පාසල්වල වර්ණ ප්‍රදානෝත්සව (Colours Awarding Ceremony) පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය

2025 දෙසැම්බර් 30 දින මාතර, රාහුල විද්‍යාලය විසින් සංවිධානය කරන ලද වර්ණ ප්‍රදානෝත්සවයේදී දක්‍ෂතම ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මා විසින් ගොනු කරන ලද HRC/HO/15/26 දරණ පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනය කර එහි තීරණය 2026 අගෝස්තු 20 දින මා වෙත දන්වා ඇත. එම තීරණයේ පිටපත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ද යොමු කර ඇත (ඇමුණුම 1).

මෙම තීරණය, එක් පාසලකට පමණක් සීමා නොවන අතර, සමස්ත පාසල් පද්ධතියටම බලපාන ජාතික වැදගත්කමක් ඇති නිර්දේශ රැසක් සහිත වූවකි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන නිර්දේශ පහත පරිදි වේ;

  1. පාසල්වල වර්ණ ප්‍රදානෝත්සව සංවිධානය කිරීම සහ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ජාතික මට්ටමේ පොදු විධිවිධාන මාලාවක් හෝ නියාමන මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ක්‍රියාත්මක කල යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිර්දේශ කර ඇත.
  2. මින් ඉදිරියට මාතර රාහුල විද්‍යාලය විසින් වර්ණ ප්‍රදානෝත්සව පැවැත්වීමේදී සියළුම ක්‍රීඩකයන් වෙත සාමානාත්මතාවය සහ සාධාරණත්වය තහවරු වන පරිදි, විනිවිදභාවයෙන් යුතු සහ කුසලතා මත පදනම් වූ විධිමත් නිර්ණායකයන්ගෙන් සමන්විත ක්‍රමවේදයක් සකස් කර අනුගමනය කළ යුතු අතර, එය ක්‍රියාත්මක කිරීමට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බව නිර්දේශ කර ඇත.

එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාව තම නිරීක්‍ෂණ මත පහත සඳහන් වැදගත් නිගමනවලට එළඹ ඇත.

  1. ඔලිම්පික් තරඟ සඳහා අනුමත ක්‍රීඩාවන්ට ප්‍රමුඛතාවය ලබාදීම සහ චෙස් වැනි ඔලිම්පික් තරඟ සඳහා අනුමත නොවන ක්‍රීඩාවන් වෙනස් කොට සැලකීමක් (Discrimination) සිදුකිරීම මගින්, රාහුල විද්‍යාලය, ක්‍රීඩාවක නිරත වීම සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ (UN Convention on the Rights of the Child) 31 වන ව්‍යවස්ථාව මගින් තහවරු කර ඇති ජාත්‍යන්තරව පිළිගත් මූලික ළමා අයිතිවාසිකම් සහ රැකවරණය නොසළකා කටයුතු කර ඇති බව කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.
  2. අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 35/2020 දරන චක්‍රලේඛය අනුව පාසල් සඳහා නිර්දේශ කර ඇති ක්‍රීඩා 32 ටම සමාන පිළිගැනීමක් ලබාදී තිබියදී සහ කිසිදු ක්‍රීඩාවකට ප්‍රමුඛතාවයක් ලබාදී නොතිබියදී, රාහුල විද්‍යාලය ඔලිම්පික් ක්‍රීඩාවන්ට පමණක් ප්‍රමුඛතාව ලබාදීම මගින් එම චක්‍රලේඛයේ විධිවිධාන අභිබවා යමින් කටයුතු කර ඇති බව කොමිෂන් සභාව පෙන්වා දී ඇත.
  3. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව 2025 මැයි 21 දින නිකුත් කරන ලද ජාතික ක්‍රීඩා සංගම් නියෝග (අතිවිශේෂ ගැසට් අංක 2437/24) නියෝග මගින් කිසිඳු ක්‍රීඩාවක් අතර විභේදනයක් ඇතිකර නොමැතිව තිබියදී රාහුල විද්‍යාලය විසින් චෙස් ක්‍රීඩාව නොසලකා හැර ඇති බවද එය රටේ පවතින විධායක සහ ව්‍යවස්ථාපිත ක්‍රීඩා නීතියට පටහැනි බවද කොමිෂන් සභාව සඳහන් කර ඇත.
  4. ක්‍රීඩාවන් අතර අත්තනෝමතික විභේදනයක් ඇතිකරමින් නිර්ණායක සකස් කර චෙස් ක්‍රීඩාව වැනි ඔලිම්පික් නොවන ක්‍රීඩා අඩු තක්සේරුවකට ලක්කිරීම මගින් සමානාත්මතාවය සහ නීතියේ සමාන රැකවර්ණය ලැබීමේ මූලික අයිතිවාසිකම්, රාහුල විද්‍යාලය විසින් ඔලිම්පික් නොවන වෙනත් ක්‍රීඩාවල නිරතවන දරුවන්ට අහිමිකර කටයුතු කර ඇති බවද කොමිෂන් සභාව සඳහන් කර ඇත.

තවද, Haputhanthirige and Others v. Attorney General නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ පරිදි, ක්‍රීඩා සම්බන්ද යම් වර්ගීකරණයක් ද අත්තනෝමතික හෝ අසාධාරණ නොවිය යුතු අතර, එය සාධාරණ සහ සැබෑ පදනමක් මත සිදුකළ එකක් විය යුතු බව කොමිෂන් සභාව සිය තීරණයේදී අවධාරණය කර ඇත.

මෙම සිද්ධියේ වින්දිතයා වන දිනුජය කොඩිතුවක්කු ශිෂ්‍යයා 2024 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජාත්‍යන්තර චෙස් තරගාවලි හයකට සහභාගි වී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම පාසල් චෙස් ක්‍රීඩකයා සහ වසරේ ජනප්‍රියතම චෙස් ක්‍රීඩකයා ලෙසද ඇගයීමට ලක්ව ඇත.

විශේෂයෙන්ම, රාහුල විද්‍යාලයේ සියවසකට අධික ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට තේරී පත් වූ එකම ශිෂ්‍යයා වන්නේද ඔහුය.

එසේ වුවද, චෙස් ක්‍රීඩකයෙකු වීම පමණක් හේතු කරගෙන 2023/2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය සඳහා ඔහුගේ අයදුම්පත සලකා බැලීමට පවා කටයුතු කර නොමැත. ඔහු සම්මුඛ පරීක්ෂණයකට කැඳවා නොතිබූ අතර, අභියාචනයක් ඉදිරිපත් කිරීමටද කිසිදු අවස්ථාවක් ලබාදී නොතිබුණි.

ඒ අනුව

2023/2024 වර්ෂයේ “වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා” (Most Outstanding Player of the Year) සම්මානය සඳහා දිනුජය කොඩිතුවක්කු ශිෂ්‍යයාගේ අයදුම්පත සලකා නොබැලීම මඟින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති “නීතිය හමුවේ සමානාත්මතාවය සහ නීතියේ සමාන රැකවරණය ලැබීමේ” මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇත.

මෙම තීරණය, පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සමානාත්මතාවය, වෙනස්කොට සැලකීමෙන් තොරව කටයුතු කිරීම, දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කුසලතා සාධාරණ ලෙස ඇගයීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පූර්වාදර්ශයක්

මහාචාර්ය කේ. කේ. අයි. යූ. අරුණ

Share post:

Popular

More like this
Related

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...