Breaking News

ආණ්ඩුව නිහඬව සිටිය දී සමාගම් 17 ක් නීති විරෝධී ව අක්කර 1000 ක හම්බන්තොට අලි නිජබිම් වනසයි

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ එළිපෙහෙළි කරමින් නීති විරෝධී ව සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම ආරම්භ කර තිබේ. සමාගම් 5 ක් එක් ව මෙගාවොට් 50 ක ව්‍යාපෘතියක් හා සමාගම් 12 ක් එක් ව මෙගාවොට් 150 ක ව්‍යාපෘතියක් වශයෙන් මෙම සූර්ය බලශක්ති බලාගාර පද්ධතිය ඉදි කිරීම සිදු කරයි. ඒ සඳහා ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් වනාන්තර එළි කිරීම, වනාන්තර ගිනි තැබීම හා එල්ලෙන විදුලි වැටවල් වලින් අලින් ජීවත් වන වනාන්තර ආවරණය කිරීම මේ වන විට අවසන් කර ඇත.

මෙගාවොට් 50 ක ධාරිතාවෙන් යුතු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd) හා ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd) විසිනි. මෙම සමාගම් 5 ට අයත් සූර්ය බලාගාර ඉදි කරන වනාන්තර භූමිය නීති විරෝධී ව එළිපෙහෙළි කිරීමේ කටයුතු භාරව සිටින්නේ අම්බලන්තොට පදිංචි නදුන් ක්‍රිශාන් අන්දරවීර යන අයයි. ඔහු ගේ මෙහෙයවීම යටතේ මේ වන විට අලින් ගේ වාසස්ථාන ලෙස පැවති වනාන්තර ඩෝසර් කිරීම හා ගිනි තැබීම සිදු කර භූමිය සකස් කිරීම අවසන් කර තිබේ.

සූර්ය බලාගාර සඳහා අල්ලස් දුන් සමාගම්

මෙම සමාගම් පහ විසින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ කිලෝමීටර 12 ක පමණ කොටසක් ආවරණය කිරීමට එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 14 ක් ලබා දී නීති විරෝධී ව වනාන්තර එළි කර සූර්ය බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට අවශ්‍ය සහය රාජ්‍ය ආයතන වලින් ලබා ගෙන ඇත. මේ සියල්ල මෙම සමාගම් පහ වෙනුවෙන් සම්බන්ධීකරණය කර ඇත්තේ හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහට අයත් දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ප්‍රවීන් පීරිස් විසිනි. ඔහු සූර්ය බලාගාර සම්බන්ධ සිනෝ ලංකා පවර් ජෙන් පුද්ගලික සමාගමේ (Sino Lanka Power Gen Pvt Ltd) අධ්‍යක්ෂවරයකු වන අතර මෙම සමාගමේ අනෙක් අධ්‍යක්ෂවරු වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යි.

මෙම සමාගම් සියල්ල හා මෙම ප්‍රකට පුද්ගලයන් එක් ව නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පරිභාහිර ව ව්‍යාපෘති අනුමැතිය හා මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු වශයෙන් ලබා ගෙන අලින් ගේ වාසස්ථාන විනාශ කර මෙම සූර්ය බලාගාර ඉදි කිරීම සිදු කරයි.

නීති විරෝධී සූර්ය බලශක්ති සංග්‍රාමයේ නිරත සමාගම්

ඩොලර් මිලියන 150 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සඳහන් කරමින් මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සමාගම් 12 ක් විසිනි. එනම් ජෙන්කෝ පුද්ගලික සමාගම (Geneco Pvt Ltd), ඉලෙක්ට්‍රෝලයිට් පුද්ගලික සමාගම (Electrolyte Pvt Ltd), ෆෝටෝන් වැලි පුද්ගලික සමාගම (Photon Valley Pvt Ltd), සෝලාජෙන් පුද්ගලික සමාගම (Solargen Pvt Ltd), ස්ටැලියන් එනර්ජි සෝලා පුද්ගලික සමාගම (Stallion Energy Solar Pvt Ltd), එළිෆන්ට් පවර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Elephant Power International Pvt Ltd), මදුනාගල ඇග්‍රිකෝ පුද්ගලික සමාගම (Madunagala Agrico Pvt Ltd), ලෙෂර් ක්‍රියේෂන් පුද්ගලික සමාගම (Leisure Creation Pvt Ltd), ටැල්නා සෝලා පුද්ගලික සමාගම (Talna Solar Pvt Ltd), සර්කල් ලයින් පුද්ගලික සමාගම (Circle Line Pvt Ltd) හා ග්‍රින්ලයින් සෝලා පුද්ගලික සමාගම (Greenline Solar Pvt Ltd) ය.

මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 500 ක වනාන්තර ඉඩම් වටා කිසිදු අනුමැතියකින් තොර ව එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීම, ඩෝසර් යන්ත්‍ර යොදා වනාන්තර එළි කිරීම, වනාන්තර ගිනි තැබීම මෙන් ම රාත්‍රි කාලයේ වනාන්තර එළි කිරීම හා ගිනි තැබීම ඇතුළු සියලු කාර්යයන් ක්‍රියාත්මක කිරීම මදුනාගල ගොවිපළේ (Madunagala Farm) හිමිකරු වන එරන්දු නිරෝෂණ ඉහළවන්නි විසින් සිදු කරයි. මෙම සමාගම් 12 ට අයත් ව්‍යාපෘති භූමිය එළි කිරීමට අමතර ව මැර කණ්ඩායම් යොදවා නීති විරෝධීව එළි කරන භූමිය පරික්ෂා කිරීමට පැමිණෙන පුද්ගලයන්ට බලපෑම් කර බිය වැද්දවීම, බාහිර කණ්ඩායම්වලට ව්‍යාපෘති භූමියට පිවිසිය හැකි පොදු මාර්ග අවහිර කිරීම මෙන් ම ප්‍රදේශයේ විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලා හමු වී සාකච්ඡා කර මෙම ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වන ප්‍රතිවිරෝධතා වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ද මොහු විසින් සිදු කරමින් පවතී.

එරන්දු නිරෝෂණ ව මේ සඳහා පත් කිරීම සිදු කර ඇත්තේ මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම් සමූහයේ (Hambanthota 150 MW Solar PV Project – Group of Companies) ප්‍රධානියා ලෙස කටයුතු කරන චරණ කුමාරණතුංග විසිනි. චරණ කුමාරණතුංග 2021 වසරේ දී ආරම්භ කරන ලද ව්‍යාපාර පිළිබඳ උපායමාර්ගික උපදේශනය හා ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ විසඳුම් ලබා දීමට කටයුතු කරන රේන්වෙන්චර් සමාගමේ (Renventure Pvt Ltd) කළමනාකරණ අධ්‍යක්ෂවරයා ය. එම සමාගමේ සභාපති ලෙස කටයුතු කරන්නේ බන්දුල විතානාරච්චි ය. සමාගම් 12 ක් මගින් ක්‍රියාත්මක කරන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතිය සදර්න් නෙක්සස් සමාගම (Southern Nexus Pvt Ltd) යටතේ සදර්න් නෙක්සස් සූර්ය බලාගාර ව්‍යාපෘතිය (Southern Nexus Solar Project) ලෙස ක්‍රියාත්මක කරන්නේ ද  බන්දුල විතානාරච්චි ගේ ප්‍රධානත්වයෙනි.

ඔහු විසින් 2024 වසරේ දී ඩොලර් මිලියන 82 කක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙගාවොට් 110 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය Project Apollo නමින් සදර්න් නෙක්සස් සමාගම හා එච්.ඩී. සිලෝන් එනර්ජි පුද්ගලික සමාගම (HD Ceylon Energy Pvt Ltd) සමඟ ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතන අතර පැවති සම්බන්ධීකරණයේ දුර්වලතා හා මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු දීම අත්හිටුවීමට එරෙහි ව අභියාචනාධිකරණයේ CA Writ No 133-150 දරන නඩු පැවරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද රේන්වෙන්චර් සමාගමේ සභාපති හා සදර්න් නෙක්සස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බන්දුල විතානාරච්චි සහ රේන්වෙන්චර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හා මෙම සෝලා සමාගම් සමූහයේ ප්‍රධානිය ලෙස කටයුතු කරන චරණ කුමාරණතුංග විසිනි.

අධිකරණ නියෝග අවභාවිත කිරීම

එම නඩුවලට අදාළ තීන්දුව 2025 ජුනි 12 වන දින ලබා දෙමින් අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ මෙම සමාගම්වලට ප්‍රමාදයකින් තොර ව ඉඩම් නිදහස් කිරීමට මහවැලි අධිකාරිය කටයුතු කළ යුතු බව ය. මෙම නඩු තීන්දුව පදනම් කර ගෙන මෙම සමාගම් 12 මේ වන විට අක්කර 500 ක වනාන්තර ප්‍රදේශයක් එළි කරමින් තිබේ. මෙම සමාගම් සියල්ල ම සූර්ය බලාගාර ඉදි කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති සමාගම් වන අතර බන්දුල විතානාරච්චි විසින් අධිකරණය නොමඟ යවමින් කරුණු ඉදිරිපත් කර මහවැලි අධිකාරියෙන් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවන් ආවරණය කර මෙම නඩු තීන්දුව ලබා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම ව්‍යාපෘතියේ ස්වභාවය මත මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගැනීමෙන් පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි අතර ඉඩම් නිදහස් කිරීම සඳහා පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ සියලූ ම රාජ්‍ය ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කර ඉඩම් නිදහස් කළ හැකි බව අභියාචනාධිකරණය තීන්දුවේ සඳහන් නොවේ. එසේ නමුත් මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය ඉඩම් නිදහස් කිරීමට හා අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ අණ පනත් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

පරිසර හා පුරා වස්තු අණ පනත් උල්ලංඝනය කිරීම

මෙම සෝලා බලාගාරවල ස්වභාවය මත හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති නිර්දේශ මත තහවුරු වන්නේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගත යුතු බව ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථමයෙන් හෝ මෙගාවොට් 50 කට වඩා වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ක්‍රියාවලියට පරිබාහිර ව  නිවැරදි අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එම වරද සම්බන්ධයෙන් වරදකරුවකු කරනු ලැබූ පුද්ගලයකු ව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝගවලට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩම් හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප්‍රදේශ එළිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හෝ හෙක්ටයාර එකක් ඉක්මවන වනාන්තර භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය.

මෙම නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කර නීති විරෝධී ව අලි – ඇතුන් ගේ වාසස්ථාන වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි වනාන්තර අක්කර දහසක් පමණ එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි බහුල ව ගම් වැදීම හේතුවෙන් වලව වම් ඉවුර මහවැලි ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ගොවි ජනතාව පදිංචි කළ මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ සහ ගොන්නෝරුව, මීගහජදුර, තනමල්විල හා ගල්වැව යන ප්‍රදේශවල දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් අලි – ඇතුන් ඝාතනය කිරීම මෙන් ම අලින් ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් මිය යාම පමණක් නොව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාව ද වර්ධනය වී ඇත. මේ නිසා වගාබිම් අත්හැර දැමීමට ද සමහර ගොවීන් යොමු ව තිබේ. මෙය සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

මේ අතරතුර සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවේගම හා උස්ගල ප්‍රදේශයේ අක්කර 500 ක් හා අක්කර 600 ක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා උස්බිම් ගොවි ජනපදය සඳහා වෙන් කළ ඉඩම් මහවැලි අධිකාරියෙන් අලුතින් සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා ලබා දීමට මේ වන විට සූදානම් වන අතර එම ක්‍රියාවලිය නතර කිරීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ය.

සුනිත්‍ය බලශක්ති අපේක්ෂාවන් විනාශ කිරීම

සූර්ය බලශක්තිය නැතහොත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දේශගුණික විපර්යාස ඇති වීමට හේතු වන කාබන් ඩයොක්සයිට් වායුව අධික ව විමෝචනය වීම  පාලනය කිරීම ය. නමුත් හම්බන්තොට සූර්ය බලාගාර මගින් සිදු වන්නේ කාබන් ඩයොක්සයිට් වායුව අධික ව වැඩි වීම පාලනය කරන මෙම වායුව උරාගන්නා ප්‍රධාන ප්‍රභවය වන වනාන්තර විනාශ කිරීම හා වනාන්තර ගිනි තැබීමෙන් කාබන් ඩයොක්සයිට් වායුව විමෝචනය වැඩි කිරීම ය. එපමණක් නොව ශුෂ්ක කලාපයට අයත් ප්‍රදේශවල වනාන්තර විනාශ කර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් වැසි චක්‍රය බිඳ වැටීම මත දේශගුණික විපර්යාස වර්ධනය වී කෘෂි කර්මාන්තය හා ජන දිවිය බිඳ වැටීම ද සිදු වේ. එපමණක් නොව අලි – මිනිස් ගැටුම ද වර්ධනය කරයි.

මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන සූර්ය විදුලි බලාගාරවලින් රටට හා සමාජයට ප්‍රයෝජනයක් තිබේ ද යන්න ගැටළුවකි. මේ නිසා අප අවධාරණය කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල මැදිහත් වීම මත මෙම නීති විරෝධී ව්‍යාපෘති වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කර නිවැරදි ශක්‍යතා ඇඟයීම් මත සුදුසු ස්ථාන තෝරා ගෙන ක්‍රමවත් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියක් මත පදනම් ව අනුමැතිය ලබා ගෙන මෙම ව්‍යාපෘතිය නිවැරදි ස්ථානයක ස්ථාපිත කරන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ය.

මීට අමතර ව සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛත්වය ලබා දිය යුතු වන්නේ සෝලා උද්‍යාන ඉදි කිරීම වෙනුවට ගොඩනැගිලි මත, නිවාසවල වහලවල් මත ස්ථාපිත කරන සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය වර්ධනය කිරීමට හා එම විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධති ස්ථාපිත කර රටේ බලශක්ති ස්වෛරීභාවය තහවුරු කිරීමට ය. සමාගම් සඳහා සූර්ය බලාගාර ඉදි කිරීමට ඉඩම් ලබා දීමේ දී ඵලදායීතාව අවම ඉඩම් ලෙස පවතින අත්හැර දමා ඇති ගල්වලවල්, පස් කැනීම් කළ ස්ථාන වැනි ඵලදායීතාව අවම භූමි ලබා දීමට පියවර ගත යුතු ය. වනාන්තර, තෙත් බිම් හා වගා බිම් සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා ලබා දීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු වේ.

leave a reply