ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන් ද යත් ඒ වන විට මා ලියමින් සිටියේ මගේ ආචාර්ය උපාධියේ ”ස්ත්‍රී හඬ” පිළිබඳ පරිච්ඡේදයයි. මගේ මතය තහවුරු කිරීමට ඇගෙන් යමක් ගැනීම මගේ අරමුණ විය.
ඇය මට අද උදේ පොතේ පීඩීඑෆ් එක එවා තිබුණි. මම එක හුස්මට පොත පැය දෙකකින් කියවා නිම කළෙමි.
එය පර්යේෂණ ගණයේ කාතියක් නොවීය. එහි ඇත්තේ ඇගේ දශක තුනක පමණ ජීවමාන අත්දැකීම්ය. ඇය ඇතුළු ගැහැණුන් හත් දෙනෙකුගේ අත්දැකීම්ය. එම අත්දැකීම් ද ඉතා ගැඹුරුතම ආකාරයෙන් ලියවී නැත. මන්ද එසේ ලියන්නට නම් ඔවුන් ආඥානගතව හෝ වෙනත් විකල්ප නම්වලින් තැබිය යුතුය. එහි කතා කරන දෙයට වඩා තවදුරටත් කතා නොකර තබන දේ ප්‍රබලය.
මෙම මතුපිට අත්දැකීම් තුළ පවා කතුවරිය කියන්නේ ස්ත්‍රී අයිතීන් ගැන කතා කරන පිරිමින්ගේ ඇතුලාන්තයයි. සමානාත්මතාව ඉල්ලන පිරිමින්ගේ අභ්‍යන්තරයයි.

මීට ටික කලකට ඉහත කියවන ලද කවියක් මට සිහිවිය. එය නන්දසිරි කීඹියහෙට්ටිගේ “ගජමුතු සහ කඳුළු” කෘතියේ ආ කවියකි. මම එය මෙහි බහාලමි
මුලසුනේ දෙසුම
———————-
කමලනී
ලොකු නෝනා
ගෙදර එන්න කලින්
ඇඳ රෙද්ද හෝදලා
වේළලා ගෙට ගනින්
බයවෙන්න කාරි නෑ හිතට සැක නම් ඉතින්
මෙන්න මේ පෙති දෙකම දෙවේලට අර ගනින්
ලොකු නෝනා ඇහුවොතින්
මං එයි ද ලන්ච් එකට
ආවෙ නෑ කියාපන්
ගෙදර අද දවසටම
කාන්තා හිංසනය පිටු දකින සැසියකට
මට යන්න තියෙනවා මුලසුනේ දෙසුමකට
එහිදී කවියා කතා කළේ නිවසේ වැඩට තබා ගත් කමලිනී නම් දෙමළ දැරිය ගැනයි. ඇය දූෂණය කරන කාන්තා හිංසනය වෙනුවෙන් පෙනී සිටින මේ මිනිසාට බිරිඳක් ද දූවරුද සිටී. කාන්තා හිංසනය ගැන කතා කරන පිරිමිගේ ස්වරූපය ද එසේය. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යැයි ජනවහරේ කතාවක් ඇත.
අප මේ කතා කරන්නේ තවමත් පොදු ප්‍රවාහන සේවයක ගැහැනුන්ට නිදහසේ ගමන් කළ නොහැකි රටකය. ඒවා වෙනස් කරන්නට ස්ත්‍රී හිංසනය පිටු දකින්නට, ස්ත්‍රී විමුක්තිය උදා කරන්නට කතා කරන පිරිමින්ගේ අභ්‍යන්තරය බස් එකේ ජැක් ගහන පිරිමියාගෙන් වෙනස් වන්නේ නැත.
මෙම පිරිමින්ට ලොකුවටම ඇත්තේ පුරුෂ ලිංගය පමණක් විය යුතුය. මොළයක් පිහිටා නැති විය යුතුය. සදාචාරය සමානාත්මතාවය වැනි විශාල දේ කතා කළද ඒවා තාර්කික චින්තනය මෙහෙයවා කතා කරනවා විය නොහැකිය. තීරණ ගන්නේ ඔවුන් පුරුෂ ලිංගය පදනම් කර ගෙනය.
ධම්මිකා සිය හඬ අවධිකරන්නේ වාමාංශික ව්‍යාපාර තුල සිටින සමානාත්මතාවය. ස්ත්‍රී විමුක්තිය ගැන කතා කරන පිරිමින්ගේ ස්වරූපය එළිමහනේ නිරුවත් කරමිනි.
දේශපාලනික ව්‍යාපාරය එළියේ පෙන්වන ප්‍රතිරූපයට සපුරාම වෙනස් අභ්‍යන්තර සත්‍යයක් එහි ඇතුලාන්තයේ ඇත.

මෙම කුඩා කෘතිය කොටස් දෙකකින් යුක්තය. එහි මුල් කොටස කතුවරිය සිය අත්දැකීම් සටහන් කරන්නට වෙන් කරන අතර දෙවන කොටස ඇය දේශපාලනික ව්‍යාපාර තුළ සක්‍රීය වූ ස්ත්‍රීන් හය දෙනෙකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියා දක්වයි. ඔවුන් පිළිවෙලින් රීටා ද සිල්වා, නිමල්කා ප්‍රනාන්දු, ජයන්ති දංදෙනිය, අනෝමා දිලිරුක්ෂි, චම්පිකා සේරසිංහ සහ තුෂාරි මඩහපොළයි.
ලිංගික හිංසනයට අමතරව ස්ත්‍රීන්ට නායක්තවය එන්නට ඉඩ නොදීම, ස්ත්‍රී අදහස් නොසලකා හැරීම, ස්ත්‍රී ශ්‍රමය සූරා කෑම, විශේෂයෙන් පුවත්පත් විකිනීම, ටයිප් කිරීම ආදියට සීමා කිරීම, වෘත්තීය සංගම්වල ස්ත්‍රීන්ට ඉඩ නොදීම ආදී බොහෝ කරුණු ඇය සාකච්ඡා කරන්නීය.
ඇය පවසන්නේ කේන්ද්‍රීය ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු නොසෙවූ බවයි.
“ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරනවා වෙනුවට ඔවුන් පිළිබදව දේශපාලන සංවාද කරනවා වෙනුවට වෙනත් ප්‍රශ්න මතු කරමින් සැබෑ ප්‍රශ්න පසෙකට තල්ලු කරමින් කල්මරමින් සිටී බවයි.(පිටුව. 16)
ඇය ඍජුව කියා සිටින්නේ “මුල්කාලයේදී කාන්තාවන් විසින් ස්වාධින සංවිධාන පිහිටුවා ගැනීම පිළිබදව විප්ලවවාදිහු පොදුවේ විරුද්ධ වූහ(පිටුව 13) යනුවෙනි.
තනතුරුවලට පත් කරන ලද ස්ත්‍රීන්ට බොරු චෝදනා ඉදිරිපත් කරමින් එම තනතුරුවලින් පහ කරන්නට මෙම සමානාත්මතාවය ගැන කතා කරන පිරිමි උත්සුක වන ආකාරය ඇය සඳහන් කරන්නීය. ස්ත්‍රීන්ට පහර දෙන්නට තරම් එම අධිපති පිරිමි ම්ලේච්ඡ වූ ආකාර ඇය සඳහන් කරන්නීය. ඔවුන් එළියේ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂ අභ්‍යන්තරයේ නැත.
ඇය තවදුරටත් පවසන්නේ “ පිරිමින්ගේ මතයට එකග නොවන සෑම කාන්තාවකටම සලකන්නේ ද්‍රෝහීන් ලෙසය.( පිටුව. 27)”
එසේම “ වමේ පක්ෂයක නායකත්වයට කාන්තාවක් පැමිණීමේ සම්ප්‍රදායක් ලංකාව තුළ නොමැති බවයි. එය තමන්ගේ තියෙන අකමැත්ත ප්‍රකාශ කිරිමට යොදාගත් ආකල්පයකි.(පිටුව. 27)” මේ තුළින් සමානාත්මතාවය සාධාරණය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පිරිමින්ගේ අධිපති පිරිමි මානසිකත්වය ඇය පෙන්වා දෙයි. කුමක් කීවද වක්‍රව ඔවුන් කියන්නේ ගැහැනුන්ට නායකත්වය දිය නොහැකි බවයි. ගැහැණු දෙවන ගණයේ පුරවැසියන් කණ්ඩායමක් බවයි.
පිටරට ගිය විට ගැහැණුන්ට මුහුණ දීමට සිදු වූ බලහත්කාරය, වංචනික ලෙස චිත්‍රපට ශාලා වෙත ගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කිරීම, දික්කසාද වූ සැමියා පවා පෙර බිරිඳ කෙරෙහි බලපවත්වන අධිකාරය ආදී බොහෝ කතන්දර මේ කෘතිය තුළ සැඟවී සිටී.
තවදුරටත් මෙහිම සඳහන් කරන මල්ලිකා, ස්ටෙලා, ඉන්ද්‍රා වැනි ස්ත්‍රීන් ද තවත් ක්‍රියාකාරී ස්ත්‍රීන්ගේ හඬට ද ඉඩක් දුන්නා නම් එය වැදගත් වනු ඇත. තවත් ගැඹුරින් ඔවුන් මුහුණ දුන් පීඩනය, ආණ්තීකරණය, ලිංගික හිංසන, බලහත්කාරය, තීරණ ගැනීමේදී අවස්ථා නොදීම අවස්ථා අහිමි කිරීම, බොරු චෝදනා නැගීම ආදිය සිද්ධි වශයෙන් ඇතුලත් කළා නම් මැනවි.
මෙම කුඩා කෘතිය ඉතා විශාල වොලියුමයක් ලිවිය හැකි තරම් සිද්ධි සඟවා තබයි. වසර තිහක අත්දැකීම් ඇසුරෙන් මේ ලියන්නේ ඉතා කුඩා කොටසක් පමණකි. මෙය තවදුරටත් දිගු කළ යුත්තේ ඔවුන් සූරා කන ලද ආකාරය, ශ්‍රමය සූරා කෑම, ලිංගික සූරා කෑම, ලිංගිකව හප කර විසි කිරීම, ඉතා කුඩා වැටුපකට වසර ගණන් කල් තබාගෙන සිටීම, දේශපාලන සංවිධානවල ක්‍රියාකාරී ස්ත්‍රීන් දිර්ඝකාලීනව සිය ලිංගික අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීම, නාමයෝජනා පත්‍ර පිරවීමට පමණක් භාවිතා කිරීම, නායකත්වයට නොගැනීම, තීරණ ගැනීමට දායක නොකර ගැනීම, නාමාත්‍රික තනතුරු පමණක් දීම, සංවිධාන කටයුතුවල බර ඇදීමට පමණක් භාවිතා කිරීම, සංග්‍රහ කටයුතු ආදියට පමණක් යොදා ගැනීම යනාදී ලෙස විශාල වපසරියක පැතිරී පවතින නොතැකීම, පීඩනය, පරිධියට ඇද දැමීම යනාදී කරුණු තවදුරටත් විවරණය කරමින් ලිවිය යුතු යැයි සිතමි. මේ එහි පළමු පියවරයි.





