Breaking News

අරුල් ෆයාස්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් බොරු මාධ්‍ය නිවේදනයක්

යාපනයේ, කයිට්ස්හි අල්ලෙයිපිඩි මංසන්දියේදී වෙඩිතබා මරා දමන ලද්දේ 17 හැවිරිදි ළමයකු වග වසං කිරීමේ වෑයමක පොලීසිය නිරතව සිටින්නේදැයි සැක මතුව තිබේ.

මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වෙතත් පොලිසිය පවසන්නේ ඔහු 19 හැවිරිදි වැඩිහිටියකු බවයි.

අයුබ්රාජ් අරුල් ෆයාස්ගේ පවුලේ ඥාතීන් දරුවාගේ දේහය සුසාන භුමිය කරා ගෙන යන අවමංගල පෙරහැර විරෝධතාවකට පෙරලා ගනිමින් බල කර සිටියේ දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිසියේ නිලධාරීන් වහා අත් අඩංගුවට ගෙන යුක්තිය ඉටු කරන ලෙසයි.

පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමකින් වෑන් රථයේ ගමන් ගත් අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

“2026.02.10 වන දින අළුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේ දී සැකකටයුතු වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය විසින් සංඥා කළ අවස්ථාවේදී එම වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෑන් රථයට සිදු කළ වෙඩ් තැබීමෙන් වෑන් රථයේ ගමන් ගත් වයස අවුරුදු 19 ක තරුණයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය යන ලදි.”

මිය ගිය සැකකරු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇති බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයයේ සදහන්ව තිබුනි. මියගිය දරුවාගේ නමවත් පොලිස් නිවේදනයේ නැත.

එහෙත් වෙඩි පහරින් ඝාතනය වු දරුවාගේ සිරුරේ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබු බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ නොතිබීමෙන්, ‘මියගිය සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී ඔහු අයිස් සහ හෙරොයින් භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇත,” යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පෙබරවාරි 11 වැනිදා කරන ලද නිවේදනය අභියෝගයට ලක්ව තිබේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුද්‍රපසුපති මයෝරදන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයාස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.

ඔහු සමග ඒ මොහොතේ වෑන් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් විසි පන් දහස බැගින් වන ඇප මත මුදා හැරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය 2026 පෙබරවාරි 12 වැනි බදාදා නියෝග කර තිබුනි.

leave a reply