එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය යුතුයි නේද? නැතිනම් වෘත්තීය සමිති අරගල කරන්නේ පැවැත්ම ආරක්ෂා කර ගන්න, අපිත් ඒ කාලේ අරගල කළේ ප්‍රශ්න තිබෙන නිසාම නෙවෙයි, වෘත්තීය සමිති ඉටු කරන්නේ සුන්බුන් විපක්ෂයේ කොන්ත්‍රාත් එකක්, වෘත්තීය සමිති නායකයන්ගේ කෙරුම් අපි ළඟදීම හෙළි කරනවා, තියෙන්නේ කම්කරු ආණ්ඩුවක් නිසා වෘත්තීය සමිති විසුරුවා හැරිය යුතුයි, මොන බලපෑම් කළත් අපි ඒවා අහන්නේ නෑ – සොරි වැනි කතා කියමින් වතුර නහයෙන් උඩට ගලන තුරු සිටිය හැකියි. ආණ්ඩුවේ නායකයන් සහ ආණ්ඩුවේ මෝඩ ආරක්ෂකයන් තෝරාගෙන තිබෙන්නේ දෙවන මාවත බව පෙනෙන නිසා මේවා ඔවුන්ට කියන එකේ තේරුමක් නෑ.
කම්කරුවන් හෝ ගොවීන් හෝ ශිෂ්‍යයන් හෝ අන් කවර සමාජ බලවේගයක් හෝ අරගල කරන විට පැරණි ප්රතිගාමී බලවේග යලි හිස එසවීම පිලිබඳ භීතිය පැතිරවීම තව දුරටත් වලංගු උපක්‍රමයක් නෙවෙයි. එම බලවේග පැරදවීමට කම්කරුවන් සහ පොදුවේ ජනතාව තමන්ගේ කොටස ඉටු කර ඇති අතර, ඒවා නැවත හිස එසවීම වැළක්වීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ජනතාවගේ ඉතාම යුක්තිසහගත ඉල්ලීම් වෙනුවෙන් එය පුනරුච්චාරණය කිරීමෙන් පලක් නැහැ.
බඩ ගැන හිතනවා වෙනුවට රට ගැන හිතන්න කියන විමල් වීරවංශගේ තේමාව ආණ්ඩුව නැවත නැවත මතුරන්නේ ඇයි? අනිත් එක මේ බඩ ගැන හිතන්න එපා කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට. දරුවාගේ කෑම පිඟානට බිත්තරයකින් බාගයක් හරි දාන විදිය කල්පනා කර කර ඉන්න මිනිස්සුන්ට. කොළඹ කොටස් වෙළඳපල ලියාපදිංචි සමාගම් 280ක පමණ ලාභය 2026 ජූනි 30න් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්ත ලාභය රුපියල් බිලියන 707.7 ක් ලෙස සටහන් වී තිබුනා. කලින් වසරට සාපේක්ෂව බැංකු අංශයේ ලාභය 28%කින් වැඩිවී තිබුණා. පසුගිය මූල්‍ය වර්ෂයේදී වැඩිම ලාභ ලැබූ සමාගම් අතර පළමු ස්ථාන 5න් 3ක්ම හිමිකරගෙන ඇත්තේ පෞද්ගලික වාණිජ බැංකු විසින්. ඒ කියන්නේ සමාගම් හිතන්නේ තමන්ගේ ලාභ ගිණුම් ගැන. ආණ්ඩුව ඉෂාර නානායක්කාරට, ධම්මික පෙරේරාට, ක්‍රිෂාන් බාලේන්ද්රන්ට රට ගැන හිතන්න කියන පාටක් නෑ. එහෙමනම් බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ඒක කියන්නත් එපා.
පුළුවන් විදියට තමයි දීලා තියෙන්නේ, ඊට වඩා දෙන්න බෑ කියන ලාල්කාන්තගේ කතාවත් වැරදියි. 2027 වසරේ ආදායම් හොයා ගන්නේත් සාමාන්‍ය ජනතාව මත බර පටවලා. 2027දී අපේක්ෂිත බදු ආදායම් වැඩි වීමෙන් 85%ක්ම භාණ්ඩ හා සේවා මත බදු ගහලා හොයන්නේ. 2026ට වඩා 2027දී අමතර රුපියල් කෝටි 13,800ක බදු බරක් ජනතාවගේ භාණ්ඩ හා සේවා මත පටවන්න මේ අයවැය යෝජනා කරනවා. ඒත් 2026ට සාපේක්ෂව ලබන වසරේ සහනාධාර වියදම් රුපියල් කෝටි 9000කින් අඩු කරලා. නමුත් මුදල් අමාත්‍යංශයේ 2024/25 බදු පිරිවැය වාර්තාවට අනුව රුපියල් කෝටි 19,000ක ආදායම් රජයට අහිමි කළ සමාගම් රොත්තට ලබන වසරේත් බදු විරාම එහෙමම දෙනවා. ආණ්ඩුව පුළුවන් උපරිම විදියට දීලා තියෙන්නේ කොම්පැණි වලට මිස කම්කරුවන්ට නෙවෙයි.
දින කිහිපයකට පෙර ලාල්කාන්ත හා අද දවසේ මහින්ද ජයසිංහ යන හිටපු ජවිපෙ කම්කරු නායකයන් දෙදෙනාගේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ ඔවුන් වෘත්තීය සමිති නායකයන් විසින් පවත්වා ගත් දේශපාලන පදනම්, සදාචාර සීමාවන් සහ අවම ප්‍රමිති පවා ආණ්ඩු බලය හමුවේ අතහැර ඇති බව. එහෙම කරන අයට ආණ්ඩුකරණයේ ප්රමිතීන් සහ සදාචාරයන් අත හරින්නත් එතරම් අමාරු නෑ. දේශපාලන පදනම් සියල්ල අහිමි කරනු ලැබූ සමාජයක කෝපයේ හා විරෝධයේ ප්‍රකාශකයන් බවට පත්වීමට නියමිත එක්කෝ විනාශකාරී අරාජිකවාදී මොබ්, එහෙමත් නැතිනම් අන්ත දක්ෂිනාංශික ප්රතිගාමීත්වය. හෙට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගය අප ආරක්ෂා කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුව අතහැරියාට කම්කරු පන්තිය සහ පොදුවේ ජනතාව සිය ඓතිහාසික උරුමයන්, සාමූහික ව්‍යුහයන්, සටන්කාමී සම්ප්‍රදායන් සහ සංවිධානාත්මක ප්රමිතීන් වගේම දේශපාලන පදනම් මූලධර්ම අත නොහරින බව එයින් ප්‍රකාශයට පත්වන නිසා.
අපි නොවැම්බර් 23 කම්කරු ක්‍රියාමාර්ගයට සුබ පතනවා, එහි සටන්පාඨ ආරක්ෂා කරනවා.




