2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත. මෙවර අයවැයෙන් තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළබි බව එම සංගම් පවසයි .
හෙට ඇරඹෙන විරෝධතා අතර ගුරු හා විදුහල්පතිවරුන් විරෝධතාවයද වන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් පැවසීය . ඒ අනුව හෙට දිනයේදී සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ජාතික කළු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු සඳහන් කර තිබේ . ආණ්ඩුව දක්වන ප්‍රතිචාර අනුව ඉදිරි සතියේදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත්, එසේ වුවහොත් නොවැම්බර් 30 වැනිදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බවත් ඔහු පැවසීය .
ඊට අමතරව හෙට දිනයේ දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් ද මෙම විරෝධතාවට සහභාගී වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසා තිබේ . හෙට දිනයේදී රට පුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක නිරත වීමට ද සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ ඇති බවත්, එම හිමියන් පවසා තිබේ.
ජනතාවට සහන නොදුන් මෙවර අයවැයට එරෙහිව පැවැත්වෙන ජනතා විරෝධතාවයන්ට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහාය පළ කරන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කර ඇත.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල වන බලපෑම්වලට එරෙහිව ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත .
ඒ අනුව, හෙට දිනයේදී රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, නොවැම්බර් 30 වැනිදා ඇතැම් ක්ෂේත්‍රවල එක්දින වැඩ වර්ජන සහ තවත් ක්ෂේත්‍රවල දින දෙකක වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කර ඇත. මෙකී විරෝධතාවයන්ට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් වඩාත් පුළුල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වැඩ කරන ජනතාව පෙළගැස්වීමට කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් බව ද දුමින්ද නාගමුව සඳහන් කර ඇත.
”ඉදිරි සති දෙක තුළ වැඩ කරන පන්තියේ ඉතාම ප්‍රබල ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කරලා තියෙනවා මේ ජනතාවට කරමින් ඉන්න අසාධාරණයේ සහ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා. අපි බලාපොරොත්තු වෙනවා 23 වෙනිදා රාජ්‍ය ආයතන ඉස්සරහපිට, ආයතන ගණනාවක් ඉස්සරහපිට විරෝධතාවයක් කැඳවන්න. ඒ වගේම නොවැම්බර් මාසේ 30 වෙනිදා නැවත එක්දින වැඩ වර්ජන සමහර ක්ෂේත්‍ර වල ඒ වගේම සමහර ක්ෂේත්‍ර වල දින දෙකේ වැඩ වර්ජන කැඳවලා තියෙනවා. ඒ නිසා ඒ වැඩ වර්ජන වලට පැහැදිලිවම කම්කරු අරගල මධ්‍යස්ථානය මැදිහත් වෙනවා. කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් වෙනවා ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඊට එහා ගිය ක්‍රියාමාර්ග වලට කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව කැඳවන්න” වඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය .




