මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පළ වෙන සටහන්, වීඩියෝ, ඡායාරූපවල බහුතරයක් ප්‍රතිචාර පුදුමඑළවනසුළු ය. වසර 14කට පෙර ජීවිත 26ක් බිලි දුන් වැලිකඩ ගැටුම ද ඉක්මවා යන තරම් මරණ සිදුව ඇති බව වාර්තා වෙතත් ලැබෙන ප්‍රතිචාර වඩා අගතිගාමී ය.
මීගමුව බන්ධනාගාරයේ රඳවා තිබෙන සියලු දෙනා වරදකරුවන් කරන දඬුවම් විඳින අයවලුන් නොවේ. රක්ෂිත බන්ධනාගාරගත කරන පිරිස බහුතරයකි. මේ ප්‍රතිචාර දක්වන සියලු දෙනා මෙන් ම මේ සටහන කියවන ඔබද මම ද ඕනෑම විටෙක මෙතැන අයෙකු විය හැකි ය.
එයින් අදහස් වන්නේ මේ බහුතරයක් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම පිණිස තවමත් සිදුකෙරෙන නඩු කටයුත්තක සැකකරුවන් පමණක් බවය.
හැරත්, අච්චු ලැබූ සිරකරුවෙකුට වුවත් අධිකරණයෙන් පනවන ලද දඬුවමට එහා දඬුවමක් ලබා දීමට කිසිවෙකුට ඇති අයිතිය කුමක් ද?
රථවාහන වරදක් සම්බන්ධයෙන් දඬුවම් ලද මිතුරෙකු වෙනුවෙන් ඇප දෙන්නට අධිකරණයට යන ඔබගේ ජංගම දුරකතනය අධිකරණය තුළ නාද වීම නිසා ඔබව දින 14ක රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට ලක් විය හැකි ය. පසුගිය වසරේ දී අගුණකොළපැලැස්සේදී සිදු වුණාක් මෙන් එහිදී පහරකා මිය යාමට ද විශාල සම්භාවිතාවක් තිබේ.
“සේරටම එක සැරේ තියලා දාන්න තිබ්බෙ,” යනුවෙන් ඇහෙන කතාව පිටුපස නොපෙනන ඛේදවාචකය නම් එසේ තියද්දී පරලොව යන්නට අපි කාට වුව ලොකු සම්භාවිතාවක් පවතින බවයි.
රැඳවියන්ගේ මරණ සේ ම බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ ද කිසිසේත්ම සිදු නොවිය යුතු ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අප හැමදාම සංවාද අරඹන්නේ ජීවිතවලින් වන්දි ගෙවා අවසානයේ දී ය.
අපේ රටේ බන්ධනාගාර යනු මොනවාද ?
අපේ රටේ බන්ධනාගාර යනු අධිකරණයෙන් දෙන දඬුවමට වඩා ශතසහස්‍ර ගුණයක් දඬුවම වැඩි කර ලබා දෙන තැනකි. 600ක රැඳවියන් පිරිසක් වෙනුවෙන් ධාරිතාව ඇති මීගමුව බන්ධනාගාරයේ 2600ක පිරිසක් රඳවා තබා ඇතැයි කියන කතාව ම ඒ ඔප්පු කරන්නකි.
මහර බන්ධනාගාරයේ කොවිඩ් සමයේ ඇති වූ නොසන්සුන්තාව අතර රැඳවියන් 11කට වෙඩි තබා මරා දැමුණි. කොවිඩ් පැතිර යද්දී ඔවුන්ගේ ජීවිත තුට්ටුවකට නොසලකා කටයුතු කළ බැවින් නොසන්සුන්තාව පැන නැගුණු බව දැක්විණි.
මීගමුව බන්ධනාගාරයේ වහළ මත නැගුණු කාන්තා රැඳවියන්ගේ සටන් පාඨ වූයේ මොනවාද? ඩෙංගු පැතිර යන බවත්, බෙහෙත් නොදෙන බවත්, තමන්ට පහර දෙන බවත් ආදී වශයෙනි.
මෙයට පෙර බොහෝ අවස්ථාවල කියා ඇති පරිද්දෙන්, ලංකාවේ බන්ධානාගාර තුළ ඇත්තේ පද්ධතිමය සහ ව්‍යුහාත්මක අර්බුදයකි.
ශතවර්ෂයකට අධික කාලයකට පෙර ලංකාවේ ලක්ෂ 30ක පමණ ජනගහණයක් සිටින විට ගොඩනගන ලද සිරගෙවල් තවමත් භාවිතා වේ.
ඒවා මිහිපිට අමු නරකාදි බව නොදන්නා කෙනෙක් නැත. අපරාධ සරසවි වැනි මේවායේ වැසිකිලිවල බිම පවා සමහර සිරකරුවන් නිදාගන්නා අතර බොහෝ දෙනෙක් රාත්‍රියට නිදන්නේ මුර ක්‍රමයකට ය. සිර මැදිරිවල උණුසුම දරාගත නොහැකි ය. මැසි, මදුරු, මකුණු ප්‍රහාර ය. ආහාර පිරිසිදුකම අතින් පහළ ය. කොටින් ම බන්ධනාගාරයේදී අමතරව ලැබෙන දඬුවම්වලට සාපේක්ෂව අධිකරණයෙන් දෙන මරණ දඬුවම පවා ඉතා සුළු එකකි. වතාවක් මරණ දඬුවම නියම කරනු ලැබූ සිරකරුවන් උද්ඝෝෂණය කරනු ලැබුවේ තමන් එල්ලා දමන ලෙස කියමිනි.
බන්ධනාගාර ප්‍රශ්නයේ ප්‍රධානම හේතුව තදබදයයි. ධාරිතාව ඉක්මවා කිහිප ගුණයක් රැඳවියන් සතුන් සේ මේවායේ ගාල් කර සිටිති.
මෙයට මූලිකම හේතුව වන්නේ නඩු විභාග අවසන් වී දඬුවම් නියම වූ රැඳවියන්ට වඩා, නඩු විභාග අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ (Remand Prisoners) අසමාන වර්ධනයයි. සමස්ත රැඳවියන්ගෙන් 73% කට වඩා වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවීම ලෝකයේ ඉහළම පූර්ව නඩු විභාග රැඳවුම් අනුපාතයන්ගෙන් එකක් ලෙස සැලකේ.
සුළු ඇප මුදල් ගෙවාගැනීමට නොහැකිව බන්ධනාගාරගතවන පිරිසද සැලකිය යුතු තරමකි. දඬුවම් ලෙස පනවන සුළු මුදල ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරයේ ලගින පිරිසද එසේ මය. වරදට අදාළව එලෙස සුළු මුදල් දඩ පනවා තෙමේම එම මුදල් ගෙවා මිනිසුන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරුන්ද සිටිති.
මෙම බන්ධනාගාර තදබදයේ අනෙක් හේතුව නම් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බුරුතු පිටින් බන්ධනාගාරගත කිරීමයි. දේශබන්දු යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස 160000ක් පමණ බව කියති. මේ බොහෝ දෙනා මත්ලෝලීන් මිස මත්ජාවාරමුන් නොවේ. රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගන්නා පිරිසද එසේ ම ය.
පොලිසිය විසින් සිදු කරනු ලබන අනීතික සහ මහජන පීඩාවන් ඇති කරන සමූහ අත්අඩංගුවට ගැනීම් සීමා කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත කිරීමට වඩා ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතු ය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු ප්‍රමාද වීම මෙලෙස රැඳවියන් වැඩිවීමට ප්‍රධාන හේතුවකි. රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ද එහි එක් කරුණක් ලෙස දැක්විය හැකි ය.
අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය දමා අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් පොලිසිය බොහෝ දෙනෙකුගේ ඇප අහිමි කරන බවට වන චෝදනාව කලක පටන් තිබේ. එයින්ද බන්ධනාගාර තදබදය වැඩි වේ.
ඒ සියල්ල අතරේ බන්ධනාගාර තුළ මතුවන අසහනය සරලව ගිණිය හැකි ද?
බන්ධනාගාර තුළ සිදුවුණ ඝාතන ද ගණනින් විශාල ය. ඒවාට අදාළ දත්තද අවශ්‍ය නම් ඉදිරිපත් කළ හැකි ය.
ගිනි පුළිඟුවකින් මහා ගින්නක් ඇවිළීමට අවශ්‍ය සියලු සාධක මේ තැන්වල තිබෙන බව සාධාරණව මේ ප්‍රශ්නය දෙස බලන ඕනෑම අයෙකු දනී.
සිරකරුවන් සේ ම බන්ධනාගාර පරිපාලනයේ ද සිටින්නේ මනුෂ්‍යයෝ ය. සේවය සඳහා සිටින කාඩරය අවම බව කාලයක් තිස්සේ නැගෙන මැසිවිල්ලකි. වැටුප් මඳ බව නිසා අල්ලසට සහ දූෂණයට යොමු වුණ නිලධාරීන් නිසා ගැටුම් උග්‍ර වේ.
සමස්ත පද්ධතියම බොහෝ කොට තවමත් දුවන්නේ ලිපිගොනු ක්‍රමයටයි. එයින් කටයුතු ප්‍රමාදය අධික වේ. ඩිජිටල්කරණයේදී අවශ්‍යතාව ඉමහති.
මනුෂ්‍යත්ව පාදක බන්ධනාගාරයක් – යුක්තිගරුක රැඳවුම් දිවියක් !
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිපත්තියේ සිරස ලෙස මෙලෙස යොදා තිබේ.
එහිදී මෙම ප්‍රශ්න බොහොමයක් හඳුනාගෙන තිබෙන බව පැහැදිලිව දක්වා තිබේ. එසේ ම ක්‍රියාමාර්ග ගැන ඔවුන් මෙසේ දක්වයි.
උපුටා ගැනීම, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් – 205-206 පිටු
- බන්ධනාගාර තුළ සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම
- රැඳවියන්ගේ ස්වභාවය, මානසික මට්ටම් ආදිය පිළිබඳ පූර්ණ විශ්ලේෂණයක් කොට ඒ අනුව රැඳවියන් කාණ්ඩ ගත කොට රඳවා තැබීම
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි බන්ධනාගාරවල ඉඩ පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් පුළුල් කිරීම
- රැඳවියන්ට ලබා දෙන ආහාරවල ගුණාත්මකභාවය සහතික කිරීම
- සුළු වැරදිවලට දඬුවම් ලබන පුද්ගලයින් බන්ධනාගාර ගත නොකොට ප්‍රජා වැඩසටහන් සඳහා යොමු කිරීම
- රැඳවියන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වෘත්තීය උපදේශන සේවයක්
- රැඳවියන්ගේ ශාරීරික සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා විධිමත් අභ්‍යාස වැඩසටහන්
- දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳින සිරකරුවන් විවිධ නිෂ්පාදන හා සේවා සඳහා යොදා ගැනීමේ වැඩසටහන්
- යහපත් කල් ක්‍රියාවෙන් යුත් සිරකරුවන් එළිමහන් සිරකඳවුරුවල රඳවා තැබීම හා බලපත්‍ර යටතේ නිවෙස් වෙත යාම සඳහා වූ ක්‍රමවේදය විධිමත් කිරීම
- සෑම බන්ධනාගාරයකම අධ්‍යාපනික හා වෘත්තිය පුහුණු පාඨමාලා
- රිමාන්ඩ් සිරකරුවන් ලෙස දීර්ඝකාලීනව රඳවා තැබීම වැළැක්වෙන පරිදි
- අපරාධ යුක්ති ක්‍රමයට සම්බන්ධ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම
- කාන්තා රැඳවියන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර, ඔවුන්ට බන්ධනාගාර තුළ සිදු කෙරෙන සියලු හිංසනයන් වැළැක්වීම
- කාන්තා රැදවියන් සමඟ බන්ධනාගාරවල සිටින ඔවුන්ගේ දරුවන් සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සේවා පුළුල් කිරීම
ජාතික ජනබලවේගය රජය පත් වී වසර දෙකක් සැපිරීමට ආසන්න වෙද්දී මේ ක්‍රියාමාර්ගවලින් කිසිවක් ගෙන තිබේ ද යන්න අතිමූලික ම පැනයයි.
වසර 14කට පෙර වැලිකඩ සිදු කරන ලද සමූහ සිරකරු ඝාතනය හා සමාන ම හෝ ඊටත් වඩා බරපතළ සිදුවීමක් දැන් සිදුව තිබේ.
වාගාලංකාර, කෙස් පැළෙන තර්ක, සේදුම්කාරක යොදා ආණ්ඩුවට මෙහි ඇති වගකීමෙන් ගැලවිය නොහැකි ය.
සඳුන් ප්‍රියංකර විතානගේ






