සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්‍රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ එහි අක්කර අසූවක භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපෘතියක් සඳහා ලබාදීම මගිනි. අලි ඇතුන්ගේ සංචරණයට බාධාවන බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අලි-මිනිස් ගැටුම ඉහළ යාමේ අවධානම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි සංවිධාන පවා මීට විරෝධය දක්වා ඇත. එමෙන්ම මෙවැනි මහා පරිමාණ සහල් මෝල්කරුවන්ගේ වෙළෙඳපොළ ආධිපත්‍යය හෙවත් ඇතැම්විට හඳුන්වන “සහල් මෝල් මාෆියාව” හේතුවෙන් ගොවි ජනතාවට, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අවාසි සිදුව ඇති බවට මෙරට සහල් කර්මාන්තයේ ඉතිහාසය සාක්ෂි සපයයි. එසේ තිබියදී සමාජවාදය කරපින්නාගත්, සියැටල් බැටළු හම පොරවාගත් සහ ඊනියා ‘මිහිකත’ පරිසර ප්‍රතිපත්තිය පෙරදැරිව බලයට පැමිණි ආණ්ඩුව මෙසේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් අම්පාරේ අලි-මිනිස් ජීවිත කබලෙන් ලිපට ඇද දැමීම දෛවයේ සරදමක් වැනිය, ආණ්ඩුවේ පරිසර සංරක්ෂණයේ ලිට්මස් පරීක්ෂණයක් වැනිය.

වර්ෂ 2013 දී අම්පාර ප්‍රදේශයේ පැවැත්වූ දැයට කිරුළ වැඩසටහනට සමගාමීව ද මෙම ප්‍රදේශයේ ඉදිකිරීමට ගිය වී ගබඩා සංකීර්ණයට විරෝධය පෑ පිරිස අතර වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකම් දරන පුද්ගලයින් ද ඇතුලු අම්පාරෙ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් විය. එහිදී අක්කර පහක පමණ භූමියක වනය විනාශ කෙරුනු නමුත් මතුවූ විරෝධය හමුවේ එවකට දේශපාලන අධිකාරිය මෙම ව්‍යාපෘතිය හකුළා ගැණිනි. මේ වන විට එම භූමිය ක්‍රමයෙන් සංතතිය වෙමින් පවතින ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට බලාගත හැකිය. එසේ තිබියදී කාලයාගේ ඇවෑමෙන් බලයට පැමිණි ඒ ජවිපෙ ප්‍රධාන වර්තමාන ආණ්ඩුව දැන් නැවතත් එම අලි මංකඩේම අක්කර අසූවක් වනසා සහල් මෝලක් ඉදිකිරීමට සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් යන සමාගමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටීම ජුගුප්සාජනකය. එසේම එය කන්නට ඕනෑවූ විට තම හරිත සළුපිළි පවා උනා දමා කබරගොයාත් තලගොයා කරගැනීම වර්තමාන ආණ්ඩුවේ පරිසර ප්‍රතිපත්තිය ද යන පැනය විමසයි.

උක්ත කරුණ සම්බන්ධ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අංක වජී/06/01/02/1115 සහ 2026. 08. 28 දිනැති ලිපිය මගින් මෙම ඉඩම සංවර්ධනය කිරීමට නොසුදුසු බව දන්වා ඇත. මෙම ප්‍රදේශය දීර්ඝ කාලයක් තිස්සේ ඝන වනාන්තර සහිත තත්වයේ පසුවන වන අලින් ඇතුළු වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බවත්, බුද්ධංගල අභය භූමියට ඉතා ආසන්නව එහි සිට අම්පාර අභය භූමියටත්, නුවරගලතැන්න රක්ෂිතය හරහා මාදුරුඔය ජාතික උද්‍යානයට මෙන්ම ගල්ඔය ජාතික උද්‍යානයට ද වන අලි සංක්‍රමණය වීම සඳහා භාවිත කරන ප්‍රදේශයක් බවත් උක්ත ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදී ඇත. මෙම ස්ථානයේ ගුවන් හමුදා කඳවුර ස්ථාපිත කිරීම සහ මිනිසුන් විසින් අභය භූමියේ ඉඩම් අත්පත්කර ගැනීම හේතුවෙන් වන අලි සංක්‍රමණික මාර්ගය පටුවී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා භූමිය ලබාදීම තුළින් තව දුරටත් සංක්‍රමණික මාර්ගය පටුවන බැවින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව වන අලි-මිනිස් ගැටුම උග්‍ර විය හැකි බවත් ඔහු අවධාරණය කරයි.

2011 වසරේ සිදුකළ මෙරට ප්‍රථම ජාතික වන අලි සමීක්ෂණයට අනුව අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් නැගෙනහිර වනජීවී කලාපය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වන අලි ගහනය වාර්තාකළ කලාපයයි. ඒ ගණන 1573 කි. නොඑසේනම් මෙරට සමස්ථ වන අලි ගහනයෙන් සියයට විසි හතකි (27%). නමුත් ඊට සාපේක්ෂව කලාපයේ අලි-මිනිස් ගැටුම් පැවතියේ පහළ තත්ත්වයකය. මෙම ප්‍රදේශය දශක තුනක් පුරා පැවති සන්නද්ධ ගැටුම් හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර, බොහෝ ගම්මාන සහ වගාබිම් අතහැර දැමීම නිසා ඒවා අලි ඇතුන්ට සුදුසු වාසස්ථාන බවට පත්විය. නමුත් 2009 වසරේ ගැටුම් අවසන් වීමෙන් පසුව ජනතාව නැවත පදිංචි කිරීම සහ මිනිස් ක්‍රියාකාරකම් ක්‍රමයෙන් ව්‍යාප්ත වීම මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම ශීඝ්‍රයෙන් ඉහළ යාමට දායකවී තිබේ.

ඊට කඩිනම් සහ තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් බව පවසමින් පසුගිය සැප්තැම්බර් 20 දින පැවැති අම්පාර දිස්ත්‍රික් වන අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටු විශේෂ රැස්වීම පැවැත්වුණේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී තීරණය කෙරුණු ප්‍රධාන “කඩිනම් සහ තිරසර විසඳුම්” වන්නේ වන අලි පාලන ඒකක 14ක මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ය. එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා දැනටමත් අනුයුක්තකර ඇති සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 1,463 දෙනෙකු සහ බහුකාර්ය නිලධාරීන් 552 දෙනෙකුගේ ගමනාගමන පහසුකම් පිණිස යතුරුපැදි 38ක් සහ ඩබල් කැබ් රථ 2ක් ලබා දී ඇතිබවත්, අමතරව ඉදිරි සති දෙක තුළ තවත් සිංගල් කැබ් රථ 9ක් වනජීවී කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන බවත් වාර්තා විය. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුමේ පරිමාණය වටහාගැනීම අපහසු නැත. එසේ තිබියදී එම ගමනේදීම උහන, කරන්ගාව ප්‍රදේශයේ අලි මංකඩ සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමට ලබාදීම සඳහාවන ක්ෂේත්‍ර පරීක්ෂණයට ද පරිසර අමාත්‍යවරයා සහභාගීවීම පිළිබඳව අපට ඇත්තේ බරපතළ කණගාටුවක් සහ ඉච්ඡාභංගත්වයකි. තවද එහිදී එම ව්‍යාපෘතිය සඳහා පරිසර අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට පාක්ෂිකයන් සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබුණි.
ආණ්ඩුවේ ඊනියා ‘මිහිකත’ පරිසර ප්‍රතිපත්ති නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ එසේය. ඒ අනුව “අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක‍්‍රමවේද භාවිත කරමින් ජන සහභාගිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම” තවත් ප්‍රෝඩාකාරී ලියවිල්ලක කොටසක් පමණක් බව පැහැදිලිය. ආණ්ඩුවේ සැබෑ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය අලි මංකඩ පවා අහුරා, එම සතුන් උන්ගේ වාසභූමි වල කොටසකට සිරකර මුරකාවල් යෙදීම බව පැහැදිලිය.

විසි වැනිදා රැස්වීමේදී “අම්පාර දිස්ත්‍රික්කයේ වන රක්ෂිත කලාප තුළට අක්‍රමවත් ලෙස ගවයන් ඇතුළු කිරීම පාලනය කිරීමටත්, දැනට රක්ෂිත තුළ සිටින ගවයන් ක්‍රමානුකූලව ඉවත් කිරීමටත් අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමට පියවර” ගැනුණු බව පරිසර අමාත්‍යාංශය මගින් ප්‍රකාශකර තිබුණි. නමුත් ඒවායේ ද හුදෙක් සමාජ මාධ්‍ය සංදර්ශන වලින් ඔබ්බට ගිය වටිනාකමක් නැත. ඒ මන්ද යත් කයිවාරුවට එසේ කීවද වන අලි ඇතුන්ගේ ද පැවැත්මට දායකවන, අම්පාර බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය වනසද්දී සහ වට්ටමඩු තෘණ භූමිය ගවයින්ගෙන් උදුරා ගනිද්දී ආණ්ඩුව සිටින්නේ මුනිවතිනි. එසේම අලි වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග අවහිර වීම අලි–මිනිස් ගැටුම උග්‍ර කිරීමට බලපාන බව සඳහන් කරමින් වැටහිරකන්ද, කොහොලංකල සහ හඳපානාගල – දෙමෝදර යන අලි සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීමට පසුගිය ජුනි මාසයේ කැබිනට් තීරණගත්බව කී ආණ්ඩුවට මෙතරම් දෙබිඩි ලෙස හැසිරීමට හැකිනම්, එය අපේ රටේ සොබා උරුමයන්ට හෙට දවසේ අත්කරදෙන ඉරණම පිළිබඳව අපට ඇත්තේ සාධාරණ බියක් සහ තැති ගැන්මකි.

එසේම මේ තුල ඇත්තේ අලි මංකඩක් අවහිර කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. මහා පරිමාණ සහල් මෝල්කරුවන්ගේ වෙළෙඳපොළ ආධිපත්‍යය ආණ්ඩුවට පවා පාලනය කරගත නොහැකි තත්වයක් මතුවී ඇති පරිසරයක ගොවි ජනතාවත් සහල් පාරිභෝගිකයාත් අසරණව සිටිනබව නොකිවමනාය. එවැනි පසුබිමක මරඳගහමුල කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් ව්‍යාපාරය පිරිහීයාම පිළිබඳව කිඹුල් කඳුළු හෙලූවන් අතර වර්තමාන ආණ්ඩුවේ පිරිස්ද විය. මෙම තත්ත්වය අද වනවිට අම්පාර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණයකින් ද පිළිබිඹු වේ. ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයේදී, නින්දවූර්, කල්මුණේ, අට්ටාලචේන, සම්මන්තුරේ, කාරතිව් සහ දමන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයෙහි අඛණ්ඩව ක්‍රියාත්මක වූ සුළු පරිමාණ සහල් මෝල් 100ක හිමියන්ගෙන් තොරතුරු රැස් කර තිබේ. එම මෝල් හිමියන්ගෙන් සියයට 50ක් ව්‍යාපාර පවත්වාගෙන යාමේදී තමන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව මහා පරිමාණ සහල් මෝල් සමඟ පවතින දැඩි තරගය බව පෙන්වා දී ඇත. පර්යේෂකයන් අවධාරණය කරන්නේ මහා පරිමාණ සහල් මෝල්කරුවන් විසින් නිර්මාණය කර ඇති බවට හඳුනාගත් අසම තරගකාරී වෙළෙඳපොළ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කර, සුළු පරිමාණ සහල් මෝල්වල දිගුකාලීන පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවය.

ඒ මතුද නොව අම්පාර උහන ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් තොටුපොළ අනාගතයේ අභ්‍යන්තර ගුවන් සේවා සංවර්ධනය සඳහා වැදගත් යටිතල පහසුකමකි. එබැවින් එයට ආසන්නව මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණයක් ස්ථාපනය කිරීමේදී එහි දිගුකාලීන පාරිසරික හා ගුවන් ආරක්ෂණ බලපෑම් විද්‍යාත්මකව ඇගයීම ද වැදගත් වේ. විශාල වී ගබඩා සහ සහල් සැකසුම් පහසුකම් ආහාර අවශේෂ, ධාන්‍ය සහ අපද්‍රව්‍ය හේතුවෙන් කුරුල්ලන් හා වෙනත් වනජීවීන් ආකර්ෂණය කළ හැකි අතර, ගුවන් තොටුපොළ ආශ්‍රිතව එවැනි වනජීවී ආකර්ෂකයන් පැවතීම ගුවන් යානා–වනජීවී ගැටීම් අවදානම ඉහළ නැංවිය හැකි කරුණක් ලෙස ගුවන් තොටුපොළ වනජීවී අවදානම් කළමනාකරණ මාර්ගෝපදේශවල හඳුනාගෙන ඇත. එමෙන්ම, මෝල් ක්‍රියාකාරකම් හා බර වාහන ගමනාගමනයෙන් ඇතිවන ධාන්‍ය දූවිලි, ශබ්දය සහ රථවාහන පීඩනය මෙන්ම ධාන්‍ය ගබඩා සයිලෝ හා අනෙකුත් උසැති ව්‍යුහයන් ගුවන් තොටුපොළ අවට බාධක සීමා කිරීමේ අවශ්‍යතා සමඟ අනුකූල නොවීමේද අවධානමක් මතුවිය හැකිය. විශේෂයෙන්ම, වර්තමාන ගුවන් ගමන් ප්‍රමාණය සීමිත වුවද අනාගත ගුවන් සේවා පුළුල් කිරීමේ හැකියාවක් පවතින බැවින්, ව්‍යාපෘතියේ වනජීවී අවදානම් ඇගයීම, ගුවන් සේවා ආරක්ෂණ අවදානම් ඇගයීම සහ රථවාහන බලපෑම් ඇගයීම වැනි ඒකාබද්ධ ඇගයීම් ක්‍රියාවලියක් මෙවැනි ව්‍යාපෘති සිදුකිරීමට පූර්ව අවශ්‍යතාය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය.

එබැවින් කරන්ගාව අලි මංකඩ අහුරමින් මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යනු අක්කර අසූවක භූමි පරිහරණයේ වෙනසක් පමණක් නොව, අලි සංචරණය, අලි–මිනිස් ගැටුම, ගුවන් ආරක්ෂාව, පරිසර සංරක්ෂණ නීතිය සහ ප්‍රදේශයේ කෘෂිකාර්මික ආර්ථිකය යන සියල්ලටම දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි තීරණයකි. එබැවින් ආර්ථික සංවර්ධනයේ නාමයෙන් මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට ගෙන යාම වෙනුවට, පවතින විද්‍යාත්මක සාක්ෂි, අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ සහ පාරිසරික නීතිමය අවශ්‍යතා මත විනිවිදභාවයෙන් යුතුව තීරණ ගැනීම ආණ්ඩුවේ වගකීමකි. සංවර්ධනය සහ සංරක්ෂණය අතර සමතුලිතතාවය සොබාදහමට පරාජය පමුණුවමින් නොව, අනාගත පරපුරටද එහි ප්‍රතිලාභ හිමිවන පරිදි තීරණය කිරීමෙන් පමණක් සැබෑ ‘හරිත’ සංවර්ධනයක් ළඟාකරගත හැකිවනු ඇත.

සුපුන් ළහිරු ප්‍රකාශ්

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...