ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027) මාර්තු මාසයේදී අවසන් වීමෙන් අනතුරුව, යළිත් නව එවැනි වැඩසටහනකට යෑම අවශ්‍ය ද යන්න සොයා බැලීම සඳහා රජය විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. එයට හේතුව වී ඇත්තේ එම කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත් පක්ෂපාති පිරිසකගෙන් සමන්විත වීමයි. එසේම මෙම පිරිස ආරම්භයේ පටන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට සහය වූ පිරිස බවද ඇතැමුන්ගේ චෝදනාවයි.
මෙම කමිටුව විසින් ආර්ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කුමන හෝ වැඩ සටහනකට යන්නේද නැද්ද, යන්නේ නම් යා යුත්තේ කෙසේද යන්න ගැන විකල්ප අධ්‍යයනය කර සිය නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කමිටුවේ සභාපති ලෙස කම්කරු ඇමැති මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත කටයුතු කරන අතර අනෙකුත් සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ අර්ථ ශාස්ත්‍රඥ දේශාල් ද මෙල් යන අය කටයුතු කරනු ලැබේ.
මේ අතර මෙරට ඉතිහාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීමට සමත් වූ එකම රජය ජාතික ජන බලවේග රජය බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පවසා තිබුණි.
පසුගියදා (20) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට තම රජයට හැකි වූයේ පක්ෂය සහ රජය සතු දැඩි මූල්‍ය විනය හේතුවෙන් බවයි.
මාලිමා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට තරම් ප්‍රවීණත්වයක් නොමැති බවට විපක්ෂයෙන් සිදුකළ චෝදනාත් සිහිපත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා ඉතා දක්ෂ හා ශක්තිමත් කණ්ඩායමක් යෙදවීමට රජය පියවර ගත් බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ කිසිඳු රජයකට නොහැකි වූ ආකාරයෙන්, ගෞරවනීය මෙන්ම වෘත්තීයමය පිළිවෙතක් ඔස්සේ අදාළ වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පවසා තිබුණි.
මේ සෑම දෙයකින්ම පෙනෙන්නේ ආණ්ඩුව නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමට සූදානම් බවයි. දැනට කරමින් සිටින්නේ ඒ සඳහා පසුබිම සකස් කරගැනීමයි.




