මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ නම “ඒ හඳ මෙතැන”. සරසවි ප්‍රකාශනයක්. පිටු 80 යි. කවි 43යි. මිල රුපියල් 450 යි. කවරය නිර්මාණය කළේ මො. ල. සෙනෙවිරත්න. මොලා ඊට අමතරව තවත් උදව් ගොඩක් කළා සහ කරමින් ඉන්නවා.

ලියපු කවි ගොඩක් අතරින් මේ කවි 43 තෝරාගන්නත්, සමහර කවි අයින් කරන්නත්, ඒ වගේම පොතේ රිද්මයට ගැලපෙන විදියට කවි පෙළගස්වා ගන්නත් ගොඩක් අය උදව් කළා. චිත්‍රා ජයතිලක, හංසමාලා රිටිගහපොළ, සුජීවා සෙබැස්ටියන්, චමින්ද විජේසිංහ, මංජුල වෙඩිවර්ධන සහ ඉන්දිරා ගුණසේකර කියන්නේ ඒ අතරින් නම් නොකියම බැරි අය. එයින් ඉන්දිරා මගේ බිරිඳ, අනිත් අය ඔක්කොම යාළුවෝ. මේ පොත සම්බන්ධයෙන් තවත් තීරණාත්මක උදව්වක් කරපු කෙනෙක් තමයි සුන්දර නිහතමානි ද මැල්. නම් නොකිව්වට විවිධ අයුරින් උදව් කරපු අය තව ඉන්නවා.
මට මේ ජීවිතේ යාළුවන්ගේ උදව් ගොඩයි. යාළුවො නොහිටියනම් මමත් නෑ කියන්න තරම් ඒ උදව් විශාලයි, තීරණාත්මකයි. ඒ නිසා මේ පොත පිදුවේ මිතුරන්ට.
පොත එළි දක්වන්නේ සැප්තැම්බර් 09 ඒ කියන්නේ ලබන බදාදා පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේදී. සුමංගලේ කියලා කෙටියෙන් කිව්වට මේ උත්සවය පැවැත්වෙන ශාලාවේ නිල නාමය “ශ්‍රී සුමංගල සභාසදය”. ඒක හරි ලස්සන නමක්. ඒ උනාට ඒක ටිකක් නුහුරු හින්දා තමයි සුමංගල ශාලාව කියලම ඔය පහත දාලා තියෙන ඉන්විටේශන් එකේ දැම්මේ.
මගේ කවි ගොඩක් ඉතින් ලියලා තියෙන්නේ ආදරය ගැන. මගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ඉගෙන ගෙන තියෙන්නෙත්, උගන්වලා තියෙන්නෙත්, කරල තියෙන්නෙත් දේශපාලනය වුණාට, දේශපාලන කවිවලට වඩා ආදරය ගැන මම කවි ලියන්නේ, මම ආදරය ගැන ගොඩක් දන්න නිසාද, එහෙම නැතිනම් ආදරය ගැන ඒ තරම් නොදන්න නිසාම මට ඒ සම්බන්ධයෙන් දැනෙන අලුත්කම, අමුතු බව, අපූර්ත්වය නිසාද කියන එක මටත් හරියට තේරෙන්නෙ නැහැ.
මගේ කවි පොතේ අති බහුතරයක් ඒ විදියට ආදර කවි නිසාම පොතේ පසුපිට කවරයට දැම්මෙත් එයින් එක කවියක්.
උගුළුවා සඳ
පොළොවේ ගසා කුඩුකර
සඳ කැබලි විසි කරමි අහසට
තරු වගේ පෙනෙන ලෙස
ඇයට
ඔව් මගේ ආදරය වියරුයි
මම ආදරේ කරන්නේ එහෙමයි !
මහ ලොකු පිරිමි විදියට ලෝකෙට පේන්න ඔහොම කිව්වට මිනිස්සු විදියට අපි හරි පොඩියි, දුක්බරයි, දුර්වලයි. ඒ නිසා මට වෙලාවකට හිතෙනවා මේ පහත කෙටි කවිය පොතේ පසු පිටට දැම්ම නම් වඩා හොඳ වෙන්න තිබුණා කියලා.
හඳක් තරුවක් වගේ
කාටත් පෙනෙන උසකින්
තබා සමරන්නට
අවසර නොලද ප්‍රේමය
සඟවා තබමි කවියක
කොහොම නමුත් මේ කවි දෙකමත්, අර ඊයේ ෆේස්බුක් එකේ දාපු කවියත් ඇතුළු කවි හතළිස් තුනක් “ඒ හඳ මෙතැන” කියන මගෙ පොතේ තියෙනවා.
ඒ පොත තමයි ලබන නව වැනිදා හවස දෙකයි තිහට එළිදක්වන්නේ. මගේ හිතවත් ආචාර්ය සුනිල් දෑරංගල උත්සව සභාව මෙහෙයවනවා. ඒ උත්සවයේදී මමත්, උපකුලපතිතුමාත්, අපේ පීඨාධිපතිතුමාත් කෙටි කතා තුනක් පවත්වනවා.
දිග දෙසුම් දෙක පවත්වන්නේ ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි. ඒ දෙන්නගෙම නම්වලට මුලින් දිගු හැඳින්වීම් පද දාන්න තරම් එයාලා එයාලගේ ජීවිත ඇතුලේ උපයාගෙන තියෙන දේවල් ගොඩයි. ඒ උපයාගැනීම් නිසාම එයාලව නම කියූ පමණින්ම කවුරුත් දන්න නිසා ඒ දිගු හැඳින්වීම් පද හලලා නම් දෙක විතරක් දැම්මා.
ඉතින් ඒ පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙන්න කියලා මං මගේ මිතුරන් වන සියලුම දෙනාට ආදරයෙන් ආරාධනා කරනවා.

මම බලන් ඉන්නවා.

