Breaking News

ඒක කොයි තරමේ විශ්වාසයක් ද

අද ආජන්ටිනාව සහ ඕස්ට්‍රියාව අතර තරඟයේ පළමු වටයේ අග භාගයේ මෙසී වාර්තා කරන ගෝලය, පාපන්දු කණ්ඩායමක් කියන්නේ මොන වගේ එකකටද, කියලා තේරුම් ගන්න නියම අවස්ථාවක්.

මං හිතන්නෙ පාපන්දු කණ්ඩායමක් එක ශරීරයක් වගේ වෙන්න ඕන. ඒ ඒ ක්‍රීඩකයන් අතර තියෙන සම්බන්ධය එක මිනිස් ශරීරයක අවයව අතර තියෙන නිරුත්සාහික සම්බන්ධය වගේ එකක් වෙන්න ඕන. ඒක නිකං කිඹිහුමක් යනකොට අත ඉබේ ම නහය ගාවට එන ගණයේ අනිච්ඡානුග සම්බන්ධයක්. එහෙම සම්බන්ධයක් හැදෙන්න ඒ කණ්ඩායම සෑහෙන්න තරමක් පිටිය තුළ දි වගේ ම එළියෙත් එකට ඉන්න ඕන.

ඒත් අද ජාතික කණ්ඩායමක ක්‍රීඩයන්ට එහෙම එකට ඉන්න ලැබෙන අවස්ථා අඩු යි. ඒගොල්ලො වැඩිපුර එකට ඉන්නෙ ක්ලබ් එකේ ක්‍රිඩකයන් එක්ක. අන්න ඒ නිසා තමයි ඔය සමහර ප්‍රබල ක්‍රීඩකයො, ක්ලබ් මැච්වල තරම් ජාතික කණ්ඩායම නියෝජනය කරද්දි දක්ෂතා පෙන්නුම් කරන්න අසමත් වෙන්නෙ. ප්‍රබල ම ක්‍රීඩකයාගෙ ප්‍රබල ම තැන් වගේ ම දුබල ම තැන් දන්නෙත් අර ක්ලබ් එකේ ක්‍රීඩකයො. ඒ නිසා තමන්ගෙ කණ්ඩායමේ ඉන්න ප්‍රබලතම ක්‍රීඩකයාගෙන් උපරිම ප්‍රතිඵල ගන්න ඒ අයට පුළුවන්.

ආර්ජන්ටිනාව පාලමු ගෝලය වාර්තා කළේ 38 වැනි මිනිත්තුවේ දී. මැදපෙළෙන් ආරම්භ වූ ප්‍රහාරක සංයෝජනයක් අවසානයේ Facundo Medina යොමු කළ පහළ හරස් පන්දුවක්, පළමු ස්පර්ශයෙන් ම (first – time – finish) තමන්ගේ වම් පාදයෙන් ඔස්ට්‍රියාවේ ආරක්ෂක රේඛාව බිඳ දමා ගෝලය වෙත හරවා යැවීමට මෙසී සමත් වෙනවා.

හැබැයි මේ ක්‍රියාවලියේ දී Medina යොමු කරන පන්දුව ආර්ජන්ටිනා කණ්ඩායමේ මාර්ටිනස්තමන්ගෙ කකුල් දෙක මැදින් නිදහසේ ගලාගෙනයාමට සලස්වනවා. ඒ වෙලාවෙ මාර්ටිනස්ට මෙසී ඉන්නෙ කොතනද, කියන එක කිසිසේත් ම පෙනෙන්නෙ නෑ. හැබැයි මාර්ටිනස් බෝලෙ අත අරින්නෙ තමන් අත් අරින බෝලය තියෙන තැනට මෙසී නිශ්චිතව ම පැමිණෙන බවට ඔහුට තියෙන විශ්වාසය නිසා. ඒක කොයි තරමේ විශ්වාසයක් ද, කියන එක ඒ අවස්ථාව ආයෙ බලලා තේරුම් ගන්න තරම් වටිනවා.

මෙසී ගෝලය ගැහුවට පස්සෙ ඒක සෙලිබ්‍රේට් කරන්නෙ සම්පූර්ණ ගෞරවය මාර්ටිනස්ට දීලා. මාර්ටිනස් ඒ වෙලාවෙ බෝලෙ අත අරින්නෙ නැතුව අපි වගේ මෝඩ විදියට එන එන හැම බෝලෙට ම කෙළින්න ගියා නම් ඒ ලස්සන ගෝල් අවස්ථාව මේ ලෝකයට අහිමි වෙනවා. ඔව්…සමහර වෙලාවට ජයග්‍රහණය වෙනුවෙන් පහර දෙන්න වගේ ම නො දී ඉන්නත් අපි පුරුදු වෙන්න ඕන.

ලක්ෂාන් මදුරංග

leave a reply