Breaking News

වෛද්‍ය සාෆි නැවතත් රාජකාරි අරඹයි – බලය ලබාගැනීම වෙනුවෙන් රඟ දැක්වූ වඳ නාටකය මතක් කරගමු

වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නැවතත් කුරුණෑගල රෝහලේ රාජකාරි කටයුතු අරඹා තිබේ. ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ විනය පරීක්ෂණ අවසන් කිරීමටත්, වෛද්‍යවරයා යළිත් ඔහු සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කිරීමටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පසුගියදා තීරණය කර තිබුණි.

ඔහු නැවතත් රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ ආගමික අන්තවාදය නැවතත් ප්‍රශ්න අමතක කරන අවියක් ලෙස යොදාගනිමිනි සිටින වකවානුවක වීම විශේෂත්වයකි.

“මේ වෙලාවේ මට කරන්න තියෙන එක ම ඉල්ලීම තමයි, මේ වගේ දෙයක් ආපහු වෙන කාටවත් ම කරන්න එපා. ඒක අසාධාරණ දෙයක්. මම මගේ රාජකාරිය හරියට ම කරපු කෙනෙක්. ඒ නිස යි අවුරුදු ගණනක් විමර්ශන කරල ත් මගේ එක ම වරදක්වත් හොයා ගන්න බැරි වුණේ. මාව බොරු වරදක පටලවලා මගේ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ම විශාල පීඩනයක් එල්ල කරන්න ක්‍රියා කරපු කිසි ම කෙනෙක් එක්ක මගේ තරහක් නෑ. මම ඔවුන්ට සමාව දීලා ඉවර යි,” වෛද්‍ය සාෆි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් CIDය පරීක්ෂණයක් ආරම්භ කළේ 2019 මැයි 27 වන දා ය. 2019 ජූනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ, වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි නොමැති බව ය.නමුත් ඒ වනවිට මාධ්‍ය හරහා සහ බලය වෙනුවෙන් මාන බලමින් සිටි රාජපක්ෂ හිතවාදී කල්ලි නිර්මාණය කරන ලද දෘෂ්ඨිවාදය ඉතා ප්‍රබල විය. අනුව සාක්ෂි නොමැතිව වුවද වෛද්‍ය සාෆිට දඬුවම් ලැබීමට සිදුවිය.

සාෆිගේ සිදුවීම එක්තරා පැත්තකින් මාධ්‍ය , ජාතිවාදීන්, ආගමික අනතවාදීන් එකතුවී නිර්මාණය කළ හැකි පට්ටපල් බොරු පිළිබඳ කදිම නිදසුනකි. වසර 4ක කාලයක් සේවයෙන් නෙරපා දමා තිබූ එමෙන් ම සමාජයේ චෝදනාවන්ට ලක්ව සිටි වෛද්‍ය ෂාෆි මේ වන විට එම සියලු චෝදනාවලින් නිදහස් වී සිටියි. නමුත් එම බොරුව නිර්මාණය කරන්නට මෙන්ම පෝෂණය කරන්නට දායකවූ සියලු දෙනා යහතින් වැජඹෙමින් සිටියි. එම බොරු පවිච්චි කරමින් බලයට පැමිණි ගෝඨාභය ආණ්ඩුව ‘ජාතිය’ බේරා ගත් ආකාරය සියලු දෙනාට දැකගන්නට ලැබුණි.

නැවතත් ගිලිහුණු බලය නැවත ලබාගැනීම එවැනිම ආකාරයේ අන්තවාදී නාටකයක් රඟ දැක්වීමට උත්සාහ කෙරෙමින් පවතියි. සාෆිගේ සිදුවීම නැවත මතක් කරගැනීම වැදගත් වන්නේ මෙම අන්තවාදයන්වල සැබෑ අරමුණ අවබෝධ කරගැනීම පිණිසයි.

leave a reply