Breaking News

නව දේශපාලන සංස්කෘතිය බිහි කිරීමේ වගකීම යලි වතාවක් වම අත්හරීද?

පසුගියදා (08) පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා.මතුව ඇති දේශපාලන තත්ත්වයේ පෙරටුගාමී කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමට.එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියන්නේ ගෝඨාව පුටුව සමඟ ම පෙරළා දැමිය යුතු බවයි. ඉන් අදහස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැමැති ඒකාධිපති පාලන ක්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බවයි.ජේ ආර් ජයවර්ධන මේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළ දා සිට රටේ ජනතාව ඉල්ලා සිටියේ එයයි.

පවතින දේශපාලන අර්බුදය හමුවේ ප්‍රගතිශීලී වාමාංශික මෙන්ම රටට ආදරේ කරන මිනිසුන්ට එකතු වී කළ හැක්කේ සාමූහිකව අර්බුදය විසඳීමට පිළියම් සෙවීමයි. එහිදී කුමාර් ගුනරත්නම් පවසන්නේ පවතින වෙනස්කම් පසෙක දමා වර්තමාන මොහොත සුවිශේෂී කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළු කණ්ඩායම් සමග එක්ව රට ගොඩනගන වැඩපිළිවෙලකට තමන් සහය දැක්වීමට සූදානම් බවයි.ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඔහු විශේෂ ආරාධනයක් ද කරයි.

74 වසරක ධනවාදී දේශපාලන ආර්ථික රටාවේ තවත් ලේ වැකි පරිච්ඡේදයක් රාජපක්ෂලා එක්ව ලියමින් සිටී.මෙය වර්ධනය වී ඉදිරියට යන්නට නොදී නවතාලීම ප්‍රගතිශීලීන් ඇතුළු වාමාංශිකයන්ගේ ප්‍රමුඛ වගකීම බවට පත්වී තිබේ.රට දේශපාලන සමාජ සංස්කෘතික සශ්‍රීකත්වයට අරගෙන යෑමට අවශ්‍ය කරන පාර ජන අරගල ව්‍යාපාරය තුළින් සකසා තිබෙන අතර ඉන් ප්‍රයෝජන ගෙන රටටත් ජනතාවටත් යහපතක් වෙන ආකාරයෙන් එය ක්‍රියාත්මක කිරීමට වාම ප්‍රගතිශීලීන් කටයුතු කළ යුතුයි.

පක්ෂ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීම පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් සමස්ත රට වැසියාම ඒකරාශී කරගත් පෙරමුණක් යටතේ රට ජයග්‍රහණය කරන වැඩපිළිවෙලකට අවතීර්ණ කරවීම තනි තනි පුද්ගලයන් හැටියටත් වාම ප්‍රගතිශීලී සංවිධාන හැටියටත් සැමගේම වගකීමයි.

ලංකා දේශපාලන ඉතිහාසයේ මේ මතුව තිබෙන්නේ ස්වර්ණමය අවස්ථාවකි. ධනවාදී දේශපාලන කණ්ඩායම් වල වාසි බස් වලට රැවටුණු ජනතාව ගෙවුණු දශක 7ක කාලයක් කළේ ධනවාදී දේශපාලන පිල් වලින් එකක් මාරු කර නැවත නැවත ඒක වෙනුවෙන් විශ්වාසය තැබීමයි.නමුත් මේ සුවිශේෂී දේශපාලන වටපිටාව තුළ එය ප්‍රතික්ෂේප වී ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන් පාරට වී සිටීයි.මේ අවස්ථාව මඟ හැරුණොත් යළි කවදා මේ අවස්ථාව උදා වේ ද යන්න පිළිබඳව අපට දල අදහසක් හෝ ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

leave a reply