දකුණු කොරියාවේ ප්‍රාන්ත ප්‍රධානියෙකු උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ලංකාවේ කාන්තාවන් එරටට ආනයනය කළ යුතු බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රතිචාරය ලංකාව විදෙස් ගත ශ්‍රමිකයන් ගැන දක්වන සැලකිල්ල මෙන්ම ලංකාවේ විදේශ කටයුතු සම්බන්ධ දුර්වල බව පෙන්වන්නක් වේ.
දකුණු කොරියාවේ උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් එරටට “අවිවාහක කතුන්” ආනනයනය කළ යුතු බවට මතභේදාත්මක යෝජනාවක් කළ බව කියන ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා එම ධූරයෙන් ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පාලක කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් පෙබරවාරි 9 වන දා කිම් හී සූ නෙරපා හැරීමට තීන්දු කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.
කිම් නෙරපා හැරීමට කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ බව පක්ෂ ප්‍රකාශකයෙක් පවසා ඇත.
ඉකුත් සතියේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර එම කාන්තාවන් “ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තරුණයින්ට” විවාහ කර දිය හැකි බව ප්‍රකාශ කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ, දකුණු කොරියාව ලොව අඩු ම උපත් අනුපාතික ඇති රටක් ලෙස වාර්තා වන පසුබිමක ය. ඒ හේතුවෙන් රටේ මිලියන 50ක් වන ජනගහනය වසර 60ක් තුළ අඩකින් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
එහෙත් මෙම ප්‍රකාශය හරහා සංක්‍රමණික කාන්තාවන් ආනයනය කළ හැකි වස්තූන් ලෙස විග්‍රහ කිරීම සහ සංක්‍රමණික කාන්තාවන්, සුළුතර කණ්ඩායම් කෙරෙහි වටිනාකම් සහ ආකල්ප පිළිබඳ කාරණයක් ලෙස විවේචනයට ලක්විය.
කිම්ගේ ප්‍රකාශ හෙළා දැක ඇති සෝල්හි පිහිටි වියට්නාම තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර ඇතත් මේ වනතෙක් ලංකාව එවැනි දෙයක් සිදුකර නැත.
ඒ අනුව ආණ්ඩුකාරවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණු කොරියානු පළාත් බලධාරීන් වියට්නාමය වෙත කණගාටුව පළ කර සමාව අයැද ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති නමුත් එම වාර්තාවල ශ්‍රී ලංකාවෙන් සමාව අයැදීමක් හෝ කණාගාටුව ප්‍රකාශ කිරීමක් මේ දක්වා සඳහන් වී නොමැත.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කරන බව ය.
නමුත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පවසා ඇත්තේ , ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය එරට රජයේ නිල ස්ථාවරය නොවන බවයි.
එම ප්‍රකාශය කළ ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉවත් කිරීමෙන් එම ප්‍රකාශය එරට රජය බැහැර කර ඇති ආකාරය පෙනී යන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්තවලට අනුව 2024 වසර වන විට 7,114 දෙනෙකු දකුණු කොරියාවේ සේවයේ නිරත වන අතර ඉන් 127 දෙනෙක් කාන්තාවෝ වෙති.
මේ අතර, කිම්ගේ ප්‍රකාශයට එරෙහිව අඟහරුවාදා ජින්ඩෝ ප්‍රාන්ත කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවැත්වීමට කාන්තා සහ සංක්‍රමණික අයිතිවාසිකම් සඳහා වන ක්‍රියාකාරීන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර ඇත්තේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මේ මස අගදී දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිත අතර, එම රටේ ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි. මෙම සංචාරය අතරතුර ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද වාර්තා කර තිබේ. මතභේදාත්මක දකුණු කොරියානු දේශපාලනඥයා පදිංචි ජින්ඩෝ ප්‍රාන්තයට ද ශ්‍රී ලංකා දූත පිරිස සංචාරය කිරීමට නියමිතයි.
කාන්තා මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස ගැන ආණ්ඩුව පසුගිය සමයේ විශාල උනන්දුවක් දක්වන නමුත් එම උනන්දුව රටේ සමස්ත කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන්නේ ද යන සැකය මතුවේ.






