ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පහරදුන් බව පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.
2026 ජනවාරි 29 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකවරයා මෙම අදහස් පලකර තිබේ.
ධීවරයින්ගේ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවත් ඉන්දියාවේ ස්ථාවරය බව එකී ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියි.
ශ්‍රී ලාංකික ධීවරයින්ට මුහුදේදී පහර දුන් බවට චෝදනා එල්ල වන මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය මතු පළවේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ද පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී හා ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයින්ට සිදුකළ පහර දීමකින් ධීවරයන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතල තුවාල ලබා සිටි සිව් දෙනෙකු ගාල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කර තිබුණි.
මේ පහරදීම සිදු කරන අවස්ථාවේ ඉන්දීය නාවිකයන් සමග සිංහල භාෂාව මනාව හසුරුවන පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් ඉන්දීය නාවිකයින්ට භාෂා පරිවර්තනවලට සහය වූ බවත් ඔවුන් කළු පැහැති නාවික ඇදුමකින් සැරසි සිටි බවත් පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකික ධීවරයන්, සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයට දැනුම් දී ඇත.
‘ඉන්දීය නාවිකයන් යැයි බව පවසන’ පිරිස ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දෙමින් යාත්‍රා පරීක්ෂා කර ඇති අතර මත්ද්‍රව්‍ය තිබේදැයි යන්න ප්‍රශ්න කර තිබේ.






