Tag: wasantha mudalige

  • අනුර ඊයේ කිව්ව දෙය අද අමතකද?

    අනුර ඊයේ කිව්ව දෙය අද අමතකද?

    ජනාධිපතිවරණය ඇතුලු මැතිවරණ ත්‍රිත්වයේම “ත්‍රිකුණාමලය තුළ සිදු වන ඉන්දීය මැදිහත්වීම්” සහ විශේෂයෙන්ම මුත්තු නගර් ගොවි ජනතා ඉඩම් සමාගම් වලට පවරා දීමට එරෙහිව වූ ජනතා විරෝධය කැපී පෙණුන අතර වත්මන් ආණ්ඩුවේ බොහෝ නියෝජිතයන් තම පොරොන්දු විවිධ අවස්ථා වල ලබා දෙමින් ග්‍රාමයේ ඡන්දය තමන්ට ලබා ගැනීමට කටයුතු කර ඇත. ඡන්ද අවස්ථා වලදී “අපේ ආන්ඩුව ආවම, පාර්ලිමේන්තු ඡන්දය ඉවර වුණාම, පළාත් පාලන ආයතන වලත් බලය ලැබුණම..” ආදී ලෙස ජනතාවට පොරොන්දු දී ඇත.

    නමුත් ආන්ඩු බලය ලැබුණු පසු ආන්ඩුව කර ඇත්තේ කඩිනමින් ගොවි පවුල් 351ක් ඉඩම් වලින් ඉවත් කර අක්කර 800ක වගා භූමියක් සමාගම් වලට පැවරීමයි. මෙය වසර 50ක් ගොවීන් වගා කළ කුඹුර ඉඩම් නිසාම ගොවීන්ගේ ඉල්ලිම වන්නේ මෙම ඉඩම් නැවත ගොවීන්ට පවරා දෙන ලෙසයි. නමුත් ආණ්ඩුව කල් මරමින් ඉඩම් සමාගම් වලට ලබා දීමට කටයුතු කිරීම නිසා මුත්තු නගර් ජනතාව ජන අරගලය ව්‍යාපාරය හා එක්ව අද(14) කොළඹදී විරෝධතාවයක් සංවිධානය කරන ලදී.

    එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
    “අද දවසේ ත්‍රීකුණාමල මුත්තු නගර් ප්‍රදේශයේ ජනතාව එක්ක අපි ජනතාධිපති ලේකම් කාර්‍යාලයට ආවේ බරපතල ප්‍රශ්නයක් ගැන සාකාච්ඡා කරන්න. අද වෙද්දි මුත්තු නගර් ප්‍රදේශයේ පවුල් 351ක ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන සමාගම්වලට විකුණමින් යනවා. මීට සති දෙකකට කලින් අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුවත් කළා. නමුත් කිසිඳු විසඳුමක් ගොවීන්ට ලැබුණේ නෑ. මේ පැහැර ගන්නේ මුත්තු නගර් වැසියන් පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඡන්ද කාලේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කියපු මන්ත්‍රීලා අද මේ ජනතාවට පස්ස හරවලා. මේ ඉඩම් ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ කාගෙවත් ඇස් හැරෙන්නේ නෑ.
    ඊයේ ජනාධිපති අනුර දිසානායක කිව්වා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සියලු පාර්ශවයන් එක්ක සාකාච්ඡා කරනවා කියලා. ඒ අදහස එක්ක තමයි මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය මාසෙකට කල් දාලා තියෙන්නෙත්. අපි කියනවා ඒක හොඳයි. සියලු දෙනාගේ එකඟතාවය ඇතුව තමයි සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕන. හැබැයි අපි අහන්නේ ඇයි ඒ තීරණය මුත්තු නගර් ජනතාවට අදාළ නැත්තේ. ඇයි මුත්තු නගර් වැසියන්ට විතරක් කුඩම්මගේ සැලකිලි. මන්නාරමේ ඉන්නෙත් මුත්තු නගර් ඉන්නෙත් මේ රටේ මිනිස්සු. ඒ නිසා මන්නාරමේවත් මුත්තු නගර් වලත් ඉන්න ජනතාව බලහත්කාරයෙන් පන්නලා ඉඩම් පැහැරගන්න ඒකට අපි විරුද්ධයි.
    මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කියන්නේ පරණ ආණ්ඩුවල ව්‍යාපෘති කිසිඳු සෙවිල්ලක් නැතුව නැවත ක්‍රියාත්මක කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ඡන්දය දීපු ජනතාවට පයින් ගහලා සමාගම්වලට උවමනාවන් අනුව නැටවෙන්න. අපි ඉඩම් දෙන්නේ නෑ, පුලුවන් දෙයක් කරගනිල්ලා වගේ ප්‍රවේශයකින් තමයි ආණ්ඩුව දැන් මුත්තු නගර් ගොවියන්ට උත්තර දෙන්නේ. නමුත් අද අපි මෙතනට ආවේ ඒ උත්තරේ අරගෙන ඔළුව පහත් කරගෙන ගෙදර යන්න නෙවෙයි. මේ ගොවි ජනතාවගේ ඉඩම්වල අයිතිය නැවත ඔවුන් වෙත ලබාදෙන තුරු අපි අඛණ්ඩව අරගල කරන්න සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බොරු විසඳුම් පෙන්නලා ප්‍රශ්නය මගහරින්න සූදානම් වෙන්න එපා. මුත්තු නගර් වැසියන්ගෙන් පැහරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න ජන අරගල ව්‍යාපාරය විදිහට අපි සූදානම්.

  • දැන් හැමෝම ජනතා දේපොළ විකුණන IMF පාරෙ යන්න හදන්නේ – වසන්ත මුදලිගේ

    දැන් හැමෝම ජනතා දේපොළ විකුණන IMF පාරෙ යන්න හදන්නේ – වසන්ත මුදලිගේ

    හොරාකෑම නවතා, හොර මගඩිය නවත්තා මේ රටේ ඇත්ත ක්‍රම වෙනසක් කිරීම සඳහා නුවන් බෝපගේ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නැයි ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ ඉල්ලා සිටී.

     

    ඔහු මෙම ඉල්ලීම කළේ ඊයේ (18) දින පැවති මාධ්‍ය හමුවක දී ය.

    එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ…

    ‘‘අද ජන අරගල සන්ධානය මේ හමුව කැඳවන්නේ මැතිවරණ වේදිකාවල කතාවෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ජනතාව කල්පනා කරනවා ඊළඟට එන ජනාධිපති මේ ප්‍රශ්න විසඳයි කියලා. රනිල් ඊයෙ කිව්වා ‘මං බංකොලොත් භාවයෙන් රට බේරගත්තා ඒ නිසා මට ඡන්දෙ දෙන්න’ කියලා. පහුගිය කාලේ හැම පක්ෂෙට ම පැන පැන හිටපු නිමල් සිරිපාලල ඇතුළු නඩය ඒකට හුරේ දානවා. තව පැත්තකින් නාමල් එනවලු රට බේරගන්න. තිස්ස කුට්ටි ආරච්චිලා ජෝන්ස්ටන්ලා එයාට හුරේ දානවා. විපක්ෂෙ පැත්තෙන් සජිත් ඇතුළු පිරිසත් රට බංකොලොත් භාවයෙන් බේරගන්නව කියලා හුරේ දානවා. තව අය අලුතෙන්ම බලේ ගන්න ඇවිත් ජනාධිපති වෙන්න සූට් මහගෙන බලාගෙන ඉන්නවා.

    දැන් මේ හැමෝම යන පාර තමයි අයි එම් එෆ් පාර; රටේ ජනතා දේපළ විකුණන පාර. මේ ණය ගන්න කෙවිට දැන් තියෙන්නෙ රනිල් අතේ. මේ කෙවිට ගන්න තමයි හැමෝම පොරකන්නෙ. අපි කියන්නෙ කෙවිට අතේ තියෙන කෙනා මාරු වුනාට කෙවිටෙන් බැට කන්නෙ ජනතාව. ඒ නිසා අපි, මේ කෙවිටත් එක්කම කෙවිටෙන් අපිට තළන හැමෝම එකට තියල පරාජය කරන්න ඕන. අපි දැක්කා මැතිවරණයට කෝටි ගණං වියදම් කරන්න අපේක්ෂකයෝ සූදානම් වෙලා ඉන්නව. ස්වාධීන කියාගෙන එන රනිල් ඡන්දෙට රාජ්‍ය භාණ්ඩාගරේ සල්ලි වියදම් කරනවා; එයාගෙ කැම්පේන් එකට රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනවා. දැනට පනතෙ තියෙන විදියට එක ඡන්ද දායකයෙක්ට පක්ෂයකින් වැය කරන්න පුලුවන් රුපියල් විස්සයි. හැබැයි සිකුරාදා සාකච්ඡාවේදි පක්ෂ කියලා තිබුණෙ මේ ගාන දෙසීයක්, තුන්සියක්, හාරසියක් දක්වා වැඩි කරන්න කියලා. එතකොට මේ පක්ෂවලට කෝටි ගණං සල්ලි කොහෙන්ද…? මේ එළියට එන්නේ හොරාකාලා හංගපු සල්ලි; ජාවාරම්කාරයන්ගේ සල්ලි. ඊට පස්සෙ බලේ අරං මේ හොරු ජාවාරම් කාරයෝ සතුටු කරන්න තමයි සූදානම් වෙන්නෙ.’’

  • මැතිවරණ කොමිසම පනින රිලවුන්ට ඉනිමං බදිනවා – වසන්ත මුදලිගේ

    මැතිවරණ කොමිසම පනින රිලවුන්ට ඉනිමං බදිනවා – වසන්ත මුදලිගේ

    ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසනවා.

    මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම සඳහා සුබ වේලාවක් බැලීම,අධිකරණ නියෝග පැමිණේද යන්න බල සිටීම යන කාරණා අදාළ නොවන අතර මේ මොහොතේ ඒ සම්බන්දයෙන් කිසිවෙකු හෝ අධිකරණයට ගොස් නැති බව මුදලිගේ සඳහන් කරනවා.

    ”මැතිවරණ කොමිසමට බලය ඇවිල්ලා පැය 48ක්. මැතිවරණ කොමිසම කියනවා රාහු කාලය බලල දින කියන්නම් කියල. අපි මැතිවරණ කොමිසමටත් කියනවා පනින රිලවුන්ට ඉනිමං බදින්න එපා කියල. අපිට මැතිවරණ කොමිසමෙන් අහන්න තියෙන්නේ ඇයි කල්දාන්නෙ. ඇයි දවස 15ක් ගන්නේ. රනිල් වික්‍රමසිංහ මේකට කල්දගන්න නම් බලන්නේ එකට එයා ගේම් ගහන්න බලනවා නම් මැතිවරණ කොමිසමට කියන්න බැහැ අපි හොඳ වෙලාවක් බලල කියන්නම් සුභ නැකත බලලා කියන්නම්, ඊට පස්සේ අධිකරණයෙන් නියෝග එයිද කියල බලල කියන්නම්.අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මැතිවරණ අයිතිය අහෝසි කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.ඒ වගේම මැතිවරණ කොමිසම හිතාමතාම හෝ නොදනුවත්ව ඒකට අදාළව දවසක් හරි කල්දාලා මැදිහත්වීමක් කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.”

  • රනිල් ජනතාව ඉදිරියට යන්න බයයි – වසන්ත මුදලිගේ

    රනිල් ජනතාව ඉදිරියට යන්න බයයි – වසන්ත මුදලිගේ

    ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී ව්‍යවස්ථාවේ අඩුපාඩුවක් මතු කර ජනමත විචාරණයට යාමට උත්සහා දරමින් රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවට ජන අරගල සන්ධානය චෝදනා කරයි.

    “රනිල් වික්‍රමසිංහ කිසි ලෙසකින්වත් මහජන ඡන්දයෙන් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණ කෙනෙක් නෙවෙයි. ඔහු ව්‍යවස්ථාවේ හිල් භාවිතා කර පොහොට්ටු ආනුභාවයෙන් ජනපති වුණා. මෙයා ජනතාවට බයයි. මැතිවරණයට බයයි. ජනතාව ඉදිරියට යන්න බයයි. ඒ නිසා හැම විටකම කල්පනා කරන්නේ මැතිවරණය කල් දාන්න පුළුවන් විදියක් ගැන. ඒ නිසා තමයි පත් වුණ අලුත හැමෝම එකතු වෙලා ජාතික ආණ්ඩු හදමු කිව්වේ. පස්සේ ලේනෙක්ව දාලා ජනාධිපතිගේ දූර කාලය වසර 6යි කියලා තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න හැදුවා. ඒ සේරම බැරි තැන දැන් කැබිනට් අනුමැතිය අරගෙන ව්‍යාවස්ථාව නිරවුල් කිරීම කියන අදහස පෙන්නලා ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කරන්න යනවා.”

    ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ ඊයේ (11) කොළඹ 07 සිංහ සමාජ ශාලාවට මාධ්‍ය කැඳවා ඒ බව කියා සිටියේය.

    2019 වසරේ දී ව්‍යවස්ථාවේ 83 වැනි වගන්ති සංශෝධනය නොකළේ ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන නිසාවෙන් බව ද ඔහු සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ ධූර කාලය අඩු කරන බවට පෙන්වීමට උත්සාහ කළ ද ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ යටි අරමුණ ජනාධිපතිවරයා කල් දමා ගැනීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

    “මේ ව්‍යවස්ථා සංශෝධනය හරියට බුදු සරණයි කියලා ලොරියේ ඉස්සරහ ගහගෙන පිටි පස්සෙන් හොර හරක් පටවගෙන එන ලොරියක් වගේ.” යැයි වසන්ත මුදලිගේ තවදුරටත් පැවසීය.

  • රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

    රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

    “මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය සහ මැතිවරණ පැවැත්වීමට කොමිසමේ සූදානම” පිළිබඳව සාකච්ඡා කිරීමට ජන අරගල සන්ධානය අද(10) මැතිවරණ කොමිසම වෙත ගොස් තිබෙනවා.

    එහිදී ජන අරගල සන්ධානය මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

    ඒ සදහා ජන අරගල සන්ධාන විධායක සභාව නියෝජනය කරමින් වසන්ත මුදලිගේ, තරිදු උඩුවරගෙදර, ධර්මසිරි ලංකාපේලී, රාජ්කුමාර් රජීව්කාන්ත්, ලහිරු වීරසේකර සහ සරණපාල යන අය මෙම හමුව සඳහා පැමිණ සිටියා.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ පවසා සිටියේ,

    “අද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එක්ක අපි කතා කළා ආණ්ඩුවේ මැතිවරණ කල් දාන කුමන්ත්‍රණය ගැන. රනිල් වික්‍රමසිංහලාට දැන් ඕන ඡන්ද නොතියා යන පාරක්. පළාත් පාලන මැතිවරණය වෙලාවේ රනිල් කිව්වේ ඡන්ද කල් දාලා නෑ.. කල් දාන්න ඡන්ද නෑ කියලා..” ඊයේ මාතර රැස්වීමේදී කියනවා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ගැන රට ගැන හිතලා තීරණය කරමුලු. රනිල් වික්‍රමසිංහට අයිතියක් නෑ එහෙම කියන්න. එයාට ජනවරමක් නෑ. කොටින්ම පොහොට්ටුව දුන්න ටෙම්පරි ජන වරමත් 2022 ජූලී රටේ ජනතාව අවසන් කළා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන තීරණ ගන්න මේ කාටවත් බෑ. මේ ගැන අද මැතිවරණ කොමසාරිස් එක්ක කතා කළා. ඔහු කිව්වා ඔවුන්ට පැවරී ඇති බලතල අනුව මැතිවරණ පැවැත්වීමට සූදානම් කියලා.”

    තවදුරටත් ඔහු කියා සිටියේ ” ජන අරගල සන්ධානය ලෙස ප්‍රජාත්නත්‍රවාදය හකුළුවන ඕනෑම කුමන්ත්‍රණයකට එරෙහිව මැදිහත්වෙනවා.

  • පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව

    පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව

    මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

    එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සදහන් වේ.

    මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ල වී තිබුණා.

    ඊයේ (19) පැවති ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මෙම පනත පිළිබඳ අදහස් පළකර තිබුණි.

    ඔහු පවසන්නේ,
    ”අලුත් අවුර්ද්දේ ආණ්ඩුව වැඩ අල්ලලා තියෙන්නේ විදුලි මණ්ඩලය විකිනීමට අදාළ පනත ගෙනත්. 17 වෙනිදා විදුලි බල මණ්ඩල සංශෝධන කෙටුම්පත ගැසට් කරලා. මේ පනතේ තියෙන්නේ ජනතාවට අඩුවට විදුලිය දීම ගැන නෙමෙයි. විදුලි බල මණ්ඩලය කොටස් කරලා විකුණන විදිහ. 1969 අංක 17 දරන පනත හරහා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කිරීම හරහා විදුලිය ලාභ නොලබන සේවාවක් ලෙස සාමාන්‍ය ජනතාවට දෙන්න ඕනා කියන පදනම යටතේ අවම වශයෙන් විදුලි බිල වැඩි කරනවානම් උපයෝගීතා කොමිසමෙන් අහන්න ඕනා කියලා තියෙනවා. අලුතෙන් ගෙනාපු පනතින් විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේෂණය, විදුලිය බෙදා හැරීම, බිල් කැඩීම මේ සියල්ල පුද්ගලික සමාගම්වලට දෙනවා. දැනට රජය යටතේ තමයි විදුලිය තියෙන්නේ. රජය යටතේ විදුලි බල මණ්ඩලය තිබිලත සියයට 400න් විදුලි බිල වැඩි කරා. සාමාන්‍ය ජනතාවගේ ගෙවල් ලක්ෂ 10කගේ විදුලිය කපුවා. ලක්ෂ 50ට රතු බිල් ආවා. එතකොට පෞද්ගලික සමාගම් එන්නේ අපිට ආදරේටද? ඒ සමාගම් එන්නේ විශාල ලාභයක් ලැබීමේ අරමුණින්. කොටස් කරලා විකුනුවට පස්සේ විදුලි බිල හැදෙන විදිහ අලුත් පනතේ තියෙනවා. විදුලි බිල හැදෙන විදිහ තමයි විදුලිය උත්පාදනය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය සම්ප්‍රේෂණය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය බෙදාහරින සමාගමට වෙනම ගානක්. මෙන්න මේ ඔක්කොම එකතු කරලා විදුලි බිල හැදිලා ඔබේ ගෙදරට එනවා. සියයට 700න් 800න් විදුලි බිල වැඩිවෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම විදුලි බිල සම්බන්ධයෙන් යම් බලපෑමක් කරන්න තිබුණු මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න තමයි පනතෙන් බලය ගෙනල්ලා තියෙන්නේ. ”

     

     

  • ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

    ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

    ඉන්දියාවත් සමඟ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මේ රටේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි ටිකත් අත්පත් කරගන්න සැලසුම් කර තිබෙන බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

    වසන්ත මුදලිගේ වැඩිදුරටත් පැවසුවේ,

    ”කින්නියා ප්‍රදේශයේ ඉඩම් විශාල කොටසක් ඉන්දියානු ආර්ථික කලාපය හදන්න නිදහස් කරගන්න සැලසුම් කර තිබෙනවා. මේ ජනතාවට කියලා තියෙන්නේ වෙනත් තැනක පදිංචි කිරීම් සඳහා නඩත්තු දෙන්නම් වෙනත් ඉඩම්වලට අදාළ වන්දි දෙන්නම් කියලා ජනතාව අන්දලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න යන්නේ. නමුත් ජනතාව එක්ක කතා කරලා බැලුවම තේරෙනවා නැවත පදිංචි කිරීම් ගැන සැලසුමක් නැහැ. දෙන ආධාර ගැන පැහැදිලිව කියල නැහැ. පසුගිය කාලයේ රාජ්ය සේවකයන්ට පඩි වැඩිකරන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබුනේ නැහැ. මැතිවරණය කල් දානකොට ආණ්ඩුව කිව්වේ ඒ සඳහා මුදල් නැහැ කියලා. බඩු මිල බදු බර වගේ සියලු දේ මිනිස්සු දරාගෙන ඉන්න කල් අපි දන්නවා රටේ රටේ සාමාන්‍ය ආර්ථික කටයුතු කරන්නවත් ආර්ථික හැකියාවක් නැති තත්ත්වයක් තුළ තමයි පවුල් 3600ක් මේ ප්‍රදේශයෙන් අයින් කරලා ඒවාට අදාළ නඩත්තු දෙනවා කියන්නේ. යාන් ඔය වගේ ව්‍යාපෘතිවලදී නැවත පදිංචි කිරීම කරපු නැති වන්දි ලබාදුන්නේ නැති මිනිස්සු සියගණනක් දැනටත් ඉන්නවා. එහෙම තියෙද්දී තමයි කින්නියාවලත් ත්‍රිකුණාමල නගරයේත් ඉන්දියාවට ඕන විදිහට ආර්ථික කලාපයක් හදන්න ඉන්දියාවේ බල දේශපාලනය ලංකාවේ ක්‍රියාත්මක කරන්න ජනතාවගේ ඉඩම් ගන්න හදන්නේ. සාම්පුර්වල බලාගාරයක් ගන්න අක්කර සිය ගණනක් ගන්න යන්නේ. ඒ බලාගාර හදන්නේ ඉන්දියාවේ අදානිලාට ඕන විදිහට ලංකාවේ බල ශක්තියට ඇඟිලි ගහන්න. අපි හිතනවා මේක පරාජය කළ යුතුයි. මොකද අපේ රටේ දේශපාලන ස්වෛරීත්වය බලශක්ති ස්වාධිකාරය ජනතාවට තියෙන්න නම් මේ ඉන්දියනු බල අධිකාරිය පරාජය කරන්න ඕනා. සංවර්ධන ව්‍යාපෘති කියලා ගෙන්න හදන්නේ මිනිස්සු මහා පාරට ඇදලා දාන එක. ඒ වගේම ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත්‍රයට රූකඩයක් ලෙස ලංකාව නටවන එක. රනිල් වික්‍රමසිංහ බදු වැඩිකරලා බඩු මිල වැඩිකරලා රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ටිකක් හොයාගන්නවා. අනිත් පැත්තෙන් චීනය, IMF, ඇමරිකාව, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරලා ජනතා දේපොළ විකුණලා තව කොටසක් හොයාගන්නවා. ඒ වගේම රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකුණලා තමන්ගේ දේශපලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න රනිල් හදන්නේ. ”

  • පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට

    පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට

    ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (24) ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ අදහස් දැක් වූ අයුරු.

    ”ඇමරිකාවේ යුධ පිපාසයට ලෝකයේ භූමින් දේපොළ අත්පත් කරගැනීමේ වුවමනාවෙන් ඊශ්‍රායලය රූකඩ රාජ්‍යයක් විදිහට පාවිච්චි කරලා ඇමරිකාව විසින් පලස්තීනයේ සිවිල් වැසියෝ දහස් ගණනක් ඝාතනය කරනවා. මේ වෙනකොට ඝාතනය කරලා තියෙන සිවිල් වැසියන්ගේ සංඛාව දස දහසකට වැඩියි. පුංචි දරුවෝ 4000ට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරලා තියෙනවා. පලස්තීනය එළිමහන් සිරකඳවුරක් කරමින් එය ලෝකයේ විශාලම වධකාගාරයක් බවට පත්කිරීමට ඊශ්‍රායලයත් ඇමරිකාවත් මැදිහත්වෙමින් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ මිනීමැරුම් ඝාතන කිසිවක් පෙනෙන්නේ නැහැ. ඇමරිකාව තමන්ගේ යුධ නැව් ටික පලස්තීනයට එරෙහිව අමෝරාගෙන ළඟ මුහුදේ තියාගෙන ඉන්නවා. මේක මිනී මැරුම් ගොන්නක්. අන්තවාදය කියන එක පිටින් දාලා ඇමරිකාවේ යුධ උන්මාදයට පලස්තීනය ආක්‍රමණය කරන්න හදන්නේ. පසුකාලයේ අන්තවාදයන් පෝෂණය කළේ, ආයුධ හැදුවේ ඇමරිකාව. මේ ලෝකෙ කිසිම මනුෂ්‍යයෙකුට මේ ජන ඝාතනය. ඒ නිසා අපි ඇමරිකාවට, ඊශ්‍රායලයට බලකරනවා වහාම පලස්තීන ආක්‍රමණය නතර කරන්න ඕනා. ඒ වගේම පලස්තීනයේ නිදහස පිළිගන්න ඕනා. දැන් කියනවා අන්තවාදීන්ගේ ප්‍රහාරය නිසා තමයි මේ පහරදීම පටන් ගත්තේ කියලා. මුළු ඉතිහාසයේ පුරාවටම පලස්තීනය ආක්‍රමණය කිරීම සඳහා ඊශ්‍රායලය ප්‍රහාර ඕනෑතරම් එල්ල කරා. සිවිල් වැසියෝ ඝාතනය කරා. නමුත් ඒවා අවශ්‍ය පරිදි සාකච්ඡාවට ගැනුනේ නැහැ. දැන් වුනු එක සිද්ධියක් පාවිච්චි කරලා දැන් ඇමරිකාවේ මාධ්‍ය මෙහෙයුම් හරහා ඒත්තු ගන්නන්න හදනවා හමාස්ලා නිසා ගහනවා කියලා. ඒ ප්‍රහාරය නිසා පටන් ගත්තනම් දැන් ඝාතනය කරන්නේ සිවිල් වැසියෝ නෙමෙයිද? රෝහල්වලට පාසල්වලට බෝම්බ ගහලා යුද්ධෙ ගැන කිසිම දෙයක් දන්නේ නැති සාමාන්‍ය දරුවෝ නෙමෙයිද ඝාතනය කරේ. සියලු අන්තවාදයන් අපි පිටු දකින ගමන්ම කෙසේවෙතත් ඇමරිකාවට ඊශ්‍රායලයට තමන්ගේ යුධ උමතුවෙන් පලස්තීනයේ වැසියන් ඝාතනයට හෝ ආක්‍රමණය කිරීමට අපි එකඟ වෙන්නේ නැහැ. ”

    මෙම විරෝධතාවයට සම්බන්ධ වූ ජන අරගල ව්‍යාපාරයේ 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාවය සිදුවූ මොහොතේ දෙදෙනෙකුත් විරෝධතාවයෙන් පසුව තවත් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

     

  • ඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයි

    ඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයි

    ලංකාවේ ජනතා සම්පත් උදුරා ගැනෙන සහ දේශපාලන – ආර්ථික ස්වෛරීත්වය අභියෝගයට ලක්වන ගිවිසුම් අත්සන් කිරීමට විරෝධයට පළ කරමින් ශ්‍රී ජන අරගල ව්‍යාපාරය විසින් ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් බාර දෙන ලදී.

    රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කළ සංචාරය අතරතුර සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර පහකට අයත් ගිවිසුම් අත්සන් කළ බව වාර්තා විය. ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නලයක් එලීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව අතර විදුලි සම්ප්‍රේෂණය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් තැනීමේ ගිවිසුමක් සහ ඉන්දියානු රුපියල ලංකාවේ වෙළඳ හා වාණිජ කටයුතු වලට යොදා ගන්නා මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමේ ගිවිසුමක් ආදී විවාදාත්මක ගිවිසුම් මේ අතර තිබේ. ත්‍රිකුණාමලය ජාතික හා කලාපීය කාර්මික, බලශක්ති හා ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවී ඇත.

    ජන අරගල ව්‍යාපාරය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම් හරහා ත්‍රිකුණාමලය වරාය ඇතුළු ජනතා සම්පත් ගණනාවක මෙහෙයුම් බලය ඉන්දියාවට ලැබෙන අතර ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය සහ දේශපාලන ස්වෛරීත්වය පවා මේවායෙන් තර්ජනයට ලක්වෙන බවයි. ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ලබාදුන් ඉන්දීය ණය සමග මෙවැනි අත්තනෝමතික කොන්දේසි බලෙන් පටවා තිබෙන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන අතර එවන් බලහත්කාරයක් හරහා මෙකී ගිවිසුම් අත්සන් කරවාගෙන ඇත්නම් එය ඉතා බරපතල වරදක් බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

    ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, වසන්ත මුදලිගේ, ජෝතිරාජ් ජෙගන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

  • වසන්ත නිදහස් කිරීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

    වසන්ත නිදහස් කිරීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    ඒ එම අභියාචනය ඊයේ (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

    එහිදී මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බව මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දී ඇත.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.

    එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.