියන 144.4 ක මුදලක් තැන්පත් වී ඇති අතර, එම මුදල, එසැණින් යළි ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

    එම මුදල ආපසු ගනු ලැබූවේ කවුද ? එසේ ලබා ගත් මුදල්වලට සිදු වූවේ කුමක්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන අංශය” විසින් විමර්ශනය සිදුකෙරෙයි.

    මෙම මුදල් වලින් කොටසක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ලට ලැබී ඇති බවට පාර්ශ්ව රැසක් මේ වන විට චෝදනා එල්ල අකර තිබේ.

    මෙම නඩුවේ පළමු සැකකරු වන අදාල සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නේ නම් එම මුදල්වලින් කොටසක් ගියේ කාටදැයි හෙළි කිරීමට ඔහු සූදානම් බවයි.

  • ඖෂධ ජාවාරමේ මහ මොළකරු ගැන කියන්න කෙහෙළිය CID එකට ගෙදරට එන්න කියලා

    ඖෂධ ජාවාරමේ මහ මොළකරු ගැන කියන්න කෙහෙළිය CID එකට ගෙදරට එන්න කියලා

    සාමාන්‍ය පුරවැසියෙකු තමාගේ සමාජ මාධ්‍ය ගිණුමේ ආණ්ඩුවට විරුද්ධ යමක් පළ කළද CID යට කැඳවන අවස්ථා නිරතර වාර්තා වේ. නමුත් කෙහෙළිය වැනි ඖෂධ ජාවාරම ගැන චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැසිරෙන්නේ වෙනස්ම ලෙසකට බව පෙනේ. එළෙස නිවසට යන්නේද කැඳවූවොත් පමණි.

    ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලීම අනුව අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ලගෙන් නිවසටම ගොස් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.

    පෙරවරු 10.30 පමණ සිට පැය දෙකක පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

    ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට කෙහෙළිය රඹුක්වැල්ල ඉල්ලීමක් කර තිබුණි.

    මේ වන විට අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර තිබුණු ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත එම ඖෂධ ආනයනයට අදාළ ගණුදෙනුව සිදුකර ඇති බවයි.

    කෙසේවෙතත් රඹුක්වැල්ල අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් එම පරීක්ෂණවලට සහයක් ලෙස මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ,

    මේ සම්බන්ධයෙන් නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසුවේ එම ඖෂධය ගෙන්වීමට අදාළ ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කර ඇත්තේද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් වන අතර අමාත්‍යාංශයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අමාත්‍යවරයාගේ සම්බන්ධයක් නොමැති බවයි.

    ඒ අනුව අදාළ ගණුදෙනුව සිදුකර ඇත්තේ අමාත්‍යාංශයේ නිලධාරීන් බව නීතිඥවරාය ප්‍රකාශ කරන ලදී.

    මේ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරය සතු ලිඛිත සාක්ෂි සියල්ල ද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවද ඔහු සඳහන් කර ඇත.

    කෙහෙළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ලබාදුන් ලියවිලිවල ලියාපදිංචි ඖෂධයක් ගෙන්වීමේදී අවශ්‍ය වන ඇමතිවරයාගේ විශේෂ අවසරය ලබාදීමේ ලිපිය ගැන කිසිම සඳහනක් නැත.

  • බාල එන්නත් සිද්ධියෙන් කෙහෙළිය ගැලවෙනු ලකුණු

    බාල එන්නත් සිද්ධියෙන් කෙහෙළිය ගැලවෙනු ලකුණු

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් බිල්ලට දී හිටපු සෞඛ්‍ය ඇමති ඇඟ බේරා ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.

    එසේම මෙම ක්‍රියාවලිය සිදුවූ ආකාරය දෙස බැලීමේදී ද පෙනී යන්නේ ඇමතිවරයා තමන්ට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි පරිදි මෙම ක්‍රියාවලියට මැදිහත් වී ඇති බවයි.

    මෙම සිද්ධියට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පවසා තිබේ.

    ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ පොලිස් ඇමති ටිරාන් විසින් මෙම සිද්ධියට අදාළ සාක්ෂි ඇත්නම් ඇමතිවරයාද අත්අඩංගුවට ගන්නා බවට කරන ලද ප්‍රකාශයෙන් පසුව වීම විශේෂත්වයකි.

    සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.

    වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කර ඇත.

    එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් කෙහෙළිය පවසා ඇත.

    ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත් ඔහු පවසා ඇත.

    හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිඳු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් සඳන් කර ඇත.

    ඖෂධය නිසා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් BBC සිංහල සේවය සමඟ දැක්වූ අදහස් පහත දැක්වේ.

    “මේ කතාවේ ආරම්හය සිද්ධ වෙන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගන්නයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.

    “මේ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරන දවසෙම සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගයක් එක්ක ඒ ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවන්න සැප්තැම්බර් 27 වැනිදා වගේ පළ කරනවා. නමුත් බලාපොරොත්තු වුණු විදිහට කැබිනට් මණ්ඩලයේ මේක එදා සම්මත වෙන්නේ නෑ, මොකද සාකච්ජාවට ගත්තේ නැති නිසා.

    “මට මතක හැටියට ඔක්තෝම්බර් තුන්වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඒ වගේම, සැප්තැම්බර් 27 වැනිදා පබ්ලිෂ් කරපු ටෙන්ඩර් එක ඔක්තෝම්බර් තුන්වෙනිදා ක්ලෝස් කරලා දවස් කිහිපයක් ඇතුළත ඒවා එවැලියුවෙට් කරලා අදාළ සමාගම තෝරනවා.

    “සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගන්න එක ගැන අනිත් කරුණු එක්ක අධිකරණයේ දී තර්කානුකූලව කරුණු ඉදිරිපත් වුණේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන බෙහෙත පසුකාලීනව හොයා ගන්නවා ඒක ව්‍යාජව සාදපු එකක් කියලා,” ඔහු පැවසීය.

    “මේ ඖෂධය ව්‍යාජ යි කියලා තීරණය වෙන්නේ, මේ ගනුදෙනුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රශ්න කළාම, ඒවා පුවත්පත්වල වාර්තා වුණා. මේ ඖෂධය ලංකාවේ දේශීය නියෝජිතයාට සපයපු ඉන්දියානු සමාගම කලබල වෙලා, ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වනවා.

    “ඒ ප්‍රතිචාර දක්වද්දී කියනවා තමන්ගේ සමාගම මේ එන්නත සාදන්නේ නැහැ කියලා. ලංකාවේ මෙහෙම සමාගමකට ලබා දුන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා. එතකොට ඉන්දියානු සමාගම ලබාදුන් බව කියන තත්ත්ව පරීක්ෂා සහතික ගැන ගැටලුවක් ඇති වෙනවා.

    “ඒ ගැන සාකච්ජා කරද්දී හිටි හැටියේ ඖෂධ නියාමන අධිකාරිය එළියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා, ඒ ඖෂධ මිල දී ගැනීමේ දී ඉන්දියාවෙන් ලංකාවට ඒ එන්නත් ලියාපදිංචියෙන් තොරව ගෙන්න අවසර දුන්න හදිසි මිල දී ගැනීමේ දී, ‍‍රේගුවෙන් තත්ත්ව පරික්ෂා කිරීමෙන් තොරව නිදහස් කරන්න සහතිකය ඔවුන් ලබාදුන් එකක් නෙමෙයි ඒක ව්‍යාජ එකක් කියලා.

    “පස්සේ කරුණු අනාවරණය වෙනවා මේ වගේ ඖෂධයක් රේගුව හරහා ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් නැහැ කියලා,” ඔහු කියා සිටියේ ය.

    ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය නොකළ බවට හෙළිවූව ද දේශීය නියෝජිතයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත් 3,000කට අධික ප්‍රමාණයක් ලබාදී තිබූ බව රවී කුමුදේශ් පැවසුවේ ය.

    “මේ එන්නත් ඇණවුම 22,500ක්. නමුත් මේ දේශීය නියෝජිතයා අවස්ථා කිහිපයක දී එන්නත් 2500, 300, 150 බැගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. සමස්ත එකතුව ගත්තම එන්නත් 3000-4000ත් අතර ප්‍රමාණයක්.

    ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වෘත්තීය සමිති විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

    “මේ එන්නත් 22,500 අරගත්ත නම් ඒකේ සම්පුර්ණ ගණුදෙනුව රුපියල් ලක්ෂ 9,500ක් පමණ වෙනවා. ඊට අමතරව මේ සමාගම විසින් පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නත් 2,000ක් ලබාදීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේ ලබාදී තිබෙන එන්නත් දෙවර්ගයේ වටිනාකම ලක්ෂ 1400ක් පමණ වෙනවා,” ඔහු පැවසුවේ ය.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වන බව පැවසුව ද එලෙස ඖෂධ ගෙන්වීමක් සිදුවී නොමැති පසුබිමක, එම මුදල් දේශීය මුදල්වලින් ගෙවන ලෙසට නියෝගයක් ද ලබාදී ඇති බවට කරුණු වාර්තා හෙළිවූ බව ඔහු මෙහිදී පැවසුවේ ය.

    “ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ ඖෂධ ගේනවා කිව්වට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඉන්දියාවේ නිෂ්පාදනය නොකළ කිසිම දෙයකට ඒ ණය පහසුකම් යටතේ මුදල් ගෙවන්නේ නැහැ.

    “නමුත් පසුව තේරෙනවා ලංකාවේ මුදලින් මේ සැපයුම් සඳහා මුදල් ගෙවන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයා හරහා නියෝගයක් ඇවිත් තිබෙනවා කියලා.”

    මෙම ප්‍රශ්නගත ඖෂධ තොගය ලබාදී මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදුකළ දෙයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද මෙහිදී රවී කුමුදේශ් සඳහන් කළේ ය.

    “ඔය කාරණා එක්ක ගත්තම ඖෂධය ගෙන්වීමේ දී රේගුවෙන් නිදහස් කරන්න ලබාදුන් WRO සහතිකය නැහැ. මේ සමාගම ඉන්දියාවෙන් ගෙන්වලා නැහැ. ඉන්දියාවේ ණය පහසුකම් යටතේ ගෙවීම් කරලා නැති නිසා ලංකාවේ මුදලින් සල්ලි ගෙවලා තියෙනවා. මේ ඖෂධ පරීක්ෂා කරලා භාරගන්න ඕන අය ඒක කරලා නැහැ. තාක්ෂණික වාර්තාවක් නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රමාණික දැනුම තියෙන විශේෂඥයෙක් පත් කරලා නැහැ.

    “දැන් ඔය ඔක්කොමත් එක්ක, යම් කිසි කණ්ඩායමක් සැලසුම්සහගතව මේ ගනුදෙනුව කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ.”

    “මේ ලක්ෂ 1,400 වංචනිකව ලබාගත් නිසා අදාළ ඖෂධ සැපයු ආයතනයේ හිමිකරු පළමු සැකකරු විදිහට අත්අඩංගුවට ගන්නවා. පස්සේ මේ මුදල් ගෙවන්න අනුමත කරපු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා, ඔහුට පල්ලෙහා සිටින මුදල් ගෙවූ ගණකාධිවරයෙක්, එහි සේවය කරන තවත් සහකාර අධ්‍යක්ෂවරයෙක්, ගබඩා පාලකවරයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනවා.

    “මේ පිරිස අත්අඩංගුවට ගන්නේ ඖෂධ සැපයු අදාළ සමාගමට රුපියල් ලක්ෂ 1,400ක් ලබා ගන්න සාමූහිකව උදව් කළා කියන නිමිත්ත යටතේ.”

    “මේ විමර්ශනයේ දී, අත්අඩංගුවට ගත් පිරිස හෙළිකරනවා මේ සියල්ල තමන් ක්‍රියා කළේ එවක සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබාදුන් නියෝග යටතේ කියලා,” ඔහු කියා සිටියේ ය.

  • බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත්වල ඖෂධයක් ලෙස හඳුනාගත හැකි මට්ටමට සංඝටක අඩංගු නැහැ

    බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත්වල ඖෂධයක් ලෙස හඳුනාගත හැකි මට්ටමට සංඝටක අඩංගු නැහැ

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන තිබෙන තත්ත්වයෙන් බාල ඉමියුනොග්ලොබියුලින් තොගයේ ඖෂධයක් ලෙස හඳුනා ගැනීමට තරම් අවශ්‍ය සංඝටක නොමැති බව රසායනාගාර වාර්තා අනාවරණය කර ඇතැයි Sunday Times වාර්තා කර තිබේ.

    රජයේ රෝහල්වල රෝගීන්ට ලබාදුන් මෙම ඖෂධවල බැක්ටීරියා අඩංගුව ඇති බවත් එම වාර්තා වේ දැක්වේ.

    රසායනාගාර වාර්තා උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සීදූව පදනම් කරගත් සැපයුම්කරු Isolez Biotech Pharma AG වෙත කිසිදු ඖෂධිය ගුණයක් නොමැති මෙම එන්නත් කුප්පි 900 ක් සඳහා ආරම්භයේදී රු 36,381,875.40 ක් ගෙවා ඇති බවයි.

    සම්පූර්ණ ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත්තුව කුප්පි 22,500 ක් සඳහා වන අතර එහි මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 2,925,000 (රුපියල් මිලියන 960 කට වඩා වැඩි) වේ. මෙය එන්නත් කළ පසු රෝහල් කිහිපයක රෝගීන් විවිධ ආසාදනවලට ලක්වීම නිසා එම කොන්ත්‍රාත්තුව සම්පූර්ණ වීම නැවතුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Isolez නම් මෙම ආයතනය වෙත වෙන වෙනම ඖෂධ හයක් සඳහා කොන්ත්‍රාත්තු ලබා දුන් බවද දැනගන්නට ඇත. එම ඖෂධ හයෙන් හතරක් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඒවා වේ.

    “මෙයින් අදහස් කරන්නේ මෙම ඖෂධ ලබා ගැනීමෙන් පසු රෝගියෙකු මිය ගියත්, තත්ත්වයෙන් බාල ඖෂධයට නොව පිළිකාවට දොස් පැවරිය හැකි වීමයි ” නම හෙළි කිරීමට අකමැති ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පවසා තිබේ.

    මෙම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සාක්ෂි වාර්තා කරන මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් කාණ්ඩ තුනක කුප්පි වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) පරීක්‍ෂා කිරීම සඳහා යවා ඇත. ජාතික රුධිර පාරවිලයන සේවය (NBTS) සහ ජාතික ඖෂධ තත්ත්ව සහතික රසායනාගාරය (NMQAL). එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහාය ද මේ සඳහා ඉල්ලා තිබේ.

    අලුතින් පත් වූ NMRA වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි (CEO) දීපිකා බුලත්සිංහල අධිකරණයට වාර්තා කර ඇත්තේ මෙම ඖෂධය පරික්ෂා කිරීමට නොහැකි බවට ජාතික රුධිර පාරවිලයන සේවය පවසා ඇති බවයි . කෙසේ වෙතත් වෛද්‍ය පර්යේෂණ ආයතන වාර්තාවලට අනුව එන්නත් කුප්පිවල “හඳුනාගත හැකි මට්ටමට වඩා අඩු වෙන් ඖෂධ සංඝටක අඩංගු බව සොයා ගන්නා ලදී.

    නිෂ්පාදකයාගේ පිරිවිතරයන්ට අනුව ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 5000 ක immunoglobulin මට්ටම් අවශ්‍ය වේ. නමුත් පරීක්ෂණවලින් Isolez ඖෂධයේ එවැනි මට්ටමක් නොමැති බව අනාවරණය වී ඇත.

    ව්‍යාජ මානව ඉමියුනොග්ලොබියුලින් ඇසුරුම්වල නම තිබූ ඉන්දීය සමාගම සහ එම භාණ්ඩය ඔවුන්ගේ නොවන බව යළිත් තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ විද්‍යා නිලධාරිනි බුලත්සිංහල අධිකරණයට වාර්තා කර ඇත.

     

  • රෝහල් 40ක් වැසී ගිහින්, තවත් 100ක් වැසීයාමට ආසන්න තත්ත්වයේ

    රෝහල් 40ක් වැසී ගිහින්, තවත් 100ක් වැසීයාමට ආසන්න තත්ත්වයේ

    මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්වයේ තිබෙනබව වාර්තා වේ .

    ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය ඇමතිවරයා අද පැවති සාකච්ජාවකදී මේ බව අනාවරණය වී තිබේ.

    වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පලාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල බව අනාවරණය කර ගෙන ඇත.

    වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.