Breaking News

ජේ.ආර්. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඊශ්‍රායලයෙන් අරමුදල් ඉල්ලූ හැටි ගැන අනාවරණයක්

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද ලේඛන මගින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987 වසරේ සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් (Mossad) බුද්ධි අංශයෙන් ඩොලර් මිලියනයක මුදලක් ඉල්ලා ඇති බවයි.

1987 අගෝස්තු 6 සහ 14 යන දිනවලින් යුත් විදුලි පණිවුඩවලට අනුව, මොසාඩ් නියෝජිතයෙකු සමඟ පැවැති හමුවකදී මෙම ඉල්ලීම සිදු කර ඇත. ඒ වන විට කොළඹ පිහිටි ඊශ්‍රායල සුභසාධන අංශය (Israeli Interests Section) වසා දමන ලෙස අරාබි රටවලින් සහ දේශීය විපක්ෂයෙන් රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබුණි.

1980 දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පැවති සබඳතා පිළිබඳ විස්තර ඇතුළත්, ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරයෙන් අර්ධ වශයෙන් මුදා හරින ලද ලිපිගොනු පදනම් කරගෙන ‘The Wire’ වෙබ් අඩවිය මෙම අනාවරණය සිදු කර ඇත.

එසේම එම කාල සිමාවේ උතුරේ පැවති සන්නද්ධ කණ්ඩායම් මර්දනයට සහ සිවිල් යුද්ධයට ඊශ්‍රායලයේ සහය ලබාගෙන ඇති බව හෙළිව තිබේ. දෙමළ සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායල සහාය ලබා ගැනීම සඳහා 1984 දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය තුළ ඊශ්‍රායල සුභසාධන අංශයක් විවෘත කරමින් සබඳතා යළි ස්ථාපිත කර තිබේ. 1980 දශකය අගභාගය වන විට ඊශ්‍රායලය ඩොලර් මිලියන 30ක පමණ වටිනාකමකින් යුත් යුද උපකරණ ශ්‍රී ලංකාවට ලබා දී තිබුණි.

ඇතැම් විට කෘෂිකාර්මික උපදේශකයින් ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායල උපදේශකයින් ශ්‍රී ලංකා හමුදාවන්ට සහ ජනාධිපති ආරක්ෂක අංශයට පුහුණුව ලබා දී ඇත. විශේෂයෙන්ම උතුරේ හමුදා මෙහෙයුම් ශක්තිමත් කිරීමට මෙම පුහුණුව ඉවහල් වූ බව ලේඛනවල සඳහන් වේ. මානව හිමිකම් චෝදනා එල්ල වී තිබූ විශේෂ කාර්ය බලකායට ද ඊශ්‍රායලයේ සහය හිමිවී තිබේ.

leave a reply