ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
යෝජිත සංශෝධනය මගින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරන බව රජය ප්‍රකාශ කර ඇතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි නොවන බව එමඟින් පෙන්වා දී ඇත.
මෙම විරෝධතා නොතකා රජය මෙම යෝජනාව ඉදිරියට ගෙන යන්නේ නම්, එවැනි සංශෝධනයක් නීත්‍යානුකුලව සම්මත කරගත හැක්කේ ජනමත විචාරණයක අනුමැතිය ලබා ගැනීමෙන් පමණක් බවත්, එසේ කිරීමෙන් මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන තත්ත්වයෙන් එය ආරක්ෂා කර ගත හැකි බවත් ඔවුන් අවධාරණය කරති.
2022 වසරේ SC SD 64–71/2022 නඩුවේ තීරණයද උපුටා දක්වමින් නීතිඥ සංගමය සඳහන් කරන්නේ, දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපාන පරිදි විශ්‍රාම යන වයස හෝ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර ජනමත විචාරණයක් අවශ්‍ය වන බව එම තීරණයෙන් පෙන්වා දී ඇති බවයි.
තවද, වෙනත් රටවල මෙවැනි ස්වභාවයේ සංශෝධන සිදු කිරීමට පෙර විනිවිදභාවයෙන් යුත්, සියලු පාර්ශ්ව ඇතුළත් කරගත් සහ දීර්ඝ උපදේශන ක්‍රියාවලීන් සිදු කර තිබුණද, ශ්‍රී ලංකාවේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ කිසිදු උපදේශනයක් සිදු කර නොමැති වීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, ඊට ආගමික නායකයන්, සිවිල් සමාජ සංවිධාන මෙන්ම විදේශීය ප්‍රමුඛ නීතිඥ සහ විනිසුරු සංගම්ද එක් වී සිටින බව සඳහන් කර ඇත.
අර්ථවත් උපදේශන ක්‍රියාවලියකින් තොරව මෙම යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාම මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කරන බවත්, අනාගත රජයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමතය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් එයින් ස්ථාපිත වන බවත් අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.






